Print this Article


පහන් සිතක කවි

නිමාව

වනස්පති තුරු පවා
ඇද හැලෙයි සැඩ සුළග
ගිරි හිසක් වුව නසයි
කාලයේ හෙණ පහර

මතක රැළි මැකි මැකී
අඳුරු කැටි මතු කරයි
මනස් පොත පිටු වැහෙයි
නිමාවක නිමිති පා

නවාතැන මහළු වී
දිරා ඇද හැලෙන හඬ
නින්නාද දෙයි සවන්
නිබඳ හද මනස මත

නිමාකොට සියලු කිස
ලෝකයට නමා හිස
බැඳුනු වරපට ලෙහා
සමුගන්න කාලයයි


හැඳින ගතිමි මා

ගුරු පඬුරු පුද පිණිස
දහසකින් සැදි
ඇඟිලි මාලය ගොතන්නට
අහිංසකගේ
අසිපතින්
අවසන් ගමන් ගිය
අහිංසකයෙකි මා
අහිංසක අඟුල්මල්
අඟුල්මල් මහරහත්
අනේ
මා තවමත් භව කතරේ
සමාවී වඩිනු මැන
බුදු සමිඳ
මගේ හද වෙත
පසක්කර ගතිමි මම
භව ගමනේ
සැබෑ අරුත


පොඩි සාදු

සඳ රැස් වැටී සුදු වැලි කැට දිලිසෙනවා
බෝපත් ගැටී සිලි සිලි ගා හඬ දෙනවා
මළුවේ පහන් වැට තවමත් ඇවි ලෙනවා
පොඩි සාදුගේ බණ පොත එහි පෙරලෙනවා

සොමි කැන් සමඟ මුහුවුණු පවනැලි සීතයි
වැලි මලුවට උඩින් පරවුනු මල් දෝතයි
සමවත් සුවය විඳිනා බුදුහිමි නිහඬයි
පොඩි සාදුගේ සිතිවිලි ඇත්තේ ඈතයි


පියුම

පුළුන් වළා නිල් ගිරිකුළු ඔස්සේ
ලහිරු සිනාසෙනු දැක හද ගැස්සේ
වඳින පහසෙ රන් හිරු රැස් වැස්සේ
කැකුළ පිපෙයි වැව් දිය රැළි අස්සේ

විදා සිව් අත සිනිඳු සුදු පත මුදා රොන්සුනු සුවඳ දස අත
යොදා මුහණත සිනා විකසිත හෙළයි අඩනෙත බැමෙන බිඟු වෙත
දදා තුඩුවිත තලා රොන් පත පෙළා යෞවන පියුම විකසිත
සදා සුන්කොට පැතුම් හදවත බිඳෙයි බඹරෙක් බලෙන් පතිවත

ලහිරු මුවදැක වැටෙන් බිහිවුණු පියුම අවසන් දිවි පැයේ
බසින මළහිරු දෙස බලාගෙන ගිළුණි කළුවර වැව් දියේ
ඇසෙන මූසල හඬෙන් කණ කොක් සැලෙන දියරැළි සැක බියේ
ඇඳෙන සේයා තුළින් දිස්වුණි පියුමෙ ලස්සන තුන් පැයේ