Print this Article


මනුෂ්‍යත්වය ශ්‍රේෂ්ඨත්වයට පත් වූවෙසක් දිනය

මනුෂ්‍යත්වය ශ්‍රේෂ්ඨත්වයට පත් වූවෙසක් දිනය

" බුදුරජාණන් වහන්සේට ගෞරව නමස්කාර කිරීම සඳහා ආමිසයෙන් හා ප්‍රතිපත්තියෙන් පූජා පවත්වන සියලු බොදුනුවන් විසින් ඒ අතරම සිහිකළ යුතු වැදගත් කරුණක් නම් මිනිසත් බවේ අගයත් මිනිස් ජීවිතය අවබෝධයෙන් ගතකළ හොත් තමන්ට හා ලෝකයාට කෙතරම් විශාල සේවයක් කළ හැකි ද යන්නයි.'

වෙසක් දිනය බෞද්ධයන්ගේ පරම පූජනීයත්වයට පත්වන්නේ ගෞතම බෝසතාණන් වහන්සේ සත්‍ය වූ ඉතිහාසයක් ඇති මනුෂ්‍යයෙක් වශයෙන් උපත ලබා මනුෂ්‍යත්වයේ අග්‍රඵලය වූ සම්මා සම්බුද්ධත්වයට පත්ව එතෙක් මිනිසාට අවබෝධ කළ නොහැකි වූ සත්‍යාවබෝධය තුළින් මානව චින්තනයට සනාතනික දහමක් එක්කොට ආශ්චර්යවත් මනුෂ්‍යයෙක් වශයෙන් (අච්චරීය මනුස්ස) පරීනිර්වාණයට පත්වූයේ වෙසක් පුරපසළොස්වක පොහොය දිනය වීම නිසාය. උන්වහන්සේ උපන්නේ ලෝකයක් මවාගෙන නොවේ.

මැවී ඇති ලෝකය උන්වහන්සේ මිනිසාට ඉදිරිපත් කළේ දෙවියන්ගෙන් ලැබුණු පණිවුඩයක් ලෙස නොවේ. උන්වහන්සේ ඉදිරිපත් කළේ මිනිසා හමුවෙහි ඇති ගැටලුවක්, එය ජයගැනීම සඳහා මිනිසා විසින්ම සොයා ගත යුතු විසඳුමක්ය. එබැවින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ චරිතයත්, උන්වහන්සේ දේශනා කළ ධර්මයත් ලෝකයේ පහළ වූ වෙනත් කිසිදු ශාස්තෘවරයෙකුට සමාන කළ නොහැක. වෙනත් ආගමික ඉගැන්වීම්වල මෙන් නොව බුදුදහමට අනුව මිනිසා තමා විසින්ම තමන්ගේ සැකසීම හෙවත් විමුක්තිය ලබාගත යුතුය. බාහිර ශාසනයන් හී මිනිසා කොතෙක් උත්සාහ කළද අවසාන වශයෙන් ඔහුට විමුක්තිය ලැබෙන්නේ දෙවියන්ගේ කැමැත්ත පරිදිය.

මේ අනුව වෙසක් දිනය තුළින් අපට ලබාදෙන උත්තරීතර පණිවිඩය වන්නේ මිනිසත් බවේ ශ්‍රේෂ්ඨත්වයයි. දෙවියෙකු හෝ දේවාල මහිමයකින් තොරව මිනිසාට තමන්ගේම උත්සාහයෙන් සත්‍යාවබෝධය සිදුකළ හැකි බව පෙන්වාදීමෙන් බුදුරජාණන් වහන්සේ අදෘෂ්‍යමාන බලවේග ඉදිරියේ වැඳ වැටෙන මිනිසා තුළ ආත්ම විශ්වාසය හා ආත්ම ගෞරවය ඇතිකළ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයා වන්නේය. එබැවින් බුදුරජාණන් වහන්සේට ගෞරව නමස්කාර කිරීම සඳහා ආමිසයෙන් හා ප්‍රතිපත්තියෙන් පූජා පවත්වන සියලු බොදුනුවන් විසින් ඒ අතරම සිහිකළ යුතු වැදගත් කරුණක් නම් මිනිසත් බවේ අගයත් මිනිස් ජීවිතය අවබෝධයෙන් ගතකළ හොත් තමන්ට හා ලෝකයාට කෙතරම් විශාල සේවයක් කළ හැකි ද යන්නයි. බුදුරජාණන් වහන්සේ එදා ජීවමානව වැඩසිටිමින් හතළිස්පස් වසරක් මුළුල්ලේම සිදුකළේ මිනිසුන් වෙත තමන්ගේ වගකීම පෙන්වාදීමයි. සර්වබලධාරි දෙවි කෙනෙක් විශ්වාස නොකරන හෙයින් වෙනත් ආගම් වල දෙවියන්ට හිමිවන උත්තරීතර ස්ථානය බුදුදහමෙහි ලැබෙන්නේ මිනිසාටය. මිනිසත් බවේ ශ්‍රේෂ්ඨත්වය දක්වන බුදුරජාණන් වහන්සේ එය දුර්ලභ වූ අවස්ථාවක් (දුල්ලභංච මනුස්සත්ත) ලැබිය යුතු තත්ත්වයන් (කිචේඡා මනුස්ස පටිලාභෝ) යනුවෙන් පැහැදිලි කරයි. සමස්ත වශයෙන් ඉපදීම දුකක් යැයි විග්‍රහ කරනු ලැබුවද මිනිසා පවුකාරයෙක් ලෙස බුදුන් වහන්සේ කවර ආකාරයකින්වත් හඳුන්වා දුන්නේ නැත. මිනිස් අත්බවක් ලබන්නේ කුසල කර්මයක ප්‍රතිඵලයක් වශයෙන් යැයි ධර්මයේ විස්තර කරයි. එසේම මිනිස් ලොව සුගති වලින් එකකි. බුදුසමයේ දෙවිදේවතාවන් ගැන සඳහන් වුවද ඔවුහුද මිනිසුන් මෙන් ජරා, මරණ දෙකට ගොදුරු වෙති. මිනිසුන් මෙන් පින් පවු ඵල විපාක ඉපිද මියයන්නෝය. බුදුදහමට අනුව මිනිසුන් කරන පව් වලට වැරැදි වලට සමාව දීමට දෙවියන්ට පුළුවන් කමක් නැත. පව් කරන අය දෙවියන් අතරද සිටින හෙයිනි. එනිසා තමාට තමාගේ පිහිට මිස අන්‍යයන්ගේ පිහිටක් නොපතන ලෙස දැක්වූ බුදුරජාණන් වහන්සේ තමාට තමා දිවයිනක් කොට විසිය යුතු බව ප්‍රකාශ කළහ. (අත්තදීපා විහරථ අත්තසරණ අනඤ්ඤසරණ) හැම මිනිසෙක් අතින්ම හොඳ නරක යහපත් අයහපත් ක්‍රියාවන් සිදුවිය හැකි අතර සහජයෙන් කිසිවෙක් නරක පුද්ගලයෙක් වශයෙන් නම්කළ නොහැකිය. මිනිසාට තමන්ගේම ඥානය හා චර්යාවන් තුළින් වරදින් ඈත්ව නිවැරැදි පුද්ගලයෙක් බවට පත්විය හැකිය. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ මාර්ගෝපදේශ පෙන්වා ඇත. මනුෂ්‍යත්වයේ උත්තරීතර භාවයට පත් බුදුරජාණන් වහන්සේ අනුස්මරණය කරන වෙසක් සමයේ අපට කළ හැකි උසස්ම ගෞරවය නම් මනුෂ්‍යත්වයේ අගය වටහාගෙන ශ්‍රේෂ්ඨ මිනිසෙක් වීමට වෙර දැරීමයි. මිනිස්කම් නැතිවී යන සමාජයක් නැවත ගොඩනැගීමට හැකිවන්නේ දෙවියන්ට හෝ මිනිසාටමය. එය ගෞතම බුදුරජාණන් වහන්සේ වෙසක් දිනයේ අපට ලබාදුන් ශ්‍රේෂ්ඨ පණිවිඩයයි.