Print this Article


පුරාවිද්‍යාත්මකව සනාථවන මහින්දාගමනය

පුරාවිද්‍යාත්මකව සනාථවන මහින්දාගමනය

මෙම ලිපියෙහි මුල් කොටස පොසොන් පුර පසළොස්වක පෝදා (ජුනි 08)පත්‍රයේ පළවිය.

සාංචියට කිලෝමීටර් 12 පමණ බටහිරින් පිහිටි ආන්ද්‍රේ වලින් ලැබුණු ධාතු මඤ්ජුසාවල ගොතිපුත්තගෙ අන්තේවාසික වූ වාචිපුත්ත ගැනත්, සඳහන් දක්නට ලැබේ. පූර්ව බ්‍රාහ්මී අක්ෂරවලිවන් මෙම ලිපි ධාතු මඤ්ජුසාවල ලියා ඇති අතර අක්ෂරවල ස්වභාවය මත ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවසට අයත් කළ හැකිය.

මෙහි සඳහන් ඇතැම් නාමයෝ පැහැදිලිව ශී‍්‍ර ලංකාවේ වංශකථා සාහිත්‍ය දක්වන ධර්මදූත කාර්යේ නිරත වු භික්ෂු නාම සමඟ සංසන්දනය කළ හැකිය. සාංචියෙන් හමු වු ශෛලමය පෙට්ටියේ හා ධාතු මඤ්ජුසාවක මෙන්ම සොනාරියෙන් ලැබුණූ මඤ්ජුසාවකත් දක්නට ඇති හිමාලයේ ආචාර්ය ලෙස සඳහන් හිමාල ප්‍රදේශයට වැඩම කළ භික්ෂු නාමය හා තොරතුරු සමඟ සැසඳිය හැකිය. එමෙන්ම මජ්ක්‍ධිම , දුරභිසර, සහදේව හා මුලදේව යන භික්ෂූන්ද ඒ ප්‍රදේශයට වැඩම කළ බවද එහි දක්වයි. එමෙන්ම සමන්තපාසාදිකාව මජ්ක්‍ධිම , කස්සපගොත්ත, දුරභිසාර, අලකදේව යන නාමයන් දක්වයි. මජ්ක්‍ධිම යන නාමය ද සොනාරි හා සාංචි මඤ්ජුසා ලිපි වලින් හඳුනාගත හැකියි. සාංචි හා සොනාරිවල මඤ්ජුසාවල සඳහන් ආලබගිර හෝ අපගිර යන්න කවර භික්ෂුවක්ද යන්න ප්‍රශ්නයකි. වංශකථාවලින් මීට සහායක් නොලැබේ. නමුත් සමන්තාපාසාදිකාවේ සඳහන් වන හිමයන්තයට වැඩම කළ ආලකදේව භික්ෂුවගේ නාමය සමඟ සැසඳීමට අවකාශයක් ඇති බවක් පෙනේ. මේ ගැන විමසූ කනිංම්හැම් මහතා ‘ආලබ’යන්න ‘ආලක’ යන පාලි වචනය සමඟ ගැලපෙන බැවින් ‘අලබගිර’ යනු සමන්තපාසාදිකාව දක්වන ‘ආලකදේව හිමියන්ම විය යුතු යැයි අනුමාන කළ හැකි බව දක්වයි. ආන්ද්‍රේ ලිපියක සඳහන් ‘දඩභිසර’ යන්න දීපවංසය හා සමන්තපාසාදිකාව සඳහන් කරන හිමාලයට වැඩම ‘දුරභිසර’ හෙවත් ‘දුරභිසාර’ යන පාලි නාමයේ මුල් ස්වරූපය ලෙසින් හඳුනාගත හැකියි. ධාතු මඤ්ජුසා ලිපිවල හරිතිපුත, කොඩිනි පුතස, කොසිකිපුතස, ගොතිපුතස වැනි ගෝත්‍ර නාමයන්ද සඳහන්ව ඇති නිසා එම භික්ෂුන් හඳුනා ගැනීම දුෂ්කරය. එනමුත් එම ලිපිවල ‘සපුරිසි යන්න යෙදී ඇති නිසාත් හඳුනාගත් භෂ්මාවශේෂ අත තිබීමත් යන කරුණු පදනම් කර ගනිමින් ගෝත්‍ර නාමයන්ගේ පමණක් හඳුන්වා ඇති භික්ෂූන්ද ධර්මදූත කාර්යයේ නිරත වු භික්ෂූන්ම විය හැකි යැයි අනුමාන කළ හැකිය. එමෙන්ම සාංචියේ හා ඒ ආශි‍්‍රත ස්ථූප ඇසුරෙන් හිමවන්තයට ගිය භික්ෂුන්ගේ නාමයන් සමඟින් ඔවුන්ගේ භෂ්මාවශේෂ ලැබීම මඟින් එක් නිගමනයකට එළඹීමට අවකාශයක් ලැබේ. එනම් හිමවන්තයේ ධර්මදූත කාර්යය සඳහා සාංචියේ භික්ෂුන් නායකත්වය දෙන්නට ඇති බවය.

තෙවැනි සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙසින් ක්‍රියාත්මක වු ධර්මදූත ව්‍යාපාරය මගින් ශ්‍රී ලංකාවටද බුද්ධාගමේ පණිවිඩය ලැබුණු බව වංශකථාවේ සඳහන් වේ. අශෝකයන්ගේ පුත් වූ මහින්ද තෙරුන් ප්‍රමුඛ පිරිස ශී‍්‍ර ලංකාවට වැඩම කොට ඇත. ශී‍්‍ර ලංකාවට වැඩම කළ භික්ෂූන් කීප නමකගේ නාමයන් අභිලේඛන අනුසාරයෙන් දැනටමත් හඳුනා ගෙන ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ රජගලින් ලැබුණූ ක්‍රිස්තු පූුර්ව තෙවැනි, දෙවැනි සියවස්වලට අයත් කළ හැකි බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියන ලද අභිලේඛනයක මහින්ද තෙරුන් ගැන හා ඉට්ඨික තෙරුන් යෙ (ඉම දීප පටමය ඉදිය ආගතන ඉඩික (තෙර ම) හිද තෙරහ තුබෙ) ගැනත් සඳහන්ව තිබීම මත වංශකථා දක්වන ශී‍්‍ර ලංකාවේ ධර්මදූත ව්‍යාපාරයට නායකත්වය දුන් මිහිඳු හිමියන් ඇතුළු කණ්ඩායමේ ඓතිහාසිකත්වය තහවුරු කරලීමට මහත් දායකත්වයක් ලබා දෙයි. එමෙන්ම ක්‍රිස්තු වර්ෂ පළමුවැනි සියවසට අයත් කළ හැකි මහාදාඨික මහානාග රජුගේ මිහින්තලා පර්වත ලිපියේ මහින්ද, උත්තිය, ඉට්ඨිය (මහිදතෙරහ ච භද්දසාල තෙරහ ච ඉටික තෙරහ උති තෙරහ ච පථමා කරපිතී) යන හිමිවරුන්ගේ ප්‍රතිමා දක්වා තිබේ. එමෙන්ම සිව්වැනි මිහිඳුගේ පුවරු ලිපියකද මහින්ද තෙරුන් (මහමෙව්නා තිසරම් රද්මහවෙහෙර්හි ආවු අනුබුදු මහමිහිඳු මාහිමියන් විසින් විනොයා සසුන් වැඩ ලොවෙඩෙහි යෙදූ ගැන දක්වන තොරතුරු ද ශ්‍රී ලංකාවේ ධර්මදූත ව්‍යාපාරයේ ඓතිහාසිකත්වය සනාථ කරලයි. එබැවින් පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් ධර්මදූත සේවය ගැන තොරතුරු මතු කරගත හැකි නිසා වංශකථා හා අට්ටකථාව සඳහන් කරන තෙවැනි සංගායනාවේ සත්‍ය බව ඉස්මතු කර ගැනීමට සුවිශේෂ අනුබලයක් ඉන් ලබා දෙයි.

ශ්‍රී ලංකාවේ වංශකථා සාහිත්‍යයේ රචිත කාලය හා සිද්ධීන්හි කාල පරාසය සියවස් ගණනාවක් වුවද දැනට සීමිත පුරාවිද්‍යාත්මක සාක්ෂි සමඟ සංසන්දනය කර බලන විට වංශකථාගත පුවත් එම කතුවරුන්ගේ ස්වයං නිර්මාණයන් ලෙසින් බැහැර කළ නොහැකි අතර තෙවන සංගායනාව හා ඒ හා බැඳුනු සිද්ධීන් සත්‍ය බව පුරාවිද්‍යා හා සාහිත්‍ය මූලාශ්‍රයන් සංසන්දනය කරමින් අධ්‍යයනය කිරීමෙන් පසක් කර ගත හැකිය.