Print this Article


අත් නොහළ යුතු උත්සාහය

අත් නොහළ යුතු උත්සාහය

කැපකිරීම, උනන්දුව, උත්සහාය ආදී සියලු පදයන්ගෙන් කියවෙන්නේ දහමේ පෙන්වා දෙනු ලබන ‘වායාම’ හෙවත් වෑයම යන අර්ථයමය. මෙලොව කැපකිරීමකින් තොරව කිසිදු දෙයක් ලබාගත නොහැකිය. සෑම කාර්යයක් උදෙසාම කැපකිරීම හෙවත් වෑයම යෙදිය යුතුම ය. ලෞකික වූත්, ලෝකෝත්තර වූත් අරමුණු උදෙසාද එසේමය. කර්මය යනු ක්‍රියාවයි. එය ප්‍රධාන වශයෙන්.

කුසල කර්ම , අකුසල කර්ම කියා කොටස් දෙක කට බෙදා දැක්විය හැකිය. මෙම ක්‍රියා දෙකම සිදුකිරීමට අවැසි වන්නේද ඉහතින් දක්වන ලද වායාමයි. එහෙත් එම ක්‍රියාවන්ට යොදන වෑයම එකක් නොව දෙකකි. එනම් කුසල කර්ම සඳහා යොදන වායාම සම්මා වායාම හෙවත් යහපත් වෑයමයි.

අකුසල කර්ම සඳහා යොදන වායාමය, මිච්ඡා වායාම හෙවත් අයහපත් වෑයමයි. මෙයට අමතරව පින, යහපත, සුබ, හොඳ නිවැරදි සුසිරිත් යන හැම කාර්යක් සඳහාම යෙදිය යුත්තේ ද සම්මා වායාම වන අතර පව, අයහපත අසුබ, නරක, වරද දුසිරිත් යන හැම කාර්යයකටම යෙදිය යුත්තේ ද මිච්ඡා වායාම බව පැහැදිලිය. මෙකී දෙකොටසටම අවශ්‍ය වන්නේ කැපකිරීමයි. එම කැපකිරීම් හමුවේ ලැබෙන ප්‍රතිවිපාකද එලෙසින්ම දෙයාකාරය.

ලොව්තුරු බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ මධ්‍යම ප්‍රතිපදාව හෙවත් මැදුම් පිළිවෙත වන යහපත් දැක්ම, යහපත් සංකල්පය,යහපත් වචනය. යහපත් කර්මාන්තය,යහපත් දිවිපැවැත්ම, යහපත් වෑයම, යහපත් සිහිය යහපත් එකඟකම යන ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල, සමාධි, ප්‍රඥා වශයෙන් දියුණු කර ගනිමින් ගමන් කරන්නට ද, දුක පිළිබඳ උතුම් සත්‍යයය, දුකට හේතුව පිළිබඳ උතුම් සත්‍යයය, දුක නැති කිරීම පිළිබඳ උතුම් සත්‍යයය, දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ උතුම් සත්‍යයය, යන චතුරාර්ය සත්‍යයය අවබෝධ කරගැනීම සඳහා ද කැපකිරීම් සිදුකළ යුතුමය. අප සියලු දෙන, මේ බිහිසුණු සසර මැරි, මැරී, ඉපදී, ඉපදී ගමන් කරන්නේ එකී කැප කිරීම නියමාකාරයෙන් සිදු නොකළ නිසා ය. දුක හටගැනීමට ප්‍රධාන හේතුව වන්නේ තෘෂ්ණාව හෙවත් තණ්හාව වේ.

නිවන යන වචනය තුළ ද ගම්‍යමාන වනුයේ තණ්හාව නැති කිරීම යන අදහසයි. ‘වාන’ යනු තණ්හාවයි. ‘නි’ යනු නැති කිරීමයි. ඒ අනුව තණ්හාව නැති කිරීම නිවන බව පැහැදිලි වේ. තණ්හාව නැති කරන්නට නම් ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් නැති කරගනිමින්, ඒ වෙනුවට අලෝභ, අද්වේෂ, අමෝහ යන කුසල මූලයන් ඉදිරිපත් කරගත යුතු ය. එසේ ඉදිරිපත් කරගනිමින් දානාදී, සීලාදි ගුණ ධර්මයන් ද පුරුදු පුහුණු කර ගත යුතු ය. බවුන් වඩා සසර කෙටි කරන්නට අවැසි අවබෝධයද ලබාගත යුතු ය. මෙකී සියලු කාරණාවත් සිදු කිරීමට නම් යහපත් කැපකිරීමක් සිදුකළ යුතුමය.

දෛනික ජීවිතය ගත කරන පුද්ගලයන් වශයෙන්ද නිරතුරුවම තම ජීවිතය පවත්වා ගන්නට කැපකිරීම් සිදුකළ යුතුය. ජීවිතය පුරා සිදුවන කම්කටොළු, ගැටලු නිරාකරණය පිණිසද, තාඩන, පීඩන සමනය කරගැනීම පිණිසද, අභියෝග ජය ගැනීම පිණිසද කැපකිරීම් යහපත් අයුරින් සිදුකළ යුතු ය.

‘වායමේතේව පුරිසො - යාව අත්ථස්ස නිප්පදා’

තම පරමාර්ථය ඉටු කරගන්නා තෙක්ම වෑයම් අත්නොහළ යුත්තේ ය.