විශ්වාසය මත නොරැඳෙන
බෞද්ධකම
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක
ආචාර්ය
ඕමල්පේ සෝභිත නා හිමි
විශ්වාසය යනු යමක් පිළිබඳ ඇදහීමයි. ඇත්ත යැයි සිතාගෙන, ඇත්ත යැයි උපකල්පනය කරමින්,
යමක් සම්බන්ධයෙන් ඇදහීම විශ්වාසයයි.
බෞද්ධයා යනු මෙම තත්ත්වය ඉක්මවා ගිය පුද්ගලයෙකි. එනම් විශ්වාසය ඉක්මවා ගිය
තත්ත්වයක් හෙවත් අවබෝධයක් ලැබූ පුද්ගලයෙකි. තථාගත බුදුරජාණන් වහන්සේ, එන්න මා
විශ්වාස කරන්න. එන්න මා කියන දේ අදහන්න. වෙන කිසිවක් නැත මා කියන දේ පරම සත්‍යයයි.
ඒ නිසා මා පමණක් විශ්වාස කරන්න යැයි කිසිවිටෙක දේශනා කර නැත.
තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, එන්න බලන්න, එන්න දකින්න, අවබෝධ කර ගන්න.
‘ඒහිපස්සිකෝ සන්දිට්ඨිකෝ” තථාගතයාණන් වහන්සේගේ ධර්ම මාර්ගය ආරම්භ වන්නේ විශ්වාසය
පදනම් කරගෙන නොව අවබෝධයෙන් ධර්මය දැකීම තුළිනි. ඒ ධර්ම මාර්ගය අංග අටකින් එනම් ආර්ය
අෂ්ඨාංගික මාර්ගයෙන් යුක්තයි. දර්ශනය, දැක්ම, තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම සම්මා
දිට්ඨියයි.
විශ්වාසය සහ අවබෝධය අතර වෙනස අපි මෙසේ විග්‍රහ කරමු. “අද සීතල සුළඟක් පවතිනවා. ඒ
නිසා තවත් පැය කීපයකින් වැස්සක් ඇදහැලෙනවා.” වහින්නත් පුළුවන්, නො වහින්නත්
පුළුවන්. එම සාධක මුල්කරගෙන අප එය විශ්වාස කරනවා. අදහනවා. කවුරුන් හෝ පුද්ගලයෙක්
පවසනවා මෙන්න මෙතැන හොල්මනක් එනම් භූත ආත්මයක්, බලවේගයක් පවතිනවා කියා. ඒ මොහොතේ
සිට අප එය විශ්වාස කරනවා. එතැන එහෙම දෙයක් තියෙන්නත් පුළුවන්. නැතිවෙන්නත් පුළුවන්.
නමුත් අප කියනවා හෙට උදේ හය වන විට සිදුවන දේ කුමක්ද? කියා. හෙට උදේ ඉර පායනවා.
උදේට ඉර පායනවා කියන එක විශ්වාසයක් නොව දැනීමක්. එසේ ම ඉර පායන්නේ කුමන දිශාවෙන් ද
කියා විමසුවොත් කුඩා දරුවෙක් පවා පිළිතුරු දෙයි ඉර පායන්නේ නැගෙනහිර දිශාවෙන් කියා.
එයට විශ්වාසයක් අවශ්‍ය නැහැ. එයට අවශ්‍ය දැනුමයි. ඒක ඉතාම පැහැදිළියි. ඒක හරියට
අතැඹුලක් සේ, “අතේ තියෙන නෙලුම් මලක්, අතේ තියෙන යම් උපකරණයක් දෙතුන් පැත්ත හරවා
බලා තීන්දු තීරණ ගන්නා සේ අප යමක් දැක තීරණ ගන්නවා. එය විශ්වාසය නොවෙයි. විශ්වාසය
ඉක්මවා සිටි අවබෝධයයි. ඒ නිසා අප ජීවිතය තේරුම් ගන්නේ කරුණු කාරණා අධ්‍යයනය
කිරීමෙන් බුද්ධියෙන් විමසා බැලීමෙන් ලබා ගන්නා වූ දැනුම අවබෝධය මතයි.
බුදු දහම තුළ විශ්වාසයට තැනක් නැහැ. ශ්‍රද්ධා යන සංකල්පය මතයි බුදු දහම පවතින්නේ.
ශ්‍රද්ධාව යනු චිත්ත ප්‍රසාදය මුල් කරගත් විශ්වාසයයි. ඇදහීමයි. පිළිගැනීමයි.
ශ්‍රද්ධාවේ ආකාර දෙකක් තිබෙනවා ඒ ආකාරවතී ශ්‍රද්ධාව හා අමූලිකා ශ්‍රද්ධාව ලෙසයි.
අමූලිකා ශ්‍රද්ධාව යනු පදනම් රහිත, ආවේග බහුලව තේරුම් ගන්නට උත්සාහ ගන්නා ප්‍රසාදය
හෙවත් ශ්‍රද්ධාවයි. එනම් හැඟීම්වලට මුල් තැන දී අනුගමනය කරන ඇදහීමයි. මෙය බුදු දහම
සමඟ එකඟ වූවක් නොවන හෙයින් තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප
ශ්‍රද්ධාවකි.
ආකාරවතී ශ්‍රද්ධාව එනම් බුද්ධියෙන් යම් යම් කරුණු විමසා සොයා බලා අවබෝධයෙන් තේරුම්
ගැනීමත් චිත්ත ප්‍රසාදයක් ඇති කර ගැනීමයි. එයයි බුදු දහමේ අගයන්නේ.
වර්තමානයේ සමාජය තුළ වැඩි පෙළඹීමක් පවතින්නේ අමූලිකා ශ්‍රද්ධාවටයි. මේ දේ විශ්වාස
කරන්න. අසවලා කියූ නිසා එනම් දෙවියෙක්, එසේ නොමැති නම් දෙවියෙක්ගේ නියෝජිතයෙක්,
එසේත් නැතිනම් මහා බල පරාක්‍රමයක් සහිත පුද්ගලයෙක් මේ දේ පැවසූ නිසා, විශ්වාස
කරන්න. එනම් පුද්ගලයා පදනම් කොටගෙන, කේන්ද්‍රගතකොට යම් යම් දේ ඇදහීමට, විශ්වාස
කිරීමට සමාජය පෙළඹී තිබෙනවා. මෙය අමූලිකා ශ්‍රද්ධාවයි.
මෙම අමූලිකා ශ්‍රද්ධාව ආගමට පමණක් සීමා වූවක් ද නොවේ. දේශපාලනයේ දී, ආර්ථිකයේ දී,
සමාජ කටයුතු තුළදී ආදී වශයෙන් අමූලිකා ශ්‍රද්ධා පවතිනවා. අපට තිබුණු ඉතාමත් වැරැදි
ආදර්ශයක්, නිදර්ශනයක් පසුගිය වකවානුවේ පැවතුණු ත්‍රස්තවාදය. උතුර, දකුණ, බටහිර ,
නැගෙනහිර මේ මුළු රටම භීෂණයට ලක් කළ භීෂණය. මෙය අමූලිකා ශ්‍රද්ධාව මුල්කරගෙන
ඉදිරිපත් වූ ව්‍යාපාරයක්. සමාජයේ ජීවත්වන බොහෝ පුද්ගලයන් අමාරුවේ වැටෙන්නෙ, තමන්ගේ
දියුණුව අහුරා ගන්නේ විශේෂයෙන් ම තමන්ගේ අධ්‍යාත්මික හර පද්ධතීන් විනාශ කර ගන්නෙ
මෙන්න මේ අමූලිකා ශ්‍රද්ධාව හෙවත් පදනම් විරහිත විශ්වාසය නිසයි.
අප බෞද්ධයන් හැටියට අදහන්නා වූ යමක් වේ, නම් ඒ ඇදහීම බුද්ධියෙන් තීන්දු තීරණ
කරගෙනයි කළ යුත්තේ. මීළඟට කර්මය පිළිබඳ අප තුළ පවතින්නේ විශ්වාසයක් නොවෙයි. කර්මය
පිළිබඳව අප තුළ තිබිය යුත්තේ සම්මාදිට්ඨියයි. එය විශ්වාසය ඉක්මවා ගිය ශක්තියක්.
කර්මය වන්නේ කුමක් ද? එය සිදු වන්නේ කෙසේද? ක්‍රියාත්මක වන්නේ කෙසේද? කර්මය හා මගේ
සම්බන්ධය කුමක්ද? කර්මය හා මගේ හා ලෝකය අතර සම්බන්ධය කුමක් ද? යන්න බෞද්ධයන් වූ අප
පැහැදිලිව දන්නවා. පුනර්භවයක් පිළිබඳව සලකන්නේ විශ්වාසයෙන් නෙමෙයි. අප තුළ පවත්නා
දැනුම මුල්කරගත් දැක්මෙන්.
ඒ නිසා ඉතාමත් ම පැහැදිලියි මෙය ආගමික සංකේත භාවිතයක් හෝ ආගමික බාහිර ස්වරූපයක්
සහිත කල්ලි කණ්ඩායම්වලට අයත් වැඩක් නෙමෙයි. බුදු දහමේ ඉදිරිපත් කරන මේ සෑම කරුණක්ම
සාමාන්‍ය දැනීම හා මුසු වූ ජන සමාජය තුළ බුද්ධිමය ආකාරයෙන් දැකිය හැකි සහ
ක්‍රියාත්මක විය හැකි සම්‍යයක් දර්ශනයක් මිස වෙන යමක් නොවන බවයි. අප ඉතාමත්
පැහැදිලිව දන්නවා. සීල, සමාධි, ප්‍රඥා යන මාර්ග ත්‍රිත්වයෙන් තිබෙන වැදගත්කම අප
තේරුම් ගන්නේ විශ්වාසය මත හෝ ආගමික පදනමක් මුල්කරගෙන නොවෙයි.
බලන්න පංචසීලය. පංචසීල ප්‍රතිපත්තියේ තියෙන ප්‍රායෝගිකත්වය අප දකින්නෙ විශ්වාසයෙන්
නොවෙයි. අපට අවබෝධයක් පවතිනවා පංච සීලයෙන් සිදුවන යහපත. පළමු සිඛ පදයෙන් පවසන්නේ
හිංසනය හොඳ නැහැ. හිංසනය හොඳ යැයි පැවසීමට කිසිම කෙනෙකුට බැහැ. කුමක් හෙයින්ද?
හිංසනයට භාජනය වීම නිසා මිනිස් ඉතිහාසයේ, මිනිසා වින්ද දුක් කරදර විපත් මේ සියල්ල
ගැනම මනුෂයෝ තුළ අවබෝධයක්, මතකයක් තියෙන නිසා. සාමකාමී සමාජ පරිසරයකට හිංසාව
බාධාවක්. මෙම සත්‍ය පිළිගැනීමට ආගමික න්‍යායක් අවශ්‍ය වන්නේ නැහැ. එය ලෝකයේ සෑම
කෙනෙක් විසින් ම අත් දකින ඇත්තක්.
සොරකම, දූෂණය, වංචාව හොඳ නැහැ. ඒකත් අප අත්දැකීමෙන් දන්නවා. මිනිස් සමාජය කෙලෙසන
අවගුණ කියා. අදින්නාදානා, මුසාවාද ආදී කරුණු විශ්වාසය මත පදනම්ව නොව ආගමික කාරණාවක්
වශයෙන් නොවෙයි අප සමාදන් විය යුත්තේ. අනුගමනය කළ යුත්තේ. ඒ එක්කම පවුල් ජීවිතය,
ලිංගිකත්වය කියන දේත් බැහැර වෙන්නෙ නැහැ. අවශ්‍යයයි, ඒ තුළ යම් සීමාවක් පැවතිය
යුතුයි. මනුෂ්‍යයාගේ යහපත් පැවැත්ම, ශාරීරික යහපත, සෞඛ්‍යමය යහපත, සමාජමය පැවැත්ම
මේ සියල්ල එකතු වූ කල තුන්වන සිඛ පදය අවශ්‍යයයි. මේ සිඛ පදය පිළිබඳව අප තුළ
පවතින්නේ ආගමික විශ්වාසයක් නොවෙයි. මෙය සමාජය පිළිබඳව දැක්මක්, ඇත්ත පැහැදිලි
කිරීමක් බව අප අවබෝධයෙන් දන්නවා. එම නිසා මෙම සිඛ පදය රැකීම අත්‍යවශ්‍යයි.
අප ගත කරනු ලබන ජීවිතයේ සෑම තත්ත්පරයක් ම සිහියෙන්, කල්පනාවෙන් ගත කළ යුතුයි. එසේ
නොවන මොහොතේ දී, අපගේ අඟපසග දුර්වල වූ මොහොතේ, සිත විකෘති වූ මොහොතේ දී අපට සිදු
වන්නේ අයහපතක්. දැඩි වූ අවධානය යම් තැනක නැතිවෙනවා ද එය වරදක්. ඒ නිසයි සුරාපානය
එපා යැයි කියන්නෙ. “ඒස ධම්මෝ සනන්ථනෝ” ලෝකයේ සෑම තැනකටම පොදුවේ භාවිත කළ හැකි,
භාවිත විය යුතු, ඒ භාවිතය තුළින් යහපත් ප්‍රතිඵල දැකිය හැකි මිනිස් අවබෝධයට නතුවන
කාරණා පහකි, පංචසීලය.
මේ ආකාරයෙන් විග්‍රහ කරන විට අපට පෙනී යන්නේ, බුදුරජාණන් වහන්සේගේ දේශනාව විශ්වාසය
මත පදනම් වූවක් නොව. අවබෝධය මත පදනම් වූවක් බවයි. තථාගතයාණන් වහන්සේ කිසි මොහොතක
තමන්ගේ ශ්‍රාවකයාට විශ්වාසය ඇති කරගන්නට යැයි ආරාධනා කළේ නැහැ. ධර්මය පිළිබඳ අපගේ
අවබෝධය වැඩි දියුණු කර ගැනීම, ඒ මත කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගැනීම ලෝක සත්ත්ව
සමාජයට, පාරිසරික සමාජයට, විශ්වගත සමාජයට කරන මෙහෙවරක්.
- දීපා පෙරේරා |