Print this Article


දුටු වරද පෙන්වීම ...

දුටු වරද පෙන්වීම ...

සමාන අදහස් ඇති දෙදෙනෙකු ලොව නැත. එක කුස උපන් නිවුන් සොයුරන් පවා රූපයෙන් සමාන වුවද අදහස් හා රුචි අරුචිකම් අතින් වෙනස්ය. සමාජයෙහි නොයෙක් වාද භේද හා ගැටුම් ඇති වන්නේ මේ නිසාය.

‘තමා වරදස නොදිස්නේ – මෙරමා දොස්ම දිස්නේ’ යි කව් සිළුමිණ මහ කව ලියූ දෙවෙනි පැරකුම්බාවෝ කීහ. තමාගේ දොස් නොපෙනේ අනුන්ගේ දොස් ම පෙනේ. සුදස්සං වජ්ජං අඤ්ඥේසං අත්තනෝ පන දුද්දසං (ධම්මපදය) තමාගේ වරද තමන්ට පැහැදිලි වුවද එය දැන දැනම වසන් කොට, අනුන්ගේ දොස්ම පෙන්වීම පුහුදුන් මිනිස් සමාජයේ ස්වභාවයකි. අනුන්ගේ වරද පෙන්වීමෙන් තමා සුදනෙකු වීමට තැත් කිරීම ද සමාජයේ සුලභව දක්නට ලැබේ. එහෙත් අනුන්ගේ දොස්ම දකිමින්, අනුන් කරන හොඳ හෝ නරක ගැන විවේචනය කරමින් අනුන් හෙලා දකින තැනැත්තා තමන් නොදැනීම සමාජයට අප්‍රසන්න පුද්ගලයෙක් වේ.

‘දුටු වරද කීමෙන් මෙත්තාවචී කර්මය පුරා ‘ යන්නෙන් පැරණියන් අදහස් කෙළේ කරුණාවෙන් මෛත්‍රියෙන් ම එය කළ යුතු බවයි. එසේම තැන නොතැන නොබලා එසේ කිරීමෙන් තමාට එමගින් අනර්ථයක්ම සිදු විය හැකිය. අත්තුක්කංසන පරවම්භන නම් වූ තමා හුවා දැක්වීමක් අනුන් හෙලා දැකීමත් යන දෙකම තමාට අවැඩදායක බව දත යුතුය. වරදින් මුදා යහමගට ගැනීමේ හුදු කරුණාවෙන් ම අනුන්ගේ දොස් පෙන්වා දීම බෝසත් ගුණයකි.

පාලි භාෂාවේ ‘වජ්ජ’ යන පදය සැදී ඇත්තේ ‘වද්-ය’ යන වචන එක්වීමෙනි. එහි අර්ථය කියා දිය යුතුය යන්නයි. එසේ වුවද වරද පෙන්වා දිය යුතුවන්නේ ඔහුට ලජ්ජාවක් හෝ කෝපයක් ඇති නොවන අයුරිනි. තැන නොතැන නොබලා හුදු කරුණාවෙන් වුවද අනුන් වරද පෙන්වා දීම අනර්ථකාරි විය හැක. වරද පිළිගැනීමට අකැමැති අයටද අවවාද කිරීම නොකළ යුතුය. එසේම දුර දිග බලා අවස්ථාවෝචිත පරිදි කරනු ලබන අවවාදයෙන් යමෙකු සුමගට යොමු කිරීම අපහසු නොවනු ඇත.

බුදු බව පතා පෙරුම් පුරන උතුමන්ද, ගුණ දහම් පුහුණු කළ යුත්තේ මිනිස් සමාජය තුළම ය. පරවැඩ පිණිස හුදු කරුණාවෙන් හා නිස්සරණාධ්‍යාසයෙන් කරන දැහැම් කටයුතු ද නුරුස්නා මිනිසුන් සමාජයේ සිටිය හැක. හොඳ නරක හා යුතු අයුතුකම් ගැන නොතකන ඔවුන්ගෙන් බෝසත්වරුන්ට ද අනතුරු පැමිණීම පුදුමයට කරුණක් නොවේ. පෙරුම් පුරන බෝසත් උතුමන් කරුණාවෙන් මෙන්ම උපාය කෞශල්‍යඥානයෙන්ද යුක්ත විය යුත්තේ එබැවිනි.

මාතංග ජාතකයේ මණ්ඩප්ප කුමරා බමුණු මතයෙහි යෙදී මිසදිටු ගෙන සිටියදී ඔහුට වැළඳුන අසාධ්‍ය රෝගය සුවපත් කරන ලද්දේ සැඩොලෙකුගේ ඉඳුල් බත් කැවීමෙනි. ඒ සැඩොලා නම් මණ්ඩප්ප කුමරු ගේ පියා වූ බෝසතුන් වහන්සේය. එහෙත් තම සතුරන් ගැන විමසිලිමත් නොවීම නිසා සතුරන් අතින් ඔහු මරණයට පත් විය. තම මිත්‍ර සිවලාගේ උගුරෙහි සිරවු මස් කටුව ඉවත් කිරීමට බෝසත් කොකා සිවලාගේ මුව තුලට තම හිස දැම්මේ ඌට තම කට වැසිය නොහැකි වනසේ කෝටු කැබැල්ලක් ගැසීමෙනි. මෙයින් පැහැදිලි වන්නේ පාරාර්ථ සේවයේ යෙදෙන්නා පළමුව ආත්මාරක්ෂාව ගැන විමසිලිමත් විය යුතු බවයි.

අවවාද නොරුස්නා අයට අවවාද දීම අනිටු විපාක සඳහා හේතු විය හැක. විෂම සමාජය සත්පුරුෂයන්ට වඩා අසත්පුරුෂයන්ගෙන් ගහණය. අසත් පුරුෂයා තමාට කරුණාවෙන් අවවාද කරන්නා කෙරෙහි ද්වේශ කරයි. පළිගැනීමට මාන බලයි. එබැවින් යමෙකුට වරදක් පෙන්වා අවවාද කරන්නට පෙර ඔහුගේ රුචි අරුචිකම් ආදිය හොඳින් වටහා ගත යුතුය.

පෙන්වා දුන් වරද නිහතමානීව පිළිගත යුතුය. සත් හැවිරිදි සාමණේරයන් වහන්සේ නමක් තමන් වහන්සේ වරදක් පෙන්වා දුන් විට එය නිහතාමනීව පිළිගත්තේ දම්සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේය.

තදහු පබ්බජිතෝ සන්තෝ – ජාතියා සත්ත වස්සිකෝ
සෝපි මං අනුසාසෙය්‍ය – සම්පට්ච්ඡාමි මුද්ධනා

පැවිදි වු දින වයසින් සත් හැවිරිදි වූ අයෙකු මට අවවාද කරයි. මම මුදුනින් පිළිගනිමි.