විමාන වත්ථු කතා
කේ.කේ. සුගතපාල
ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තන මණ්ඩලයේ ලේකම්
(බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව)
පින්වත් ඔබට මෙතැන් සිට ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථ 15 න්, ‘විමාන වස්තු’ නම් වූ
ග්‍රන්ථයේ එන බුද්ධ දේශනාව ඇතුළත් ත්‍රිපිටකාගත කතා මාලාව කියවීමට ඉඩ සලසමු.
ශ්‍රද්ධාවෙන් ම මේවා කියවිය යුතු ය. බුදුදහමෙහි ශ්‍රද්ධාව යනු අටතැන සැකය
(විචිකිච්ඡාව) දුරලීමයි. නැති කර ගැනීමයි.
මේ අට තැන නම් – 1. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය හා සිද්ධාර්ථ තවුසාණන් සියලු පව්
දුරලා සියලු කෙලෙසුන් නසා, සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව, 2. එදා ඉසිපතනාරාමයේ දී
පස්වග තවුසන් අරභයා දම්සක් පැවැතුම් සූත්‍රයෙන් ඇරැඹූ, තමාගේ ඤාණයෙන්ම අවබෝධ කළ
සම්බුදු සද්ධර්මය සසර සියලු දුක් මුදවාලිය හැකි ආගමක් – දර්ශනයක් – ජීවන
ප්‍රතිපදාවක් බව, 3. මෙවන් සද්ධර්මයක් අසා සසර දුකින් මිදුනු බුද්ධශ්‍රාවක ගණයා
සිටිය බවට හා සිටින බවට 4. මේ ජීවිතයට පෙර තමාට පූර්ව ආත්මයක් තිබූ බව, 5. මේ
මරණින් පසු රහත් නොවුනහොත් මතු ජීවිතයක් ඇති බව, 6. පූර්ව හා මතු ආත්ම දෙකම ඇති බව,
(එදත් අදත් සමහරු දෙකින් එකක් ඇති බව හෝ දෙකම නැති බව ඇදවූහ.) 7. කරන යහපත් (පින්)
හෝ අයහපත් (පව්) ක්‍රියාවලට විපාක ඇති බව (කර්මපල විශ්වාස කිරීම) හා 8. හේතු හා ඵල
නම් වූ පටිච්චසමුප්පාද ධර්මය යන අටකාරණ පිළිගැනීමත්, විශ්වාස කිරීමත් බුදුදහමේ
ශ්‍රද්ධාවයි. මේ අට කරුණ පිළිබඳ ඔබේ සැකයක් වේ නම්, එවෙලෙහිම ධර්ම ධරයන්ගෙන් අසා
සැක හැර ගත යුතු ය.
“විමාන” යනු දිව්‍ය ලෝකවල දෙවිවරුන්ගේ වාසය පිණිස හා ක්‍රීඩා පිණිස ඇති විසිතුරු
ස්ථානයන්ට නමකි. ඒවා මිනිස්ව මනුලොව වාසය කරද්දී ඔවුන් විසින් කරන ලද යහපත්
ක්‍රියාවන්හි විපාක වශයෙන් පහළ වන්නකි. යොදුන් එකක් දෙකක්..... දොළහක් – පහළොවක්
ආදී වෙනස් වෙනස් ප්‍රමාණයන්ගෙන් මෙම විමාන පහළ වන්නේ කළ පුණ්‍ය ක්‍රිායන්විහි
විශේෂත්ව වශයෙනි. මේ විමානයන් පිළිබඳ කතාන්තර 85 ක් ඉදිරියේ දී කියැවීමට හැකිවන
හෙයින් මේවා ‘විමානවත්ථු’ නම් වේ.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය දී වරක් මගධාධිපති පසේනදි කොසොල්
මහරජු විසින් රට වැසියන් සමග තරඟ ස්වරූපයෙන් හයවරක්ම විශේෂ කොට බුද්ධ ප්‍රමුඛ මහ
සඟනට දන් දුන්නේ ය. හයවන වර පැරැදුනු මහරජු හත්වන වරට අගබිසෝ මල්ලිකා දේවියගේ මඟ
පෙන්වීම මත බුද්ධෝත්තමයකුට එක්වරක් පමණක් පිදිය හැකි අසදෘශ මහා දානයක් පිරිනමා
රටවැසියන් පැරැදලීය. එවන් මහ ධනවතුන් ගණයෙහිලා එවකට සැළැකූ අනේපිඬු මහසිටු හා
විශාඛා මහා උපාසිකාතුමෝ තම තමන්ගේ නිවසෙහි නිති මහ දන් දෙති. මෙම මහා දානය පිළිබඳ
කතා මුළු දඹදිව්හිම පතළ විය. එවිට මහජනතාව අතර ‘මහත් වූ ධන පරිත්‍යාගයෙන් ම දෙන
දානය වඩාත් යි යන කතාවක් පැතිරෙන්නට විය. භික්ෂූන් වහන්සේගේ කණවැකුණු මෙය අනතුරුව
බුදුරජාණන් වහන්සේට දැන්වීය. එවිට බුදුරජාණන් වහන්සේ, ‘මහණෙනි, දෙනු ලබන වස්තු
සම්පත්තීන්ගෙන්ම පමණක් දානයක් වඩාත් මහත්ඵල වන්නේ නොවේ. යමෙක් සිත පහදවා ගැනීම නම්
සම්පත්තියෙන්ද, දිය යුතු පුද්ගලයා (ප්‍රතිගාහකයා) පිළිබඳ සම්පත්තියෙන් ද සම්පූර්ණව,
කෙතෙන් ගත් අස්වැන්න කොටා ඉතිරිවන කුඩු සහලින් සකස් කොට ගත් ආහාරයක්, දිරාගිය රෙදි
කැබැල්ලක්, තණ හෝ කොළ ඇතිරිල්ලක්, ගව මුත්‍රයෙහි ලා පැරැණි කොට ගත් අරළු ගෙඩියක්
පමණ හෝ ඉතා පැහැදුනු සිතින් දක්ෂිණාර්හි (කම්පල අදහා දිය හැකි) පුද්ගලයකුට පිරිනමන
ලද්දේ නම් එය ද මහත්ඵල සහිත මහත් ආලෝකය ගෙන දෙන මහා පැතිරීමක් සහිත දානයක් වන්නේ”
යයි වදාළ සේක.
අනතුරුව තථාගතයන් වහන්සේගේ මෙම දේශනාවද දඹදිව පුරා පැතිර ගියේ ය. එකල්හි රටවැසියෝ
සිත් පහදවාගෙන ගෙමිදුලෙහි පැන් සකසා තබති. දොරටු කුටි තුළ අසුන් පනවා තබති. ශ්‍රමණ,
බ්‍රාහ්මණ, දුගී, මගී, යාචක යනාදීන්ට තමාට ඇති සම්පත් පමණින් දන් දෙන්නට පුරුදු
වූවෝ ය. පන්සිල් රැකීමට පුරුදු වූවෝ ය. සෘද්ධිබල සහිත ෂඩ් අභිඥාලාභි මහමුගලන්
මහරහතන් වහන්සේ තථාගතයන් වහන්සේගෙන් ලද අවසරය පරිදි ‘මිනිස් ලොව පෙර වාසය කළ
මනුෂ්‍යයෝ වස්තු සම්පත්තියක් නැතිවද, ධන සම්පත් නැතිවද තමාගේ සිත් පහදවා ගැනීම නම්
වූ චිත්ත සම්පත්තියෙන් විවිධ කෙටි පින්කම් කොට දෙව්ලොව ඉපිද මහත් දිව්‍ය සම්පත්
විඳින බව දුටුවහ. ඒ දෙවියන් ඔවුන් කළ පිනෙන් සම්පත් අනුභව කරන හැටි, ඒ දෙවි -
දේවතාවියන් ලවාම කියවාගෙන බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ඒ අයුරින්ම දැන්වූහ.
ශාස්තෘන් වහන්සේ එම කරුණු අනුමත කළ සේක. පසුව මෙම කරුණු මුල්කොටගෙන අදාළ තැන්හි
අර්ථෝත්පත්ති කොට දහම් දෙසූ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ මෙම ධර්ම කරුණු
පසුව සංගායනාවලදී එකතුකොට ‘විමානවත්ථු පාළිය’ සංග්‍රහ වී ඇත.
මෙම කතා වස්තු කියවන විට ද සිහියෙහි තබා ගත යුතු වැදගත් කරුණක් වේ. ඉතා කලාතුරකින්
බුදු කෙනෙකුන් ලොව පහළ වන්නේ සත්ත්වයා සසර නැවත නැවත උත්පත්ති ලබා දෙන දහම් දෙසීමට
නොව, භව ප්‍රතිසන්ධියක් නැවැත ඇති නොවන කර්මය පුනර්භවය, පටිච්චසමුප්පාදය, චතුරාර්ය
සත්‍යය හා නිවන යන සාරධර්මය දෙසීමටය. එයින් ධර්මාවබෝධය ලබා මේ මනුෂ්‍ය ජීවිතයේ දී ම
සසර ගමන අවසන් කරවා ගැනීමටය. අනෙකුත් බොහෝ දේශනා ඇසූ හා මතු වූ ප්‍රශ්නවලට පිළිතුරු
වශයෙන් කළ දේශනාවන්ය.
ලබන සතියේ - දන්දීමේ දී සිත පහදවා ගන්නා තරමට
ආනිසංස බලවත් වේ. |