පාඩම් කරන්න අලස වන්නේ ඇයි?
මහනුවර ශික්ෂණ රෝහලේ
වෛද්‍ය
රත්නසිරි බණ්ඩාර
හොඳින් ඉගෙන ගන්නට ඕනෑකම තිබුණද පාඩම් කිරීමේ දී අධ්‍යයන ක්‍රියාකාරකම්වලදී ඇතිවන
අලස ගතිය නිසා සමහර ළමයි ගැටලු රැසකට මුහුණ දෙති. ඒ නිසාම මවුපියෝ වද වෙති. ‘පාඩම්
කරන්නට ඕනෑ’ යි සිතුණද තව ටික වේලාවකින් පාඩම් කරනවා, ‘තව පැයකින් පාඩම් කරනවා’
‘දැන් හොඳට නිදාගෙන හෙට පාන්දරම නැඟිටිනවා’ ආදි ලෙස වැඩ කල් දැමීම බොහෝ ළමයින්ගේ
පුරුද්දකි.විටෙක හිත අලස වේ. තවත් විටෙක කය අලස වේ.
සිත අලස කරන හේතු සාධක බොහෝය. සමහර අයට ඉගෙනීම ගැන සුබවාදී ආකල්ප නැත. යහපත්
අධ්‍යාපනයක් ලැබීම අනාගතයේ යහපතට හේතුවන බවට දැනුම්වත් බවක් නැත. ඒ පිළිබඳ නිරන්තර
අවබෝධාත්මක මතකයක් නැත. අධිෂ්ඨානයක්, අරමුණක් නැති විට ඉගෙනීමට උනන්දුවක් නැත. සිත
අලසය. උට්ඨාන වීර්ය තිබේ නම් යම් අරමුණක් ජය ගැනීමට අපහසු නොවන බව බුදුදහමේ
අවධාරිතය.
සමහර ළමයි කාලයක් හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරත වෙති. එහෙත් අසුබවාදී හැඟීම් නිසා
ඒ උනන්දුව කලෙක දී හීනවෙයි. ඊට බලපාන්නේ විවිධ පුරුදු හා ඇබ්බැහි වීම්ය. ජංගම
දුරකථන ආදිය මඟින් විවිධ ක්‍රීඩාවලට යොමුවීම, රූපවාහිනී නුසුදුසු වැඩසටහන්වලට
ඇබ්බැහි වීම යහළුවන් සමඟ කතාවට, සෙල්ලමට, හා විවිධ අපචාරයන්ට පුරුදු වීම, ආදිය
දරුවන් තුළ වැරැදි මත ඇති කරයි.
ඉගෙනීමට විරුද්ධව ඇතිවන මේ ස්වභාවය එක්තරා ආකාරයක අකුසල කර්මයකි. සමහර ළමයි
සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත්වෙති. උසස් පෙළ විභාගය අසමත් වෙති. පළමු විභාගයේදී
ලැබූ ඉහළ ජයග්‍රහණ නිසා සමහරු, ආඩම්බරයට, අභිමානයට පත් වෙති. එවිට එකඟ සිත විසිරේ.
විසිරුණු සිත පාඩමට ඉඩ නොදේ. සතිපට්ඨාන සූත්‍රයේ එන ‘සති සම්පජඤ්ඤය’ එනම් කරන
කාර්යය පිළිබඳ සිහිය පවත්වා ගැනීම නිර්වාණ මාර්ගයට පිවිසීමෙහිලා ප්‍රධාන වේ. එහෙත්
එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේදීද මනාව සිහිය පවත්වා ගැනීම ඉතා වැදගත්ය. ඉගෙනීමේ
වැදගත්කම ගැන සිහියෙන් සිටිය යුතුය. නිතර මතක් කළ යුතුය. ඉගෙනීම සඳහා ගැලපෙන දේ
කිරීමද අත්‍යවශ්‍ය ය.
සමහර ළමයි තමන්ගේ හැකියාව ගැන මුලා වූ සිතින් අධෛර්ය වෙති. යම් විෂයයකට දුර්වල
ලකුණු ගැනීමකදී ගුරුවරයා හෝ මවුපියන් විසින් ‘මේ ළමයා නම් විභාගය සමත් වෙන්නේ නෑ’යි
ඍණ ආකල්පයක් ඇති කළේ නම් ‘මට නොහැකි’ යි යන ආකල්පයම සිත උදාසීන කරයි.සමහරු ටෙලි
නාට්‍ය චිත්‍රපට ආදියේ විවිධ සිතුවම් අනවශ්‍ය ලෙස මතක් කරන්නට යාම, සිතින් විඳගන්නට
යාම නිසා අධ්‍යාපනයට උනන්දුව හීන වේ. මෙවැනි දරුවන්ට සුබවාදී පෙළඹවීම් අවශ්‍යය. ඒ
වගේම දක්ෂ ළමයින්ද ‘මම ශක්තිමත් ,මට පුළුවන්’ යන ආකල්පය ඇති කරගත යුතු අතර
නිරන්තරයෙන් එය මතක් කළ යුතුවේ.
මිනිස් සිතේ ඇතිවන අතිමානය, උඩඟුබව, මුලාව, කුසීතබව ආදී අයහපත් පුරුදු දුරු කරගන්නට
අපූර්ව මාර්ගයක් බුදුදහම අපට උගන්වයි. රෝගී වන සිත නිරෝගී කරගන්නට උගන්වයි. කුඩා
කාලයේ සිටම දරුවන්ට ධර්ම කරුණු ප්‍රායෝගිකව ජීවිතයට සමීප කරගන්නට යොමු කිරීමෙන්
වයසින් වැඩෙන ඔවුන්ගේ සිත වරදින් මිදෙයි. යහපතෙහි යෙදෙයි. ධනාත්මක බලාපොරොත්තු
ජයග්‍රාහි ඉලක්ක, අරමුණු වෙත යන්නට උත්තේජනයක් ලැබෙයි.
සිතේ උදාසීනකම මෙන්ම කයේ අලස ස්වභාවයද ඉගෙනීමට උනන්දුව නැති කරයි. වෛද්‍ය
විද්‍යානුකූලව බලන විට ඇතැම් ළමයින්ගේ විවිධ හේතූන් නිසා මොළයේ තෙරටොනින් රසායනය
අඩුවේ. එය අලස ගතියට බලපායි. තවත් පිරිසක් සෙම් රෝගී තත්ත්වයන් නිසා පීඩා විඳියි.
එම තත්ත්වයද කය අලස කරයි. සමහරුන්ට හඳුනා නොගත් හිස රදය තත්ත්වයන් තිබේ. එවැනි
දරුවන්ද ඉගෙනීමෙහි අලසය.
වෛදය විද්‍යාවේ මෙවැනි තත්ත්වයන්ට සාර්ථක ප්‍රතිකාර ඇත. මනෝ වෛද්‍ය ක්‍රමවේද ඔස්සේ
දරුවන්ට අධ්‍යාපන වටිනාකම් පිළිබඳව අවබෝධය ලබා දීමේ “ඥානක චිකිත්සාව“ , හැඟීම් පාලන
ක්‍රම, සැහැල්ලු භාවනා ක්‍රම කියා දේ. මොළයේ තෙරටොනින් රසායනය අඩු තත්ත්වයක්
පෙන්නුම් කරන්නේ නම් එය ලබාදේ. එමෙන්ම අවපීඩන තත්ත්වවලට ඖෂධ හා චර්යාත්මක ප්‍රතිකාර
ලබා දීමද සිදු කෙරේ.
බොහෝ දරුවන් අධ්‍යාපනයෙහි උදාසීන කරන සුලබ සාධකයක් වන්නේ කාර්ය බහුල බවයි. එවැනි
අයට කාල කළමණාකරණ ක්‍රම කියාදීමද සිදු කෙරේ.
මොළය වර්ධනය වන විට විෂයය කරුණු මතකයේ තබා ගන්නා ක්‍රමවලද පරිණත බවක් ඇතිවේ. කුඩා
කාලයේ ඇසීමෙන් දැකීමෙන් වේගයෙන් මතකයේ තබා ගත හැකි වුවත් වයස ගත වීමත් සමඟ එවැනි
‘අච්චු මතක’ නැතිවීයයි. එක්කෝ අඩු වී යයි. ධාරණයවීම අඩුවෙයි. එවිට අලුත් ක්‍රමවලට
මතක තබා ගැනීම සිදු කළ යුතුයි. එවැනි ක්‍රමවේද පිළිබඳව දරුවන්ට කියාදීමෙන්,
පෙළඹවීම් ඇති කිරීමෙන් ඉගෙනීමෙහි ඇති උදාසීනබව, අලසගතිය මග හරවා ගත හැකිවේ.
(හොඳින් ඉගෙනීමේ රහස් –ලබන සතියේ) |