Print this Article


පූර්ණ පෞරුෂත්වයක්

පූර්ණ පෞරුෂත්වයක්

එකම පන්සලෙහි වැඩ වසමින් සිටියත්, බුදු හිමියන්ගේ ධර්මය ශ්‍රවණය කළත්,දේවදත්තට එක බණ පදයක්වත් අවබෝධ වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය දේවදත්තට නිවැරැදිව ග්‍රහණය නොවුණේ දේවදත්ත බුදුරජාණන් වහන්සේට වෛර කළ නිසයි.

නිවන් මඟ පුහුණු වන පැවිදි උතුමන්ටත් ,නිවන් මඟ පුහුණු වන අතරතුර ලෞකික ජීවිතය හෙවත් ගෘහස්ථ ජීවිතය සාර්ථක කර ගැනීමට වීරිය කරන ගිහියාටත් අත්‍යවශ්‍ය වන කාරණා තුනක් පිළිබඳව බුදු දහමෙහි සඳහන් වෙයි. ශික්ෂණ ක්‍රියාපිළිවෙතෙහි ප්‍රධාන තේමා තුන ලෙස ද එය හඳුනාගත හැකියි.

බහුශ්‍රැතභාවයත්, සිප්පංච හෙවත් ශිල්ප ශාස්ත්‍රයන්හි පවතින හැකියාවත්, විනයෝච සුසුක්ඛිතෝ හෙවත් මනා විනයක් තුළ හික්මීම ලබාගැනීම යන කාරණා තුනයි. දියුණු අධ්‍යාපන දර්ශනයෙහි ආකල්ප නිපුණතා සහ දැනුම යනුවෙන් සාකච්ඡා කරයි. පුද්ගලයෙකු විසින් මෙම අංග තුනම දියුණු කර ගනු ලැබුව හොත් ඔහු පරිපූූුර්ණ පෞරුෂත්වයක් සහිත පුද්ගලයෙකු ලෙස බුදු සමය සලකයි. නූතන අධ්‍යාපන ක්‍රමය තුළ මෙම අංග තුනෙන්ම පරිපූර්ණ වූ දරුවෙකු අධ්‍යාපන ක්‍රියාවලිය නිමවන විට අපේක්ෂා කරයි.

බහුශ්‍රැත යන වචනය බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව අප සිංහලයෙන් අර්ථ ගන්වයි. ධර්ම විනය පුහුණුවන විට බුදුරජාණන් වහන්සේ බහුශ්‍රැත බව ප්‍රධාන අංගයක් බව බොහෝ අවස්ථාවල අවධාරණය කර ඇත. අතීතයේදී දැනුම සහ අවබෝධය වැඩි වශයෙන්ම උරාගනු ලැබුවේ ඇහුන්කම් දීම තුළයි.වර්තමානයෙහි සාක්ෂරතාවය දියුණු මට්ටමක පවතින නිසාම එම ස්වභාවය තරමක් වෙනස් ස්වරූපයක පවතී. ඇහුන්කම් දීම තුළ පමණක් පුද්ගලයෙකු පරිපූර්ණ පුද්ගලයෙකු කරන බව බුදු දහම විශ්වාස නොකරයි.ඇසීම සේම පිරීමත් අවශ්‍ය බව බුදු දහම අවධාරණය කරයි. පුද්ගලයෙකු දැනුම අවබෝධය කරා පත්කර ගැනීම බාහු සච්චංච යන වචනයෙහි අර්ථවත් වන මූලික සංකල්පය වෙයි. එහි දැනුවත් පුද්ගලයා තුළ මෝහය දුරු වෙයි. දැනුම නැති පුද්ගලයා මෝහ චරිත ලෙස සලකයි. අනවබෝධයෙන් ජීවත් වන පුද්ගලයා කර්මය ඵලයත්, සදෙව් ලෝකත්, සතර අපායත් පිළි්බඳ තොරතුරු නොදන්නා නිසාම මෝහ චරිතයෙකු වෙයි. පුද්ගලයෙකු බහුශ්‍රැතවීම යනු මෝහ චරිතයෙන් නිදහස් වී අමෝහ චරිතයක් බවට පරිවර්තනය වීමයි. විද්‍යාව පහළ කර ගැනීම , ප්‍රඥාව පහළ කර ගැනීම , ආලෝකය ලබාගැනීම හෙවත් පූර්ණ අවබෝධයට පත්වීමට අවශ්‍ය වෙයි. බාහුසච්චංච යන වචනය සරල නොවන්නා සේම ඉතාම පුළුල් ගැඹුරු ධර්මානුකූල අර්ථයක් පවතී. එය නිවැරැදිව හඳුනා ගැනීමෙන් වටහා ගත යුතුයි. එය භාවිතාවක් නැත්නම්, හඳුනා ගැනීමෙන් හෝ වටහා ගැනීමෙන් එතරම් ඵලක් නැහැ. මෝහය පවතිනතාක් හිරි ඔතප්ප හෙවත් ලජ්ජා භය නැතිව යයි.

මෝහය දුරුවීමත් සමඟ අමෝහය බලවත්ව වැඩීමෙන් කුසල චෛතසිකයන් වර්ධනය වෙයි. එනම්, හිරි ඔතප්ප වර්ධනය වෙයි. සිත සමඟ චෛතසික උපදින නිසාම සිත මාරුවන විට චෛතසිකද මාරු වෙයි. මෝහ සිතක චෛතසිකයන් මෝහ වෙයි. අමෝහ සිතක චෛතසිකයන් අමෝහ වෙයි. අකුසල සිතක් නම්, චෙතසිකයන් අකුසල වෙයි. කුසල සිතක් නම්, චෛතසිකයන් කුසල වෙයි. එමනිසා පළමුවෙන්ම බහුශ්‍රැතභාවය වර්ධනය කරගත යුතුයි. බහුශ්‍රැතභාවය වර්ධනය කරගැනීම යනු සම්මා දිට්ඨිය ඇතිකර ගැනීමයි. බහුශ්‍රැතභාවය වර්ධනය වීමත් සමඟ අපගේ ඤාාණ දර්ශනය පුළුල් වෙයි. පුළුල් ඥාන දර්ශනය තුළ පටු ආකාරයෙන් බැලීමත්,මුග්ධ ලෙස දේවල් දෙස නිරීක්ෂණය කිරීමත් නවතී.පර්වතයක් මුදුනට නැඟුන පුද්ගලයෙකු බිම බලනවා වගේ ඉතාම පුළුල් ඇසකින් බැලීමට පටන් ගනී. කැමරා කාචයක සටහන් වන පින්තූර ලෙස ඉතාම හොඳින් පැති කිහිපයකින් අපට දැක ගත හැකියි. උඩ සිට බලන පුද්ගලයෙකුට පැති ගණනාවක් දක්නට ලැබෙයි. බහුශ්‍රැතභාවය යනු එවැනි පුද්්ගලයෙකු වීමයි. ඇසූපිරූ තැන් ඇති පුද්ගලයා පටු ලෙස නොබලයි. හේතුව සහ ඵලය කුමක්ද? යන වග ඔහු සැම විටම සිතයි. ඤාාණය දියුණුවීමෙන් ලැබෙන ප්‍රතිඵලය එයයි. හේතුඵල සම්බන්ධය කුමක්ද? යන්න බලමින් එසේ වීමට හේතුව කවරේද? එය පවතිනු ලබන්නේ කුමන කාරණා මූලික කර ගෙනද?ඔබ ඔබගේ ක්ෂේත්‍රය තුළ ඔබගේ අරමුණු තුළ පැතිරී ගිය දැනුම් සම්භාරයක් සහිත පුද්ගලයෙකු විමට උත්සාහ කළ යුතුයි.

තමාගේ ජීවිතය තුළ බහුශ්‍රැත නොවුණ හොත් තමා විසින් තමාගේ අරමුණු හදාගැනීමට නොහැකි වනවා සේම සෙසු පුද්ගලයාට මඟ පෙන්වීමටත්, ශක්තිය නැතිව යයි.තමා දන්නා කාරණා වැඩිපුර තිබීම පමණක් එතරම් වැදගත් නැහැ. දන්නා කරුණු තේරුම් ගැනීම වැදගත් වෙයි. දන්නා කාරණා තේරුම් ගැනීමෙන් එය යොදාගත යුතු ස්ථානය පිළිබඳව අවබෝධයක් පවතී. කුමන ආකාරයකටද?කුමන ප්‍රමාණයකටද? යනුවෙන් තමාට අවබෝධයක් තිබිය යුතුයි. යමක් යොදවන්න සුදුසු ස්ථානය තේරුම් ගත හැක්කේ ප්‍රඥාාව වැඩි වුවහොත් පමණයි. එසේ නැතහොත් අප සීමාව ඉක්මවා යයි. තක්කාලි පලතුරක් වුවත්, එය පලතුරු සලාද සඳහා භාවිතයට නොගනී. පලතුරක් වුවත්, එළවළු සලාදයට භාවිත කරයි. එළවළු සහ පලතුරු පිළිබඳව නිවැරැදි අවබෝධයක් ඇති පුද්ගලයෙකු තක්කාලි පලතුරක් මිස එළවළුවක් නොවන බවත්, එය පලතුරක් වුවත්, පලතුරු සලාදය සඳහා යොදා නොගන්නා බව ඔහුගේ දැනුමෙන් දැන ගනී. දැනුම ඇති පිරිස තක්කාලි පලතුරක් මිස එළවළුවක් නොවන බව දනී.

තක්කාලි පිළිබඳව බුද්ධිය හෙවත් ප්‍රඥාාව නැත්නම්,තක්කාලි භාවිත කරන ආකාරය වරදවා ගත හැකියි. තක්කාලි පලතුරක් බව දැන ගත්තත් පලතුරු සලාදයට යොදා නොගැනීම ඔහු සතු බුද්ධිමත් බවයි. නමුත් තක්කාලි පලතුරක් වෙයි. පුද්ගලයෙකු සතු දැනුම සහ බුද්ධිය දෙකක් වෙයි. දැනුම බුද්ධිය බවට පරිවර්තනය නොවන්නේ නම්,දැනුම තිබීම පමණක් ප්‍රාමාණික නොවෙයි. අපගේ ජීවිතවල අප කෙතරම් ධර්මය ශ්‍රවණය කළත්, ධර්මය කියවීමට ලැබුණත්, එම දැනුවත් කරුණු භාවිතයට නොගන්නේ නම්, ඇති ඵලක් නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් කාරණා දැනුම ලෙස ලැබුණත්, එම දත්ත නිවැරැදිව අවබෝධ කර නොගෙන ප්‍රඥාාව බවට පරිවර්තනය කර නොගන්නේ නම්,පුහුණු නොවන්නේ නම්, ඔබ ලබාගත් දැනුමෙන් ඔබට ඵලක් නොලැබෙයි. දැනුම පුහුණුකර නොගත හොත් එම දැනුම නාස්තිවී යයි. ඔබගේ දැනුමෙන් ආලෝකයත්, ප්‍රඥාාවත් උපදවා නොගතහොත් ඇති ඵලය කුමක්ද? ධර්මය ශ්‍රවණය කලාට ,එය වඩන්නේ නැත්නම්, එම ශ්‍රවණය කිරීමෙන් ඵලක් නැහැ. ධර්මය තමා තුළ වර්ධනය කර ගත යුතුයි. වැඩෙන විට අප අසන ලද දෙයට අර්ථයක් ලැබෙයි. ප්‍රඥාාවත්, ඥාානයත්, බුද්ධියත් සමඟ අප මේ ලෝකය සමඟ ක්‍රියාත්මක වනවා නම්, අප ලබාගත් දැනුමට ඵලයක් ලැබුණා වෙයි. එම නිසා බහුශ්‍රැත විය යුතුයි. බහුශ්‍රැතවීමේදී ඔබට බාධක හමු වෙයි. අපට යම් දෙයක් නිවැරැදිව අවබෝධ නොවීමට හේතු වන කාරණා අංගුත්තර නිකායේදී සඳහන් වෙයි.

දේශකයාට ද්වේෂ කිරීම පළමු කාරණාවයි. යම් කාරණාවක් ප්‍රත්‍යක්ෂ ඥාානයකින් බුද්ධිය බවට පරිවර්තනය කරගැනීමට නොහැකි එක කාරණාවක් නම්, දේශකයාට ද්වේෂ කරමින් එය අසාගෙන සිටීමයි. දේශකයාට ද්වේෂ කිරීම බහුශ්‍රැත වීමට බාධාවක් වෙයි. එය ඔබගේ මනසෙහි පවතින බාධාවක් වෙයි. දේශකයාට ද්වේෂ කරමින් ශ්‍රවණය කරන විට දේශනය අපැහැදිළි වෙයි.දේවදත්තට සිදුවූයේද එවැනි තත්ත්වයක ස්වභාවයක්.

ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර
අහෝ දෙව්දත් නොදිටි මොක් පුර

එකම පන්සලෙහි වැඩ වසමින් සිටියත්, බුදු හිමියන්ගේ ධර්මය ශ්‍රවණය කළත්,දේවදත්තට එක බණ පදයක්වත් අවබෝධ වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය දේවදත්තට නිවැරැදිව ග්‍රහණය නොවුණේ දේවදත්ත බුදුරජාණන් වහන්සේට වෛර කළ නිසයි.