වෙසක් පුර පසළොස්වක 2017.05.10
සැදැහ සිතින් බුදුන් පුදමු
ලෝවැසි බොදුනුවන් ගෞරවයෙන්, භක්තියෙන් හා ශ්‍රද්ධා සිතින් සමරන අසම සම
ශාස්තෘවරයාණන් වහන්සේගේ, තිලොවග සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා
පරිනිර්වාණය සිදුවු වෙසක් පුන් පොහෝ දිනය අදයි. කෙළවරක් නොවන බව කතරේ අතරමංවී ජාති,
ජරා, ව්‍යාධි, මරණාදි දුකින් පීඩිත වූ, බියගත් ලෝ සත වෙත පතළ මහා කරුණාවෙන් දුකින්
මිදීමේ මඟ, අමා මහ නිවන් මඟ හඳුන්වා දුන් ඒ උතුම් දිනය ශ්‍රී ලංකාවාසි බොදු ජනතාවට
මෙවර අතිශය වැදගත් දිනයකි.
ලෝකයේ රටවල් සියයකට ආසන්න බෞද්ධ නායකයින්ගේ, රාජ්‍ය නියෝජිතයින් ගේ සහභාගිත්වයෙන්
එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල මෙරටදී පැවැත්වෙන නිසාය. අන්තර් ජාතික වශයෙන්ද,
දේශීය වශයෙන්ද නව බෞද්ධ ප්‍රබෝධයක ආරම්භය සනිටුහන් කිරීමේ අවස්ථාව ථෙරවාදී බෞද්ධ
කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට හිමිවීම රටක්, ජාතියක් ලෙස අප ලද භාග්‍යයකි. ලොව
පුරා බල ලෝබයේ ගිනිදැල් පැතිරී දහස් ගණනින් අහිංසක මිනිස් ජීවිත යුද්ධයට බිලිවන
යුගයක, මුළු ලෝකයම තිරසර සාමයක් ප්‍රාර්ථනා කරන මොහොතක, අවිවාදයෙන් ලොවට පිළිගත
හැකි සම්බුදු දහමේ ඉගැන්වෙන සාමයේ පණිවුඩය, අවිහිංසාවාදයේ පණිවුඩය ලෝකයට සන්නිවේදනය
කිරීමේ අවස්ථාවක් උදාවීම සුවිශේෂීය.
පංචශීල ප්‍රතිපදාව ජීවන ප්‍රතිපත්තිය කරගත් සම්බුදු දහමින් සුපෝෂිත විශිෂ්ට
සංස්කෘතියක උරුමය අභිමානවත් සිතින් ලෝකයට පෙන්වීමට, තිස් වසරක කුරිරු යුද්ධය නිසා
මේ රට පිළිබඳව ලොව සමහර රාජ්‍යයන් අතර පැතිර ගිය පදනම් විරහිත කළු පැල්ලම් මකා
දැමීමට, සිංහල, දෙමළ, මුස්ලිම් ආදි සියලු ජාතීන් සහෝදරත්වයෙන්, සාමයෙන්, සමගියෙන්,
ආගමික සහජීවනයෙන් ජීවත්වන රටක සංහිඳියාවේ පණිවුඩය ලෝකයට ගෙන යාමට මෙවැනි අවස්ථාවක්
ලබාගන්නට පුරෝගාමී වීම, කැප වීම පිළිබද රජයට කෘතවේදීත්වය හිමි විය යුතුය.
කවර තරාතිරමක, කුමන වයස් කාණ්ඩයක පසු වුවද මේ මොහොතේ රට වැසියන් ලෙස අප වෙතද
සුවිශේෂී වගකීමක් පැවරේ. බෞද්ධයින් යැයි නාමිකව පෙනී සිටි පමණින් කෙනෙක් සැබෑ
බෞද්ධයෙක් වන්නේ නැත. සැබෑ බෞද්ධයා නම් අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය පුද්ගලයෙකි. බුදු
හිමියන් දේශිත ධර්ම මාර්ගයේ ගමන් කරන්නෙකි. සිතුම් පැතුම්වලින්, හැසිරීමෙන්
ක්‍රියාකාරිත්වයෙන්, වචන හසුරුවන ආකාරයෙන් ඒ බව පෙන්නුම් කළ යුතුය. ආගන්තුකයකුට වුව
මේ බෞද්ධයෙකැයි පහසුවෙන් හඳුනාගත හැකි වන්නේ ඒ සංවරශීලි, විනයගරුක පැවැත්ම අප
වෙතින් පිළිබිඹු වන්නේ නම් පමණි.
රටක් සංවර්ධනය වන්නේද, සාමකාමී වන්නේද එහි වෙසෙන මිනිසුන් අධ්‍යාත්මික ගුණයෙන් යුතු
වන්නේ නම් පමණි. වෙසෙසින් පසළොස්වක පොහෝ දිනයන්හි රටපුරා සැම වෙහෙර විහාරයකම පාහේ
ධර්ම දේශනා, භාවනා වැඩසටහන්, ආගමික පින්කම් සිදු කෙරේ. මුද්‍රිත මාධ්‍යයන්ගෙන් සේම
විද්‍යූත් මාධ්‍යයෙන් ද දහම කියවන්නට, ශ්‍රවණය කරන්නට ලැබේ. බෞද්ධයින් ලෙස පොහොය
දිනෙකවත් වෙහෙර විහාරයන්ට ගොස් සිල් සමාදන් වන්නට, ආගමික වත් පිළිවෙත්වලට සහභාගි
වන්නට, ධර්මය ශ්‍රවණය කරන්නට ඒ තුළින් අධ්‍යාත්මික ගුණ වගාවන් පෝෂණය කර ගන්නට
උනන්දුවක් කැපවීමක් තිබිය යුතුමය.
අතීත ශී‍්‍ර ලාංකික බෞද්ධයා ජීවිතයේ කුදු මහත් සියලු කටයුතුවල දී මුල් තැන දුන්නේ
ගමේ පන්සලටය. භික්ෂූන් වහන්සේ ධර්මානුකූල මඟ පෙන්වීම්, අනුශාසනා ලබා දුන්හ.එදා
පවුල් අතරද, සමාජ සාමාජිකාවන් අතරද ගැටුම් අවම වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
ගමත්,පන්සලත්,වැවත්, දාගැබත් යන සංකල්පය ජන ජීවිතය සමඟ බැඳී තිබුණි. එහෙත් අද වන
විට ගිහි ජනතාව බොහෝ කාර්ය බහුලය. සැමදාමත් පන්සල ඇසුරු කරන්නන් මිස සමහර බෞද්ධයන්ට
වසරකට වතාවක්වත් පන්සලකට යන්නට ඉඩක් වෙන්කරගත නොහැකි ස්වභාවයක් පෙනේ. වැඩිහිටියන්ගේ
මේ ආදර්ශය වඩාත් නරක ලෙස බලපාන්නේ දරුවන්ටය.
උතුම් සම්බුදු දහම අනුව පුද්ගල වශයෙන් ඇති කර ගන්නා අධ්‍යාත්මික දියුණුව පවුලේ
යහපතට හේතුවකි. දරුවන් උදෙසා මෙත්, කරුණා මුදිතා, උපේක්ඛා යන සිව් බඹ විහරණ ගුණයන්
පැවතිය යුතු බව බුද්ධ දේශිතයයි. මේ වෙසක් පුන් පෝ දිනයේ මවුපියන් එම ගුණ තමන් වෙත
වර්ධනය කරගන්නට උත්සාහ කරනවා නම් ගුණගරුක පරපුරක් අනාගතයට දායාද කිරීම අපහසු නොවනු
ඇත. මවුපිය දූදරු මෙන්ම ස්වාමි භාර්යා , ගුරු සිසු, සේව්‍ය සේවක, ගිහි පැවිදි ආදි
ලෙස සමාජ කණ්ඩායම් අතර ශක්තිමත් බැඳීමක් ඇතිකිරීම තුළින් සමස්ත සමාජයම නිවැරැදි
දිශානතියකට යොමු කිරීමට ඇවැසි දහම් කරුණු බුදුදහමේ අන්තර්ගතය. එම සදහම් කරුණු
ජීවිතයට සමීප කරගන්නට උනන්දු වූයේ නම්, සිත උපදින, උනුන් දවන,අනුන්ද දවන මද මාන,
ඊර්ෂ්‍යා, වෛරී, ක්‍රෝධ සිතිවිලිවලින් මිදී සිත පිරිසුදු කරගන්නට උත්සාහ කරනවා නම්
දැහැමි දැයක අර්ථාන්විත ජීවිතයක් ගෙවීම අපහසු වන්නේ නැත. මේ වෙසක් දිනයේ උතුම් දහම්
මග නුවණින් විමසා අවබෝධ කරගන්නට ඔබ සැමට ශක්තිය, ධෛර්ය ලැබේවායි අපි ප්‍රාර්ථනා
කරමු.
|