Print this Article


අත්වැඩ පරවැඩ සමව සිතන්නේ

අත්වැඩ පරවැඩ සමව සිතන්නේ

පි‍්‍රයවදනය අනුන් සතුටු කරයි. අනුන්නට අවැඩක් ද නොවේ. යහපත සලසයි. අර්ථචර්යා යනු අනුන්ගේ සැපතට දියුණුවට උපකාරි වීමය. එමගින් ද තම චරිතය ගොඩනැඟේ.

අත්වැඩ යනු තමාගේ යහපත සුවසෙත පිණිස වන කටයුතුය. පරවැඩ නම් අනුන්ගේ යහපත සුවසෙත උදෙසා කරන කටයුතුය. සිතින්, කයින් මෙන්ම වචනයෙන්ද මිනිසුන් වන අප අත්වැඩ කළ යුතුය. බුද්ධ වචනයද එයයි. ඒ සමඟම පර වැඩද කළ යුතුය. එකී උභයාර්ථයම සමානව සැලකිය යුතු යැයි පුරාණාචාර්යවරු අප දැනුම්වත් කළහ. තම යහපත අනුන්ගේද යහපතය. අනුන්ගේ යහපත තමන්ගේ ද යහපත ය.එසේ සමව සිතා ආත්මාර්ථයටම ගැතිවන්නේද නැතිව, ආත්මාර්ථය බැහැර කරන්නේද නැතිව, පරාර්ථයටම වහල්වන්නේද නැතිව, පරාර්ථය නොසලකා හරින්නේද නැතිව උභයාර්ථයම සාධනය වන පරිදි තිදොර හැසිරවීමට බුදුදහම උපදෙස් දෙයි. ඒ බවට බොහෝ අදහස් දැක්විය හැකිය.

සිව්බඹ විහරණයෝ එක් අතෙකින් ආත්මාර්ථ සාධනය කරන්නෝය. මෙත්තාව, එනම් මිතුරු සිත හෙවත් සියලු ආකාරයේ ප්‍රභේද ගත වීම් බැහැර කොට සියලු සත්වයින්ට සියලු ප්‍රාණීන්ට පැවැත්මක් ඇති, ජීවත්වන සියල්ලන්ට සැපත, ශාන්තිය, යහපත සුවසෙත වේවා යන චින්තනය වඩන්නා තමාගේ ම චරිතය, ආධ්‍යාත්මය දියුණුකර ගනියි. එසේම සියල්ලන්ටම එසේ මෙත්වඩන ඔහු සමාජයටද සතුරු නොවේ. මිතුරු කම්ම පායි. හිතවත්ව ක්‍රියාකරයි. කරුණාව එනම් දුකට පත් පීඩා විඳින සත්වයන් කෙරෙහි සානුකම්පිත චින්තනය ඇති තැනැත්තේ ද දියුණු චරිතයක් ඇත. සංවේදි හදවතක් ඇති පුද්ගලයෙකු වෙයි. තමාටද යහපතක් කර ගනියි. අනුන්ගේ දුක ද දකියි. කම්පාවෙයි. දුකට පිහිටවෙයි. අනුන්ටද සෙත සදන්නේ වෙයි. මුදිතාව යනු අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා නොකිරීමයි. අනුන්ගේ සැපත සතුට, දියුණුව දැක දැක අව්‍යාජව සතුටුවීමයි. එබඳු පුද්ගලයෝ සැබවින්ම දියුණු හදවත් ඇත්තෝය. එසේම ඔවුහු කිසිකලෙකත්, කිසි ලෙසකිනුත් අනුන්ටද අවැඩ සලසන්නෝ නොවෙති. උපේක්ෂාව නම් මැදහත් බවය. සියලු වෙනස්කම් ඉදිරියේ සිතින් මැදහත් වීමය. එය දියුණු නුවණ ද, වැඩුනු මනස ද පිළිබිඹු කරන ගුණයෙකි. උපේක්ෂා සහගත වන තැනැත්තා ගැටුමට නොයයි. එරෙහිව කථා නොකරයි. ක්‍රියා නොකරයි. එයින් ඔහුට මෙන්ම අන් අයටද යහපතක් ම වන්නේය. මෙසේ බුදු දහමෙහි උගන්වන බ්‍රහ්ම විහාර නම් වු සියලු සාරධර්මයන්ට මුල්වන සියලු සාරධර්මයන්ගේ කේන්ද්‍රය වන උතුම් චර්යාවෝ අත්වැඩද, පරවැඩද සමව සිතා ක්‍රියා කරන සමාජයානුයෝගී සාමකාමි තැනැත්තෙකු ගොඩනැගීමට උපකාරි වෙයි.

සිගාලක ගෘහපති පුත්‍රයාට බුදුරදුන් වදාළ සතර සංග්‍රහ වස්තුවද එලෙසින්ම අත්වැඩ පරවැඩ සමව සිතන සමව සාධනය කරන පුද්ගලයෙකු බිහිකරයි. ලෝභාදී සසර දුක් උපදවන අකුසල විතර්කයන් මැඩලීමෙන් දානය දායකයාට ද සෙත සදයි. ඔහුට දෙලොවම බොහෝ සම්පත් ලබාදෙයි. එසේම දන් පිළිගන්නා තැනැත්තාට ද සෙත සදයි. ඔහුගේ භෞතික වුවමනාවන් සපිරෙන අතර සිත් සතුටුවෙයි. පි‍්‍රයවදන කියන්නේ තෙමේ මුසාබස්, කේළාම්, හිස්බස් හා රළුවදන් නොකියන බැවින් යහපත් පි‍්‍රයශීලි අයෙකු, වාචසික සංවරය ඇත්තෙකු වෙයි. පි‍්‍රයවදනය අනුන් සතුටු කරයි. අනුන්නට අවැඩක් ද නොවේ. යහපත සලසයි. අර්ථචර්යා යනු අනුන්ගේ සැපතට දියුණුවට උපකාරි වීමය. එමගින් ද තම චරිතය ගොඩනැඟේ.

අම්බලට්ඨිකාවේදී රහල් හිමියන් ඇමතු බුදුරජාණන් වහන්සේ තමාටද අනුන්ටද තමා අනුන් යන දෙපක්ෂයටම ද අහිත අවැඩ සිදුකරන ක්‍රියා අකුසල්යැයි වදාළහ. එසේම තමාටද අනුන්ටද දෙපක්ෂයටමද හිත වැඩ සලසන ක්‍රියා කුසල් යැයි වදාළහ. යම් ක්‍රියාවක් සිතින් කයින් හෝ වදනින් කිරීමේදී එය හොඳින් සිතා විමසා බලා කරන්නැයි ද ඉගැන්වූහ. සත්පුරුෂයා යනු කවුරුන්දැයි පැහැදිලි කරන බුද්ධ දේශනාවකට අනුවද තෙමේ සම්මා දිට්ඨියය. සම්මා සංකප්පයය යනාදී ආර්ය වූ මාර්ගයන් පුරන්නේ එහි ගමන් කරන්නේ අනුන්ටද එමඟ පෙන්වා දෙන එමඟ සමාදන් කරවන තැනැත්තා සත්පුරුෂයා නම් වන බව ය.

තවත් දේශනාවක පුද්ගලයා සතරාකාර යැයි දක්වා තිබේ. තමාට හිත පිණිස ක්‍රියාකරන, අනුන්ට හිත පිණිස ක්‍රියා නොකරන පුද්ගලයා, අනුන්ගේ හිත පිණිස ක්‍රියා කරන, තමාගේ හිත පිණිස ක්‍රියා නොකරන පුද්ගලයා

තම හිත පිණිස ද ක්‍රියා නොකරන අනුන්ගේ හිත සුව පිණිස ද ක්‍රියා නොකරන පුද්ගලයා තම හිත පිණිස ද ක්‍රියාකරන, අනුන් හිත සුවපිණිස ද ක්‍රියාකරන පුද්ගලයා

මෙහි සිව්වැනිව දැක්වූ පුද්ගලයාම ශ්‍රේෂ්ටය මෙලෙසින්ම තෙමේ පන්සිල් රකිමින් අනුන් එයට යොමු නොකරන, තෙමේ පන්සිල් නොරකමින් අනුන් ඊට යොමු කරන, තෙමේද පන්සිල් නොරකින, අනුන්ද ඊට යොමු නොකරන, තෙමේද පන්සිල් රකින අනුන්ද ඊට යොමුකරන යනුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ඇතැයිද දේශනාවෙහි සඳහන් වේ. පඤ්චශීලයද බ්‍රහ්ම විහාර, සංග්‍රහවස්තු ආදිය මෙන්ම ආත්මාර්ථයත්, පරාර්ථයත් එක ලෙසට සළසා දෙන පිළිවෙතකි. පන්සිල් රකින්නා තෙමේද බොහෝ අනුසස් ලබා ගනියි. අනුන්ටද අභය දානාදී අනුසස් ලබාදෙයි.

අකුසල් යැයි නම් කොට බුදුරදුන් උගන්වා වදාළ සියලු නොකළ යුතු ක්‍රියාවෝ ආත්මාර්ථයට මෙන්ම පරාර්ථයටද හානි පමුණුවයි. එසේම කුසල යැයි නම් කරන ලද අප විසින් කළ යුතු සියලු සත් ක්‍රියා තමන්ටද වැඩ සලසයි. යහපත පිණිසම වේ. අනුන්ටද වැඩ සලසයි. යහපත පිණිසම වේ.

අප මහ බෝසතාණෝ දීපංකර පාද මූලයේදි අතට පත් බුදුබව හැර පියා සසර , ජාතී, ජරා, ව්‍යාධි, මරණා දී අනේකාකාරවූ දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරුවැ සිටින දුක්ඛිත සත්වයන් කෙරේ උපන් අපරිමිත කරුණාවෙන් තමන් සසරින් එතෙරව ඔවුන්ද එතෙර කරවමියි පෙරුම්දම් පුරන්නට යොමුවූ බව ජාතක නිදානය කියයි. සාම්‍්‍රදායික පිළිගැනීම අනුව සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ දානාදී දස පාරමිතාවන් එතුමෝ සම්පූර්ණ කළහ. අපේ ජාතක කථාවලින් ප්‍රකට වන්නේ එසේ ආත්මාර්ථය නම් වු අත්වැඩද පරාර්ථය නම් පරවැඩද සළකා ගනිමින් බුද්ධාංකුර ධර්මයන් පිරූ සැටිය. තමන් බුද්ධත්වයට පත් වීමත්, අනුන්ට නිවන් මග හෙළිකිරීමත් මහ බෝසතාණන් වහන්සේ ගේ අදිටන වූයේය.

අප බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වැ පළමු ධර්මදේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ තැන් පටන් උන්වහන්සේගේ පන් සාළිස් වසෙක බුද්ධ චර්යාව පළමුව ආත්මර්ථයද දෙවනුව පරාර්ථයද සාධනය කළ අයුරු ප්‍රකටය. ප්‍රථම ශ්‍රාවකයන් සැටනම අමතා ‘චරථ භික්ඛවේ චාරිකං’ යනාදී වශයෙන් අනුදැන වදාළ තැන් පටන් බුද්ධ ශ්‍රාවක භික්ෂු භික්ෂුණී හුද අත්වැඩ සළසා ගනිමින් නිවන් මග ඵල ලබාගැනීම පිණිසද, පරවැඩ සලසාලමින් ප්‍රජාවට මගඵල ලබාගැන්මට මගපෙන්වනු පිණිසද ඇප කැප වූහ. සියවස් විසිපහකටත් වැඩි ඉතිහාසය තුළ මේ ලක්දිව ඇතුළු බොහෝ දේශ දේශාන්තරයන්හි බෞද්ධ භික්ෂූහු එසේ අත්වැඩ පරවැඩ සමව සිතා ක්‍රියා කිරීමේ පරමාදර්ශය ප්‍රකට කළහ.