අප හැමෝම දඬුවමට බයයි
කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරවාසී
ශාස්ත්‍රපති පණ්ඩිත
විතාරන්දෙණියේ මේධානන්ද හිමි
බ්‍රහ්මදත්ත රජු බරණැස්නුවර රාජ්‍ය කරන කාලයේ අප මහ බෝසතාණන් වහන්සේ සුනඛ භවයක ඉපදී
සිය පිරිවර සමඟ සොහොන් බිමක ජීවත් වුණා. එක දවසක් රජතුමා අලංකාර අශ්ව රථයකින් උයන්
ක්‍රීඩා පිණිස පිටත් වුණා. ආපසු මාලිගයට ආ විගස සේවකයින් විසින් රථය වසා තැබූ
සම්වලින් තැනූ වරපට රජ මිදුලේ ගලවා තැබුවා. රැයෙහි වැසි වැටුණා. සම් සහ වරපට තෙමී
ඒවායින් දුර්ගන්ධය හැමුවා.මාලිගයේ සිටි සුනඛයින් දුර්ගන්ධයට එහි පැමිණ සම් හා වරපට
කා දැමුවා. රාජපුරුෂයෝ ඒ බව මහ රජුට දැනුම් දුන්නා.
කෝපයට පත් රජු කවර සුනඛයින් විසින් මේ වරපට කා දමන ලද්දේදැ’යි ඇසුවා. බියට පත්
රාජපුරුෂයින් , මාලිගයෙන් පිටත සිටින සුනඛයින් පැමිණ වරපට කා දමන ලදැයි පැවසුවා.
රජු සියලු සුනඛයින් මරා දමන්නට අණ කළා. මරණ බියේ කෑ ගසමින් දිව යන සුනඛයින් සොහොන්
බිමට පැමිණ සිය නායකයාට දුක්ගැනවිලි කීවා.
“රජතුමාගේ අශ්ව රථයේ සම් හා වරපට සුනඛයන් විසින් කා දමා ඇති නිසා රජු කෝපයට පත්වෙලා
. මාලිගයෙන් පිටත සියලු සුනඛයන් මරා දමන්නට අණ කරලා. අනේ! නායකතුමනි, අප බේරා ගනු
මැනවි.’
“කලබලවෙන්න එපා. මම ප්‍රශ්නය විසඳා දෙන්නම්” නායක සුනඛයා රජවාසලට පිටත් වුණා. රජු
ඉදිරියට ගියා. ඉන්පසු සුනඛයාත්, රජුත් අතර ඇතිවුණේ මෙවැනි සංවාදයක්. “දේවයන් වහන්ස.
මාලිගයෙන් පිටත සුනඛයින් මරණ බියෙන් කෑ ගසනවා. ඔබතුමා ඔවුන් මරා දමන්ට අණ කළාද?”
“එසේය මම අණ කළෙමි”.රජු කෝපයෙන් කීවා. “කුමක් නිසා සුනඛයන් නසන්නේද?”
“මාගේ අශ්ව රථයේ සම් හා වරපට කා දැමු හෙයිනි” “ඔබ අශ්ව රථයේ වරපට කෑ සුනඛයින් ගැන
දන්නවාද?” “නොදන්නා නිසා සියල්ලන් මරාදමන ලෙස අණ කළා.”
“රජතුමනි,” මාලිගයේ සුනඛයින් මරා දමනවාද? “නැත ඔවුන් නසන්නේ නැත.” “එය අසාධාරණයි.
රජතුමනි, වැරැදිකරුවන් නොදැන දඬුවම් කිරීම වරදක් නොවන්නේද?” “එසේ නම් වැරැදි කළ
සුනඛයින් ගැන ඔබ දන්නවාද?” “එසේය රජතුමනි, මා එය ඔප්පු කර පෙන්වන්නම්. රජමැදුරේ
සුනඛයින්ට ඊතණත්, මෝරුත් මුසු කොට ආහාරයට දෙනු මැනවි. එවිට වැරැදිකරුවන් දැන ගත
හැකිය.” රජුද සුනඛයා කී ලෙස කරන්නට රාජ පුරුෂයන්ට අණ කළා. මෝරු හා ඊතණ ආහාරයට ගත්
මාලිගයේ සුනඛයින් සම් හා වරපට කැබලි වමනය කරන්නට වුණා. රජුට කළ වරද වැටහුණා. බෝසත්
සුනඛයාට ප්‍රශංසා කළා. ඒ විතරක් නොවෙයි. කැමැති වරයක් ඉල්ලන ලෙස කියා සිටියා. එවිට
බෝසත් සුනඛයා සියලු සුනඛයින්ට ජීවිත දානය දෙන ලෙස ඉල්ලා සිටියා. දස රාජ ධර්මයෙන් රට
පාලනය කරන ලෙසත්, කිසිවෙකුට හිංසා නොකරන ලෙසත්, අප්‍රමාදව පින් දහම් කරන ලෙසත්
රජතුමාගෙන් ඉල්ලා සිටියා.
දුවේ, පුතේ, මේ කතාවෙන් අපගේ ජිවිතයට මොනතරම් ආදර්ශ ගන්නට තිබෙනවාද? සුනඛ රැලේ
නායකයා වූ බෝසත් සුනඛයාගේ නායකත්ව ලක්ෂණ ඉතා ඉහළයි. තමන්ගේ වර්ගයා වෙනුවෙන්
නිර්භීතව රජු හමුවීමට ගියා. ඒ වගේම විචක්ෂණ බුද්ධිය ගැටලුව හඳුනාගෙන උපක්‍රමශීලිව
පහසුවෙන් විසඳුම් සොයා ගන්නට හැකි වුණා. සාධාරණත්වය ඉටුවුණා, කිසිවෙකුට හිංසාවක්
පීඩාවක් සිදුවුණේ නෑ. දුවේ, පුතේ අපගේ ජීවිතයේ විවිධ ගැටලු ප්‍රශ්න හමුවෙනවා. අප
බොහෝවිට ඒවාට කලබල වෙනවා. විසඳුම් සොයන්නේ අවුල් වූ සිතින්. එවිට ප්‍රශ්න තවත් දුර
දිග යනවා. නිවුණු මනසින් ගැටලුවලට විසඳුම් සෙවීම ඉතා පහසුයි. ඒ වගේම සාර්ථකයි.
ප්‍රාණඝාතයෙන් වැළකීමේ ගුණයත් මේ කතාවෙන් කියැවෙනවා. අප හැමෝම කැමැති දිගුකල් ජීවත්
වන්නටයි. මරණයට කිසිවෙක් කැමැති නෑ. හිංසාවට පීඩාවට කැමැති නෑ. ඒ නිසා දුවේ, පුතේ!
කිසි දිනෙක කිසිවෙකුට හිංසා පීඩා කරන්න එපා. මෛත්‍රිය, අනුකම්පාව දක්වන්න ඕනෑ.
‘සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ සං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා
නහන්‍යෙය න ඝාතයේ’
සියලු සතුන් දඬුවමට බියයි. ජීවිතයට පි‍්‍රයයි. තමන් උපමාවට ගෙන අන් අයට හිංසා
නොකරන්න’යි අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළා.
මේ ආදර්ශ ,අවවාද අනුව ජීවිතය ආලෝකමත් කර ගන්නට අධිෂ්ඨාන කර ගන්න. |