Print this Article


මාතර වැල්ලබඩ පත්තුව ඇතුළු හම්බන්තොට දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවිය ලබන බෙලිගල්ලේ සරණපාල නා හිමි

මාතර වැල්ලබඩ පත්තුව ඇතුළු හම්බන්තොට දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවිය ලබන බෙලිගල්ලේ සරණපාල නා හිමි

දකුණු සිරිලක බෞද්ධ ප්‍රබෝධයේ පුනරුදයට මුල් වූ විහාර අතර, මුල්කිරිගල රජමහා විහාරයට හිමි වන්නේ මුල්තැනකි.

මුල්කිරිගල රාජමහා විහාරය වූ කලී ඓතිහාසික අතින් ඉතා වැදගත් ස්ථානයක් ලෙස නම් කළ හැකි ය. දෙවනපෑතිස් රජ දවස දෙතිස් ඵලරුහ බෝධියක් මෙම පර්වතය මුදුනෙහි පිහිටුවා මෙම විහාරස්ථානය ආරම්භකර ඇත. පසුව මහානාග රජු, සූවිසි බුද්ධ විහාරය නමින් වෙහෙරක් කරවා ඇත. කාවන්තිස්ස රජු මුහුදුගිරි විහාරය නමින් මෙය ඉදිකර ඇත. ගලයට ලෙනේ දහඅටරියන් රන් පිළිමයක් කරවා ඇත. ඒ ලෙනෙහි දුටුගැමුණු රජු රත්හඳුන් දැවයෙන් අටළොස්රියන් ප්‍රතිමාවක් ඉදිකරවා එහි නෙත් නිල් මැණික් ඔබ්බවා තැනූ බව සඳහන් වේ. මහා පරාක්‍රමබාහු රජු එම ලෙනේ පොත්ගුලක් කරවා ඇත. සද්ධාතිස්ස රජතුමා පර්වතය මුදුනේ වෙහෙරක් බැඳ ශ්‍රී මහා බෝධි ශාඛාවක් රෝපණය කර විහාරය දියුණුකර ඇත. මෙම විහාරය රහතන් වහන්සේලාගෙන් පිරිසුදු වූ භූමියෙකි. දහඅටරියන් ඝන රන් බුද්ධ ප්‍රතිමාවක් මෙහි වැඩ සිටින බවත්, මහ රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානයෙන් නොනිවෙන අබ තෙල් පහනක් දැල් වූ බවත් පැවසේ. සියලු විහාර අංගයන්ගෙන් සමන්විත වූ ස්ථානයක් ලෙස අතීතයේ පටන් මෙම විහාරය පැවත ඇත.

මුල්කිරිගල රාජමහා විහාරයේ නායක පදවිය ලැබුවේ පිළිවෙලින්,

වටරග්ගොඩ ධම්මපාල නාහිමි, ගංගොඩ ගම දේව රක්ඛිත නාහිමි, බෙලිගල්ලේ ධම්මජෝති නාහිමි, කටුවන අත්ථදස්සි නාහිමි, බැදිගම ධම්ම රක්ඛිත නාහිමි, වල්පිට මේධංකර නාහිමි, කටුවන පියදස්සි නාහිමි, තලාවේ සෝභිත නාහිමි, බැදිගම මේධංකර නාහිමි, අතපත්තුකන්දේ සෝභිත නාහිමි, බෙලිගල්ලේ සිද්ධාර්ථ නාහිමි, හීල්ලේ සුමන නාහිමි, මොදරවානේ සෝමානන්ද නාහිමි, ඕකන්දයායේ වංගීස නාහිමි, හීන්බුන්නේ පුඤ්ඤසිරි නාහිමි ලෙස ස්වාමීන් වහන්සේලා පහළොස්නමක් අධිපතීත්වය දරා ඇත. දහසයවෙනි විහාරාධිපතීන් වහන්සේ වන්නේ වර්තමාන විහාරාධිපති බෙලිගල්ලේ සරණපාල නාහිමිපාණන් වහන්සේ ය.

වකමුල්ල ප්‍රදේශයේ උපන් ලියනගේ ඇගිහාමි මව සහ ඉහළ බෙලිගල්ලේ උපන් කොඩිප්පිලිහෙට්ටිආරච්චිගේ සුගතදාස දෙපළද අහිංසක ගැමි යුවලකි. ඔවුන් ජීවත් වූයේ ඉහළ බෙලිගල්ල ප්‍රදේශයේ ය. ගැමියන්ගේ සිත නිවාලුවේ ඉහළ බෙලිගල්ල ශ්‍රී සුදර්ශනාරාමයයි. මෙම මව්පිය දෙපලට දරුවන් හයදෙනෙක් විය. ඒ පිරිමි දරුවන් පස්දෙනෙකුත් එක ගැහැණු දරුවෙකුත්ය. මින් තුන්වෙනි දරුවා සරත් කුමාර නම් විය.

‘සරත් කුමාර’ කුමරු ඉහල බෙලිගල්ල මහ විද්‍යාලයේ නව වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හැදෑරීය. මොහු වයස විස්සේ දී 1985 සැප්තැම්බර් 30 මුල්කිරිගල රාජමහා විහාරයේ පහළොස්වන විහාරාධිපති හීන්බුන්නේ පුඤ්ඤසිරි මහා ස්වාමීන්ද්‍රයන් යටතේ සසුන් ගත විය. අනතුරුව අම්බලන්තොට සද්ධාතිස්ස පිරිවෙනෙහි පැවිදි ශිෂ්‍යයෙකු ලෙස උගතමනා බණදහම් ඉගෙන ගත්හ, උන්වහන්සේ බෙලිගල්ලේ සරණපාල නම් විය. උන්වහන්සේ මේ පැවිදි ගමන තුළ බොහෝ අද්දැකීම් සමුදායක් උගත්තේ ය. නිහතමානීකම, සිල්වත් බව, ඉවසීම, සාධාරණ බව උන්වහන්සේ ජන්මයෙන්ම ගෙන ආ පුරුදු සේ විය. රම්බාරජමහා විහාරය දියුණු පමුණු කරන්නේ විශාල මෙහෙයක් සිදුකරමින් වැඩ වාසය කරන අතරතුර මුලගිරි රජමහා විහාරාධිපති හීන්බුන්නේ පුඤ්ඤසිරි නාහිමියන්ගේ අපවත්වීමෙන් බෙලිගල්ලේ සරණපාල නාහිමියන් මුල්කිරිගල රාජමහා විහාරයේ අධිපති බවට පත්විය. එය පත් කරනු ලබන්නේ මුල්කිරිගල සඟ පරපුරේ පන්සල් වල විහාරාධිපතීන් වහන්සේලාගේ ඡන්දයෙන්ය. 2008 වර්ෂයේ මුල් භාගයේ ඒ හිමියන් මුල්කිරිගල රම්බා විහාරය, අමරතුංග ගම පුරාණ විහාරය සහ ලියන්ගස්තොට දහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරස්ථාන හතරේම විහාරාධිපති බවට පත් විය. මෙම විහාරස්ථාන මුල්කොටගෙන විශාල මෙහෙයක් සිදුකරන්නට උන්වහන්සේට ඉඩ සැලසිනි. උගත් වියත් සහෝදර හිමිවරු පිරිසකගේ ආශිර්වාදයද නා හිමියන්ට ලැබුණේ ය. ඒ අතර, ගෝනදෙනියේ විනීත හිමි, ශාස්ත්‍රපති කැකිරිඕබඩ සුමන හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත ඕකන්දයායේ චන්දාලෝකහිමි සහ ශාස්ත්‍රපති මැදගොඩ සිරිනිවාස හිමියන් ද සිහි කළ යුතු ය. උන්වහන්සේගේ පා සෙවන ලබන පැවිදි ශිෂ්‍ය පිරිසක්ද වෙති. ශාස්ත්‍රපති බෙලිගල්ලේ අමරකිත්ති හිමි, මුරුංගස්යායේ ආනන්ද හිමි, වරායායේ සමිත හිමි, මල්වානේ විජිත ධම්ම හිමි, ඉඹුල්පේ සෝමසාර හිමි, මෑල්ලකැටිගොඩ සුමනරතන හිමි, අමරතුංගගම නාරද හිමි, වැටියේ ඤාණරතන හිමි, අමරතුංගගම අමරවංශ හිමි, වෙහෙරයායේ විමලරතන හිමි, කහවත්තේ හේමාලෝක හිමි, මිරිස්වැල්පොත පුඤ්ඤරතන හිමි ඇතුළු බොහෝ ගිහි පැවිදි ශිෂ්‍යයෝද වෙති.

මුල්කිරිගල සංඝසභාවේ ලේකම් මාතර සුදර්ශි පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති හෙල්ලල පුඤ්ඤසිරි නාහිමියන්ගේ සහ සභාපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත පල්ලත්තර සුමනජෝති මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේද ආශිර්වාදය සහිතව පළාත්බද මහා සංඝරත්නයේ මල්වතු මහා විහාරයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ සහ අනු නාහිමිපාණන් වහන්සේගේ ද, කාරක සංඝ සභාවේ ද ආශිර්වාදයෙන් ප්‍රවචන කීර්ති ශ්‍රී ධම්මපාල සෝමානන්ද යන ගෞරව නාමය සහිතව මාතර වැල්ලබඩ පත්තුව ඇතුළු හම්බන්තොට දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවිය අප නාහිමියන්ට හිමි විය.

2017.04.20 දින මල්වතු මහා විහාරයේ මංගල උපෝසථාගාරයේ දී ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේ වෙතින් පිරිනැමුණු මෙම අභිනව පදවිය වෙනුවෙන් අප්‍රේල් 29 සවස 3.00 ට බරවකුඹුක සිට අභිනව නාහිමියන් වැඩමකරවා ගෙන එනු ලබන දර්ශනීය පෙරහරකි. රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාවකි. 30 වන දින උදේ පිළිගැනීමේ උත්සවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ සම්භාවනීය ගිහි පැවිදි උතුමන්ගේද සහභාගීත්වයෙන් සිදු කෙරේ