Print this Article


කරණීය මෙත්ත සූත්‍රයෙන්:

සැබෑ සතුට

‘සන්තුස්සකෝච’ නම් ලද දෙයින් සතුටු වීමයි. එනම් ලැබුණු දෙයින් සෑහීමට පත් වීමය. සන්තුස්සකෝ ගුණය විශේෂයෙන් භික්ෂූන් වහන්සේ උදෙසා දේශනා කරන ලද්දකි. කෙලෙස් අඩුකර ගැනීමට මඟ පෙන්වීමකි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව් පසය ලැබෙන ආකාරයෙන්, සැලසෙන ආකාරයෙන් සතුටු වී පරිභෝජනය කළයුතු බව ඉන් අදහස් වේ. එනම් කොයි විදිහෙන් ලැබුණ ද පිළිගත යුතු බවයි. රසය, අඩුපාඩු, ප්‍රමාණය මැන බැලීම අනවශ්‍යය. භික්ෂූන් වහන්සේගේ ජීවිතය ආසාවන් පසුපස දුවන, අතෘප්තිමත් ජීවිතයක් නොවේ.

සාමාන්‍ය ගිහි ජීවිතයේද ලැබුණු දෙයින් සතුටුවීම සුවදායකය. ගිහියකු ලෙස අඹු දරුවන් රකින කෙනකුට එය අපහසු කාර්යයකැයි සිතෙන්නට ඉඩ ඇත. ජීවන ගමනේදී අනවශ්‍ය වියහියදම්වලින් තොර විය යුතු ය. එදිනෙදා මූලික අවශ්‍යතා ප්‍රමාණාත්මකව ඉටුකර ගනිමින් දිවිමග පවත්වාගත හැකි නම් ඒ ජීවිතය අවබෝධාත්මකය. සුවදායකය. තැවිල්ලෙන්, වේදනාවෙන්, අසහනයෙන්, පීඩාවෙන් තොරය. එහි දී ලැබෙන සතුට තුන් ආකාරය. යථා ලාභ, යථා බල හා යථා සාරුප්ප ලෙසිනි.

“යථාලාභ” යනු ආදායමේ ප්‍රමාණයට අවශ්‍ය දේට හුරු පුරුදු වීමය. අවශ්‍යතා සපුරා ගැනීමය. එයින් සතුටුවීමය. අනුන්ගේ වටිනා ඇඳුම්, පැළඳුම්, අලංකාර ගේ දොර, උසස් වර්ගයේ යාන වාහන, ඉහළ මට්ටමේ ආහාර පාන, දැක තමන්ට හැකියාවක් නොවී තිබියදීත් ඒවා ලබා ගන්නට ක්‍රියාත්මක වෙනවා නම් එය ප්‍රශ්නකාරී ජීවිතයකට යොමු වීමකි.

ප්‍රතිඵලය දුක්ඛදායකය. ණය ගැතියෙකු වීමෙන් පමණක් නොනැවතේ. ඒ නිසා ලැබෙන ප්‍රතිඵල සෑම පැතිකඩකින්ම වේදනාත්මකය. පමණ නොදැන වියදම් කිරීම නින්දා අපහාසවලට, නඩුහබවලට, ජීවිත විනාශයට යොමු කරන ගමනකි.

බොහෝ දෙනෙක් අනවශ්‍ය වියදම් නිර්මාණය කරන්නේ ලෝකයට පෙනෙන්නටය. උපන්දින, වැඩිවිය පැමිණීම්, විවාහ මංගල්‍යය ආදියට විශාල මුදල් වෙන්කරන්නේ තමන්ගේ හැකියාටට අනුව නොවේ. ලෝකය රැවටීමට, ලෝකයට ණය වීමෙනි. අවසන තමන්ගේ හැකියාව මේ යැයි ලොවට පෙන්වා, ගත් ණය ගෙවා ගන්නට අපමණ වෙහෙසෙති. එය සතුට නොව දුකකි.

සමහරු උපයන මුදලින් හතරෙන් තුනක්වත් මත් ද්‍රව්‍යවලට වෙන් කරති. අන් අය කරන දේ කරන්නට යති. මේ පරිහානියට යන මාර්ගයන්ය. ගිහියන් ලෙස සැපසේ ජීවත් විය යුතු ය. එහෙත් එය අවබෝධයෙන්, ක්‍රමවත් පාලනයකින් කළ යුතු ය. ප්‍රමාණවත් ධනය උපයාගත යුතු ය. එය අත්ථිසුඛයයි. ඒ ධනය පරිභෝජනය කළ යුතුය. ඒ භෝග සුඛයයි. ණය නොවිය යුතුය. ඒ අනණ සුඛයයි. ඒ වගේම ජීවිතය නිවැරදිව පවත්වා ගත යුතු ය. එය අනවජ්ජ සුඛයයි. මේ සිව් කරුණු පවත්වා ගැනීමෙන් සන්තුස්සකෝ යන උතුම් ගුණාංගය සපුරා ගන්නට පුළුවන.

සමහරු සමාජ තත්ත්වය මනින්නේ පරිභෝජනයෙනි. එහෙත් බෞද්ධයාගේ දැක්ම ඊට වෙනස්ය. පැරැණි සිංහලයින් සරල ජීවන රටාවකට අනුව ජීවිතය සකස් කරගෙන තිබුණු බව අපේ ඉතිහාසය පෙන්වා දෙයි. එය වෙනස් වූයේ වර්ෂ 1505 න් පසුවය.

‘කාපල්ලා, බීපල්ලා ජොලි කරපල්ලා හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා’ කීමට ද නුසුදුසු වුවද සමහරු ජීවත් වන්නේ මෙවැනි ආකල්පයෙනි. බොහෝ දෙනෙක් අනුගමනය කරනු පෙනෙන්නේ ද මේ ජීවන රටාවම නොවේද? ආහාරපාන පමණක් නොව ඇඳුම්, පැළඳුම්, ගෘහ භාණ්ඩ, ගමන් බිමන්, අධ්‍යාපනය ආදි විවිධ ජීවන ක්‍රියාකාරකම් හි කාමසුඛල්ලිඛානුයෝගී පිළිවෙතට යට වූ ස්වභාවයක් අපි දකිමු. සියල්ල අවසන ඉතිරි වන්නේ වෙහෙසකර බව, පීඩාව, සිත් තැවුල, වේදනා මිස අන් කිසිවක් නොවේ.

තමන්ට ගැළපෙන, උහුලන්නට හැකි, ජීවන රටාවක් සකස් කර ගැනීමට මානසික ආකල්ප සකස් කර ගත යුතු ය. කායික හා මානසික සතුට ලබා ගැනීමේ දී මිනිසකු ලෙස ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් රාශියක් වේ. තමන්ගේ අඹු දරුවන් ගැන පමණක් සිතා කටයුතු කළ නොහැකිය. මවුපිය, නෑදෑ, හිත මිතුරු, අසල්වැසි, පූජ්‍ය පක්ෂය, වගේම අසරණයින් ගැන ද අවධානය යොමු කළ යුතු වේ.

මූලික අවශ්‍යතා යාන්තමින් සපුරාගත් පමණින් සුව පහසුව නොලැබේ. ඒ සඳහා ප්‍රමාණවත් ධනය ධාර්මිකව උපයා ගැනීමට වෙහෙසිය යුතු ය. මානසික සුවය ලබන්නට අය වැය තුලනය කර ගැනීම, ණය නොවී සිටීම, කාලයට, දේශයට ගැළපෙන ලෙස ජීවත්වීම, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම, ආපදාවන්ට මුහුණදීමට ප්‍රමාණවත් ඉතිරියක් තිබීම ආදී කරුණු පිළිබඳව අවධානය ඉතා වැදගත් වේ. ලැබෙන ධනය අරපරෙස්සමෙන්, මූලික අවශ්‍යතා සපුරමින් බුද්ධිමත්ව පරිහරණයෙන් එදිනෙදා බලාපොරොත්තුවන සන්තුෂ්ඨිය ලබා ගැනීම අපහසු නොවේ.