Print this Article


තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම දේශනා ක්‍රම

තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම දේශනා ක්‍රම

තුන්ලොවක් සැනසූ තථාගත බුදුරජාණන් වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් යුතුව ශ්‍රී සද්ධර්මය දේශනා කර වදාළා. ඒ වදාළා වූ ධර්ම දේශනා ක්‍රම හෙවත් දේශනා ශෛලිය මෙසේ විමසා බලමු.

තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම දේශනාව කොටස් දෙකකින් යුක්තව අපට වටහා ගත හැකිය. එනම් වෝහාර හෙවත් සම්මුති දේශනා සාමුක්ඛංසික හෙවත් පරමත්ථ දේශනාව වශයෙනුයි.

සීලයේ පිහිටා ධර්මානුකූල ජීවිතයක ලෞකික ජීවිතය සැපවත් කරගත යුතු ආකාරය පිළිබඳව සම්මුති දේශනාවන් හි අඩංගුව පවතිනවා. ලෞකික හා ලෝකෝත්තර වශයෙන් සැනසිල්ල ලබන ආකාරය පරමත්ථ දේශනාවල අඩංගුව පවතිනවා.

තථාගත බුදුරජාණන් වහන්සේ ඒ ඒ පුද්ගලයන් ගේ මානසික ස්වභාවය හෙවත් සසරගතව පුරුදු කරන ලද පාරමී ධර්මවල ස්වභාවය අනුව වර්තමානයේ ඇති කරගත්තා වූ ඤාණ ශක්තිය හා මානසික ස්වභාවය අධිගමයට හෙවත් මාර්ගඵල අවබෝධයට ඇති හැකියාව නුවණින් දැක ධර්මය දේශනා කර වදාළා.

තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳව මූලික වශයෙන් ම අපට මේ ලෙසින් අවබෝධයක් ඇති කර ගත හැකියි.

“බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේසේති
තිණ්ණෝ සෝ භගවා තරණාය ධම්මං දේසේති
දන්තෝ සෝ භගවා දමතාය ධම්මං දේසේති
සන්තෝ සෝ භගවා සමතාය ධම්මං දේසේති
පරිනිබ්බුතො සෝ භගවා පරිනිබ්බාණාය ධම්මං දේසේති”

භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය්‍ය සත්‍ය ධර්ම අවබෝධය ලබා අන් සත්ත්වයන්ටත් ඒ සත්‍යාවබෝධය පිණිස ධර්මය දේශනා කර වදාළා. සතර අපායෙන් පිරිපුන්ව පවතින සසරකතරින් එතරව ඒ දුක්ඛ, දෝමනස්සයන්ගෙන් එතෙරවන ආකාරයට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා.

සියලු කෙලෙසුන්ගෙන් දමනය වී අන් සත්ත්වයන්ට ද කෙලෙසුන්හි දමනය වීම පිණිසත්, කෙලෙසුන්ගේ දමනයෙන් ඇතිවන නිවුණු, ශාන්ත ස්වභාවය සිත්හි සකසාගෙන අන් සත්ත්වයන්ට ද ශාන්තභාවයට පත්වීම පිණිස ධර්මය දේශනා කර වදාළා.

එසේ නම් භාග්‍යවතුන් වහන්සේ කුමන ආකාරයකින් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කළත් ඉහත සඳහන් අරමුණු ඉටුකර ගැනීම පිණිසම එම ශ්‍රී ධර්මය දේශනා කරන බව පැහැදිලියි. භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ ඥාන ශක්තිය, අධිගමය පිළිබඳව විමසා බැලීමෙන් අනතුරුවයි. බුදු උතුමෙකුට ඒ ස්වභාවය ස්වභාවයෙන් ම වැටහෙනවා.

උග්ඝටිතඤ්ඤු – එනම් වහා අවබෝධවෙන තැනැත්තා විපචිතඤ්ඤු – මදක් විස්තර කිරීමෙන් අවබෝධ කරගත හැකි තැනැත්තා ඤෙයය – අර්ථය සම්පූර්ණයෙන් විවරණය කිරීමෙන් පසුව අවබෝධ කර ගන්නා වූ තැනැත්තා පදපරම – වචන පමණක් ම මිස අර්ථය අවබෝධ කර නොගන්නා වූ පුද්ගලයා. මේ ආකාරයෙන් ඔවුන්ගේ ඤාණ ශක්තිය හා මානසික ස්වභාවය දැන හඳුනාගැනීමෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මය සියලු සත්ත්වයන් කෙරෙහි මහත් වූ කරුණාවෙන් දේශනා කර වදාළා.

එමෙන් ම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි අන් සත්ත්වයන්ට අවබෝධ කරගත හැකි ආකාරය මේ ලෙසිනුත් දැක්විය හැකිය, එනම් තික්ඛින්ද්‍රිය – තියුණු හෙවත් වහා පරමාර්ථ ධර්මය වටහා ගත හැකි ආකාරයට ඉන්ද්‍රියයන් පවතින පුද්ගලයායි. මුදුන්ද්‍රිය – කරුණා, මෛත්‍රිය, පිරිපුන් වහා අකුසලයෙන් බැහැර වී කුසලයට ළංවීමට තරම් මෘදුභාවයක් ඇති තැනැත්තාය. ස්වාකාර – එනම් සුන්දර ආකාර ස්වභාවයක් මනසේ ඇති තැනැත්තාය. සුවිඥාප – එනම් පහසුවෙන් දේශනා කරන ලද ධර්මය අවබෝධ කරගත හැකි දත හැකි විමසා බලා අවබෝධයට මාර්ගය සාදාගත හැකි තැනැත්තායි.

මේ ආකාරයෙන් ඒ ඒ පුද්ගලයන්ගේ ඤාණ ශක්තිය මානසික ස්වභාවය දැන හඳුනාගෙන තථාගත බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්ත්වයන් කෙරෙහි මහත් වූ කරුණාවෙන් ඒ ශ්‍රී සද්ධර්මය දේශනා කර වදාළා. භාග්‍යවතුන් වහන්සේ වෙතට යම් කෙනෙක් පැමිණීමේ දී ඤාණ ශක්තිය හා ඒ ඒ පුද්ගලයාගේ ඒ මොහොතේ පවත්නා වූ මානසික ස්වභාවය නුවණින් තේරුම් ගැනීමෙන් අනතුරුව “ආනුපුබ්බී කථා” නම් වූ ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කර වදාළා.

ආනුපුබ්බී කථා නම් දාන කථං, සීල කථං, සග්ගකථං, කාමානං ආදීනවං, ඕකාරසංකිලේසං, නෙක්ඛම්මෙ ආනිසංසං යනුවෙනි. දාන කථං - එනම් දීමෙහි අත් හැරීමෙහි ඇති ආනිසංස පිළිබඳවයි. සීලකථං - චිත්ත සංතානයෙහි එකඟතාවය ඇතිව සමාහිත සිතකින් යුක්තව ඇති කර ගන්නා වූ කායික, වාචසික සංවරය ඇති උතුම් ස්වභාවයයි. සග්ගකථං - දෙවියන් හා දෙව්ලොව පිළිබඳව කතායි. මනුෂ්‍යයන් සීලයෙන් යුක්තව සමාධියෙන් ප්‍රඥාවට යොමු කර ගැනීමට දෙවියන්ගේ ස්වභාවයත්, දෙව්ලොව පිළිබඳවත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, චාග, ප්‍රඥා නම් වූ පංචවිධ ගුණයන් වඩා දෙවියන් බවට පත් වූ බව මේ කතාවන්හි පැහැදිලි වෙනවා. සත්ත්වයන් පාපයෙන් හෙවත් අකුසලයෙන් බැහැරව කුසලයට යොමු කිරීමට මින් අදහස් කරනවා.

කාමානං ආදීනවං - කාමහන්හි ඇති ආදීනවය. එනම් කාමයෝ නම් ඇටසැකිල්ලක් බඳුය. ආදී වශයෙන් කාමහන්හි ඇති බලවත් වූ ආදීනව භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදළා.

ඕකාරසංකිලේසං - රාගාධී කෙලෙස්වල ඇති භයානක බව හා එහි ඇති තියුණු ආදීනවයන් පිළිබඳව දේශනා කරනවා.

නෙක්ඛම්මෙ ආනිසංසං - එනම් පංච කාමයන්ගෙන් වෙන්වීමේ ඇති ආනිසංසය. එය සිතෙහි සකස් වන සංසිඳීම නිවනට අරමුණු කරන ආකාරය හෙවත් සියලු තෘෂ්ණාව බැහැර කරන ආකාරය නෙක්ඛම්මෙ ආනිසංසං නික්මීමෙහි නෛස්ක්‍රම්‍යයෙහි ආනිසංසං යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා.

මේ දේශනාවන් ආනුපුබ්බී කථා හැටියට හඳුන්වනවා. ඒ දේශනාවන් ද පැවැත්වීම සාරාංශ කොට මෙසේ දැක්විය හැකියි.

“ධම්මියා කථාය සන්දස්සේසි
සමාදපේසි සමුත්තේජේසි
සම්පහංසේසි” එනම් දැහැමි කතාවකින් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරනවා.

ඉහත සඳහන් කළ ආනුපුබ්බී කථාවකින් යුතුව දානාදි කථාවකින් යුතුව භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරනවා. සමාදපේසි - ඒ කතාවෙහි ඒ අර්ථයෙහි සමාදන් වෙනවා.

සමුද්දේසි - භාග්‍යවතුන් වහන්සේ විසින් එහි උනන්දු කරවනවා. ආරම්භ ධාතු, නෙක්ඛම්ම ධාතු, පරාක්‍රම ධාතු, ආරම්භ කරන්න, සිදු කරගෙන යන්න, එනම් පවත්වාගෙන යන්න. සිහිය පිහිටුවා ගන්න. කුමන කරදර බාධක පැමිණියත් එනම් කෙලෙසුන්ගේ මොන ආකාරයක පීඩා පැමිණුනත් ඒ කෙලෙසුන්ට වසඟ නොවී භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිම ශ්‍රද්ධාවෙන් හා අවබෝධයෙන් යුතුව සියලු කෙලෙසුන් නැසීම අරමුණු කරගෙන ම යහපත් වූ අරමුණු ඉටු කර ගැනීම පිණිසම මාර්ගය අනුගමනය කිරිමත් අවසන් කළයුතු බවත්ය.

සමුත්තේජේසි - උනන්දු කරනවා යැයි සඳහන් කළේ එයයි.

සම්පහංසේසි - නම් ඒ ධර්මය අනුගමනය කිරීමෙන් ලද බලය නිසා ඇතිවන නිරාමිස ප්‍රීතියයි. ඒ වගේම සියලු කෙලෙසුන්ගෙන් මිදීමෙන් ලබන ඒ උතුම් වූ ම ප්‍රීතියයි. සම්පහංසේසි ප්‍රහර්ෂයක් ඇති කරනවා යැයි සඳහන් කළේ එයයි.

මෙසේ මේ ශ්‍රී සද්ධර්මය ඔස්සේ සැනසිල්ලක් ලබන විට ශ්‍රාවකයාගේ සිත පිළිබඳවත් ධර්ම කතාවේ පෙන්වා දී තිබෙනවා. එනම් කල්ලචිත්ත – නම් ආරෝග්‍ය සිතක්ය යන අදහසයි. කෙලෙස්වලින් ආතුර නොවූ එනම් ගිලන් නොවූ නීරෝගී සිතක්ම ඇතිවන බවයි. භාග්‍යවතුන් වහන්සේගේ ඒ දහම් කතා අසාගෙන සිටින විට ඕනෑම පුද්ගලයකුට තමන් වෙනුවෙන් ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන බවත්, සසර ගමනේ පටන් පැවතුණු මෙලොව ජීවිතයේ අතීතයේ පැවතුණ දුක්ඛ දෝමනස්ස හෝ වර්තමානයේ ඒ මොහොතේ, පවතින යම් වූ ද ඇලීම් ගැටීම් නිසා ඇති වූ දුක්ඛ දෝමනස්සයක් වේද එය සංසිදේවි. එනම් වතුරෙන් පිරි විලක බොර වතුර පෑදී, උඩින් බැලූ කල විලේ පත්ල පෙනෙනා සේ සංසුන් වූ මනස නීරෝගී වෙන්නට පටන් ගන්නවා.

මුදුචිත්තං - මෘදු සිතක් ඇතිවීමයි. ථම්භ නම් වූ පාපයන් නිසා බලවත් ලෙස පාපයටම ශක්තිමත් වූ පැවතුණු, එනම් තදින් ඇළුනු, ගැටුනු මුලාවට පත් වූ සිත මෘදු වෙන්නට, ලිහිල් වෙන්නට, එමෙන්ම කුසලයට නැමෙන්නට පටන් ගන්නවා.

විනීවරණ චිත්තං - නීවරණයන් බැහැරවන්නට පටන් ගන්නවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්චකුක්ච්ඡ, විචිකිච්ඡා, නම් වූ නීවරණ ධර්ම බැහැර වී යන්නට සංසිදෙන්නට පටන් ගන්නවා. ධර්ම මාර්ගය අනුගමනය කරන්නට බාධකව පැවැතුණු මාර්ගය අහුරා තිබූ නීවරණ ධර්ම බැහැරවීමෙන් වළාකුළු අතරින් මතු වී පෙනෙන පූර්ණ චන්ද්‍රයා සේ මනස නීරෝගී වීමෙන් ධර්මාවබෝධය පිණිස සිත ඉලක්ක වෙනවා. අරමුණු වෙනවා.

උදග්ග චිත්තං - ඔද වැඩී ගිය සිතක් ඇති වෙන්නට පටන් ගන්නවා. “ධම්ම පීති සුඛං හෝති” ඒ ධර්මයේ අවබෝධය සැනසීම නිසා මහත් වූ සුවයක් දැනෙන්නට පටන් ගන්නවා. සිතෙහි ඔද වැඩෙන්නෙ කාමය, රාගය, ද්වේෂය, මෝහය නිසා නෙමෙයි. “යථා භූතං පජානාති” ධර්මය ඔස්සේ තතු තතු සේ තම සිත අවබෝධ කර ගැනීම නිසාය. අවසානයේ ‘පසන්න චිත්තං’ පැහැදුණු සිතක් ප්‍රසන්න සිතක් ඇතිවෙන්නට පටන් ගන්නවා.

මේ මාර්ගඵල අවබෝධ ලබන අවස්ථාව විය හැකිමයි. මෙතෙක් කල් සසර ගමනේ පටන් දුක් දුන්න ශෝක පරිදේවයන් උරුම කළ සක්ඛාය දිට්ඨියෙන් යුතු මානසික ස්වභාවය බැහැර වී ප්‍රසන්න සිතක් සකස්වීමයි මින් අදහස් කළේ. තථාගත බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රී සද්ධර්මයෙන් පුද්ගලයන් සැනසෙන ආකාරය ඒ ධර්ම කතාවෙන් පැහැදිලි වෙයි.