අසූවැනි වියට පාතබන
ගිරාඹේ ආනන්ද අනු නා හිමි
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක,අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් මහා
විහාරාධිපති, ශ්‍රී සාරානන්ද ගුණරතන වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී ධම්ම සේනාසනාධිපති
, සද්ධම්ම ජෝතිධජ ගිරාඹේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ චිර ජීවනය
වෙනුවෙන් ඇප කැප වූ
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ,උඩපොළඕතොට කෝරළයේ ගිරාඹේ නමැති ගම්පියසේදී 1938 දී මැයි
19 වැනි දින උපත ලද උන්වහන්සේගේ පියාණන් වන්නේ ගිරාඹේ ප්‍රදේශයේ පුරාණ වෛද්‍යවරයෙකු
වන මුතුනායක මැතිතුමාය. මව බේබිනෝනා උපාසිකා මාතාවය. වයස අවුරුදු තුනේදී පමණ සුබ
නැකතින් අත්පොත තබන ලද්දේ පොල්ගහවෙල විජයානන්ද පිරිවෙනේ වැඩ විසූ මාත්ගමුවේ
පඤ්ඤාසේකර හිමියන්ය. මූලික අධ්‍යාපනය සඳහා රත්මල්ගොඩ මහා විද්‍යාලයට ඇතුළුවිය.
සියඹලන්ගමුමේ කස්සප හිමියන් විසින් කුඩා දරුවෙකුව සිටියදී පේරාදෙණියේ සාරානන්ද
විහාරයට කැඳවාගෙන ගියහ. එය සිදුවුණේ 1949 අවුරුද්දේ ජනවාරි 01 වැනිදාය.
පසුව කස්සප හිමියන් එවකට විහාරාධිපතිව වැඩ විසූ සියඹලන්ගමුවේ ගුණරතන නාහිමියන්ට මේ
කුඩා දරුවා බාර කරන ලදී. මූලික බණ දහම් ඉගෙනගත් දරුවා 1949 අගෝස්තු මස 26 වැනි දින
ගිරාඹේ ආනන්ද නමින් සසුන් ගතවූහ. ආනන්ද පොඩි හාමුදුරුවෝ සසුන් ගත වූයේ පේරාදෙණිය
ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ සියඹලන්ගමුවේ ගුණරතන නා හිමියන්ගේ
ශිෂ්‍යයෙකු ලෙසය.
පසුව කඩුගන්නාව සිරිනිවාස මහ පිරිවෙනට ඇතුළත්ව මූලික පිරිවෙන් අධ්‍යාපනය ද පසුව
1953 දී ඇරඹි පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙනට ඇතුළත්ව පිරිවෙන් අවසානය දක්වා එහි
අධ්‍යාපන කටයුතුවල නිරත වූහ. එහිදී විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයටද උන්වහන්සේ පෙනී
සිටියහ.
උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමේ අදහස අත්හල ගිරාඹේ ආනන්ද හිමියෝ තම
ගුරුදේවෝත්තම නායක හාමුදුරුවන්ගේ ශාසනික වැඩ කටයුතුවලට සම්බන්ධ වූහ.මේ කාලය වන විට
කළුගල්ලේ ධම්මරංසි හිමියන් විසින් පමුණුවේ ජයසුමන පිරිවෙන ආරම්භකර තිබුණි. මෙහි
පරිපාලන කටයුතු සියල්ලම සිදුකළේ ගිරාඹේ ආනන්ද හිමියන් විසිනි. සියඹලන්ගමුවේ ගුණරතන
නාහිමියන් විසින් සාරානන්ද පිරිවෙනේ පරිපාලන කටයුතු සඳහා උන්වහන්සේගේ සහායට ගිරාඹේ
ආනන්ද හිමියන් පත්කර ගත්හ.
විසි වයස් සපුරමින් ශාසනික මෙහෙවරක යෙදුණු ගිරාඹේ ආනන්ද පොඩි හාමුදුරුවන් වහන්සේ
1958 ජූලි මස 10 වැනි දින කුරුණෑගල මැද්දේගම, වැල්ලව දැදුරුඔය, උදකුක්ඛේප සීමා
මාලකයේදී උපසම්පදා වූහ. උපසම්පදාවේදීත් තම ආචාර්යවරයා ලෙස කටයුතු කළේ සියඹලන්ගමුවේ
ගුණරතන නාහිමියන්ය.
උපසම්පදාවෙන් පසු රඹුක්කන යෝධගම අශෝකාරාමයට වැඩමකළ ගිරාඹේ ආනන්ද හිමියෝ 1958 සිට
1960 දක්වා වර්ෂ දෙකක තරම් කාලයක් එහි සංවර්ධනය සඳහා ඉමහත් දායකත්වයක් ලබාදීමට
සමත්වූහ. ගිරාඹේ ආනන්ද හිමියෝ නාරම්මල සීලවතී පිරිවෙන යළි ආරම්භ කළහ.
ගිරාඹේ ආනන්ද හිමියන් අනුරාධපුර ශ්‍රී සාරානන්ද විහාරයට වැඩම කළේ 1979 ඔක්තෝබර් මස
10 වැනිදාය. ඒ වන විට මෙම ස්ථානයේ වැඩ සිටියේ පණ්ඩිත අටබාගේ විමලඥාන හිමියන්ය.
ගොඩනැගිලි වශයෙන් තිබුණේ ඉඩම අයිතිව සිටි ද්‍රවිඩ මහත්මයා පදිංචිව සිටි ගොඩනැගිල්ල
පමණි. ‘අද ශ්‍රී සාරානන්ද මහා පිරිවෙනේ මිදුල සාදා ඇත්තේ එදා ද්‍රවිඩ මහතාට අයත්ව
තිබුණ ඉඩමකයි. අනුරාධපුර ශ්‍රී සාරානන්ද භූමියෙහි දැනට තිබෙන සියලු ගොඩනැගිලි මා
විසින් හදපු ඒවා. මාගේ ගුරු දේවෝත්තම සියඹලන්ගමුවේ ගුණරතන නායක ස්වාමීන් වහන්සේ
මෙහි විශ්‍රාම ශාලාව ආරම්භ කළා. දිවංගත හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතා ඊට
මුල්ගල තැබුවා. එහි කාමර 110 ක් තිබෙනවා. මෙහි දෙමහල් විශ්‍රාම ශාලාව පටන්ගත්තේ
මමයි. මේ සියල්ල සිදු කළේ නායක හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා මත” යැයි ගිරාඹේ ආනන්ද
නාහිමියෝ පැවසූහ.
අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරයේ හා පුදබිමේ සංවර්ධන කටයුතු වේගවත්
කිරීමට අඩිතාලම දැමූ ගිරාඹේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ පිරිවෙන් භූමියෙහි අසූ අට
රියන් බුද්ධ ප්‍රතිමාවක් නෙළීමට 1981 දී ඇරඹූ අතර ඉදිකිරීම් සඳහා අවුරදු 20 ක පමණ
කාලයක් ගත විය. මේ සඳහා විශාල මුදලක් වැය වී ඇත. මේ සමඟම ලෙන් විහාරයක්ද සාදා නිම
කිරීමට උන්වහන්සේ සමත්වූහ. 2002 මෙම නිර්මාණය විවෘත කරන ලද්දේ මහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයා විසිනි.
සාරානන්ද විහාර භූමියෙහි ‘අට මුණිමහාසෑය’ ඉදිකරන ලදී.
සම්බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා කුලදරුවන් සසුන් ගත කරවීම ගිරාඹේ ආනන්ද නාහිමියන්
විසින් සිදුකර ඇති, සිදු කරන විශාල ශාසනික මෙහෙවරකි. උන්වහන්සේ කුල දරුවන් 200 කට
වැඩි පිරිසක් දැනට සසුන්ගත කර ඇත.
අනුරාධපුර ශ්‍රී සාරානන්ද විහාරස්ථානයට අයත් විහාරස්ථාන 15 ක් පමණ තිබේ.
මාතලේ මාරක,’ කොත්මලේ තිස්පනේ යන ප්‍රදේශවල පිරිවෙන් දෙකක් ආරම්භකර නෙලුවාකන්ද,
ගම්පොළ, අඹකුඹුර, යෝධගම, අරණායක, අලවතුගොඩ, අලව්ව, රන්කෙත්ගම ආදී ප්‍රදේශවල පන්සල්
හතක් ආරම්භ කර ඇත. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා නේපාලයෙන් කැඳවාගෙන ආ දරුවන් 31
දෙනෙක් පැවිදි කළහ.
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් කුලදරුවන් අටසිය අනූපහක් සසුන්ගත කිරීමට
මහත් කැපවීමකින් ක්‍රියා කළ ගිරාඹේ” ආනන්ද නාහිමියන් වහන්සේ කොළඹ නිදහස් චතුරශ්‍රය
මුල්කරගෙන තවත් කුලදරුවන් එකසිය පස් දෙනෙක් සසුන්ගත කළහ. 2600 සම්බුද්ධත්ව ජයන්තිය
වෙනුවෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් කුල දරුවන් දාහක් සසුනගත කරවීමට
කටයුතු කළහ.
සියඹලන්ගමුවේ ගුණරතන නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
කාරක සංඝ සභාවට පත්වූ ගිරාඹේ ආනන්ද නාහිමියෝ එතැන්සිට නිකායේ වැඩ කටයුතු වලට විශාල
දායකත්වයක් ලබාදෙන ලදී. මේ අතර ශ්‍රී සාරානන්ද සඟ පරපුරේ නායකත්වයටද පත් කර ගන්නා
ලද්දේ ගිරාඹේ ආනන්ද නාහිමියන්ය. මීට සමගාමීව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක
මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර කාරක
සංඝ සභාව විසින් ගිරාඹේ ආනන්ද නාහිමියන්ට අනුනායක පදවියද පිරිනමන ලදී.
1981 ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා උළෙල ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ
ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී පැවැත්වීමටද මහත් කැපවීමකින් කටයුතු කළ ගිරාඹේ ආනන්ද
අනුනාහිමියෝ 2010 වසරේ පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 67 වැනි උපසම්පදා
මහෝත්සවය අනුරාධපුරයේ පැවැත්වීමටද පුරෝගාමී වූහ.
අනුරාධපුර, සාරානන්දය ජාතික, ආගමික හා ශාසනික සේවා ඉටුකරනවා පමණක් නොව නැති බැරි
මිනිසුන් නගාසිටුවීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවයි. මේ වන විට ගිරාඹේ ආනන්ද
අනු නා හිමියන්ගේ නායකත්වයෙන් නැතිබැරි අයට නිවාස 07 ක් සාදාදී තිබේ. එසේම
ප්‍රදේශයේ දහම් පාසල් රැසක ඇති අඩුපාඩුකම් සොයාබලමින් වාර්ෂිකව උදව් උපකාර කරති.
දැනට සාරානන්දය මූලිකව තරුණ බෞද්ධ සංගමයක්ද ආරම්භ කර තිබේ. සංගමය මූලික කර ගනිමින්
අනුරාධපුර අවට විහාරස්ථාන අටක් පමණ ස්ථාපිත කර ඇත. පොසොන් උත්සවය සමරමින්
අනුරාධපුරයට වන්දනාවේ එන බැතිමතුන් සඳහා බත් දන්සල් 14 ක් පමණ ශී‍්‍ර සාරානන්දය
මුල්කරගෙන පවත්වති. එමෙන්ම ඇසළ පොහොය නිමිති කර ගෙනද ඇසළ දන්සල් 03 ක් පවත්වනු
ලබයි.
‘සාරානන්ද පුණ්‍ය භූමිය ඕනෑම අයෙකුට විවෘතයි. 1983 ජූලි කලබල අවස්ථාවේදී විනාශයට
පත්වීමට ගිය දෙමළ මිනිසුන්ගේ ජීවිත සියගණනක් බේරා ඔවුන්ගේ බියසැක දුරුකළහ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරන්ධර, අනුරාධපුර ශ්‍රී සාරානන්ද
පරිවේණාධ්‍යක්ෂක හා විහාරාධිපති ,ශ්‍රී සාරානන්ද ගුණරතන වංශාලංකාර, ශාසන කීර්ති
ශ්‍රී ධම්ම සේනාධිපති ,ශාසනජෝතිකධජ ගිරාඹේ ආනන්ද නාහිමියන්ට නිදුක් නිරෝගී සුවය
පතමු.
සේනපුර ඩී. නිශ්ශංක
අනුරාධපුර නැගෙනහිර සමූහ
රෑකඩහේනේ රතනසිරි හිමි
ගාල්ල දිස්ත්‍රික්කයේ පොල්ගහවිල පිහිටි ශ්‍රී ධර්මාරාම විහාරස්ථානය බොදු දනන්ගේ
නෙත් සිත් පිනවන විහාරස්ථානයකි. 1950 විලියම් පෙරේරා මහතාට අයත් භූමියක බී.බේඩිස්
මහතා ප්‍රමුඛ තරුණ පිරිස ඇතුළු ගම්වාසීන් විසින් කටුමැටි ගසා ‘අභිනවාරාමය’ නමින්
ආරම්භ කරන ලද මෙම විහාරස්ථානය වර්තමානයේ අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්ව තිබේ.
ගාල්ල විද්‍යාලෝක පිරිවෙනෙහි නිර්මාතෘ රාජකීය පණ්ඩිත වැලිවිටියේ පුඤ්ඤසාර
නාහිමියන්ගේ අනුදැනුම ඇතිව කටුමැටි ගැසු කුඩා ආවාසයෙහි පිණිකහනේ සංඝරක්ඛිත හිමියන්
පළමුව වස් වසවා ගන්නාලදී. වස් කාලය අවසන් වීමෙන් පසු උන්වහන්සේ ස්වකීය විහාරස්ථානයට
වැඩම කිරීම නිසා නැවතත් ස්වාමින් වහන්සේ නමක් වැඩම කරවා ගැනීමට ගම්වාසීන්ට සිදුවිය.
එහිදී නැවතත් විද්‍යාලෝක පිරිවෙනට ගොස් පුඤ්ඤසාර නාහිමියන් එමුවී එවකට පිරිවෙන්
අධ්‍යාපනය ලැබීම සදහා එහි පැමිණ සිටි කුඩාගොඩ ගුණරතන හිමියන් වැඩම කරවා ගැනීමට
හැකිවිය.
කුඩාගොඩ ගුණරතන ස්වාමින් වහන්සේ පොල්ගහවිල අභිනවාරාමයට වැඩම කරවා ගැනීමට හැකිවීම
විහාරස්ථානයේ දියුණුවටත්, ගමේ දායක දායිකාවන්ගේ ආගමික අවශ්‍යතාවන් ඉටුකරවා ගැනීමටත්
බෙහෙවින් ඉවහල් විය. ගුණරතන ස්වාමින් වහන්සේ හදිසියේ රෝගාතුර වීම නිසා අභිනවාරාමය
වසර කිහිපයක් අරාජිකව පැවතිනි. නැවතත් මුල් විහාරස්ථානය වු ගාල්ල විද්‍යාලෝක
පිරිවෙනට ගොස් එහි අධිපතිත්වය දැරූ අකුරැටියේ අමරවංශ නාහිමියන් මුණගැසී එවකට
අධ්‍යාපනය ලබමින් බද්දේගම, කිරිබතාවිල ශ්‍රී සුධර්මාරාමයේ වැඩසිටි රෑකඩහේනේ රතනසිරි
හිමියන් වැඩම කරවා ගැනීමට කටයුතු කළහ.
1977 රෑකඩහේනේ රතනසිරි හිමියන් පොල්ගහවිල ශී‍්‍ර ධර්මාරාමයට වැඩම වීමෙන් පසු විශාල
ප්‍රබෝධයක් ගමවාසීන් තුළ ඇති වූහ. රතනසිරි හිමියන්ගේ ආගමනයත් සමඟම එතෙක්
‘අභිනවාරාමය’ නමින් හැදින්වු විහාරස්ථානය “ශ්‍රී ධර්මාරාමය’ නමින් හඳුන්වන්නට විය.
පළමු වස්කාලය තුළ දීම විහාරස්ථානයේ දාන ශාලාව ඉදිකර අවසන් කිරීමට තරම් රතනසිරි
හිමියෝ දක්ෂ වූහ. එතැන් පටන් විහාරාරාංග එකින් එක ගොඩනංවමින් විහාරස්ථානයේ සීඝ්‍ර
සංවර්ධනයක් සිදුකිරීමට රතනසිරි හිමියෝ මේ දක්වා ම කැප වී ක්‍රියා කරති. ශ්‍රී
ධර්මාභිවර්ධන දහම් පාසල ආරම්භ කිරීම රතනසිරි මාහිමියන් සිදුකරන ලද අගනා සේවාවකි.
රතනසිරි මාහිමියෝ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රථම
ලේඛකාධිකාරි ධුරයත්, ඉන්පසු ප්‍රධාන සභාපති ධුරයත් බොහෝ කලක් දරමින් දහම් පාසල්
ක්ෂේත්‍රය උදෙසා අමිල මෙහෙවරක් සිදු කළහ. ප්‍රදේශයේ බොහෝ ස්වේච්ඡා සංවිධානවල ද
අනුශාසක ධුරය ඇතුළු විවිධ තනතුරු දරමින් සිදුකරන සමාජ මෙහෙවර ප්‍රශස්තය.
රෑකඩහේනේ රතනසිරි ස්වාමින් වහන්සේගේ හැටපස් වන ජන්ම දිනයත්, පැවිදි බිමට පත්ව
අඩසියවසක් සම්පූර්ණවීමත්, විහාරාධිපති ධුරයට පත්ව වසර 40 ක් සම්පූර්ණ වීමත් යන
කාරණා තුනම මෙම වසරේදීම උදාවිය. ජන්ම දිනය නිමිත්තෙන් වටිනා පින්කම් මාලාවක් දායක
සභාවේද සහයෝගය ඇතිව සිදුකිරීමට කටයුතු සංවිධානය කොට තිබිණි.
නුගේතොට බෞද්ධ මධ්‍යස්ථානාධිපති
කොළඹ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ
රාජකීය පණ්ඩිත
වැලිවිටියේ සුජීව හිමි |