අලසකමට
පාඩමක්
කොළඹ කොටුව
ශ්‍රී සම්බුද්ධාලෝක විහාරවාසී
ශාස්ත්‍රපති පණ්ඩිත
විතාරන්දෙණියේ මේධානන්ද හිමි
පින්වත් දුවේ පුතේ!
ලොකු කුඩා අප හැම දෙනාටම ජීවිතයේ ඉලක්ක තිබෙනවා. බලාපොරොත්තු තිබෙනවා. ඇතැම්විට
නොසිතූ විදිහේ අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඒ සියලු දේ ජය ගන්නට නම් අලසකම
දුරු කරන්නට ඕනෑ. ඕනෑකමින්, කැපවීමෙන්, කඩිසරව ඒ අරමුණු වෙත යන්නට ඕනෑ.කම්මැළිකම
සිතට දැනුණොත් ඒ පුද්ගලයාට දියුණුවක් නෑ. ඒ වගේම එවැනි අය ඇසුරු කරන අයටත් විවිධ
බාධක, කරදරවලට මුහුණ දෙන්නට සිදුවෙනවා.
මේ ඒ ගැන කියැවෙන කතාවක්.
බොහෝ කලකට පෙර ගාන්ධාර රජ තක්සලාවේ බෝධිසත්වයන් වහන්සේ සිසුන් පන්සියයකට උගන්වමින්
සිටියා. එක් දවසක් මේ ඉගෙන ගන්නා සිසුන් දර ගෙන ඒමට ගියා. ඔවුන් අතර ඉතා කම්මැළි
කෙනෙක් හිටියා. අතරමගදී ඔහු ලුණුවරණ ගසක් දුටුවා. එය වියළී ගිය ගසක් යයි සිතා සතුටු
වුණා. ඒ ගස මුලටම වී නින්දට වැටුණා. ඒත්, අනෙක් සිසුන් වේලුනු ගස් සොයාගෙන ඒවායේ දර
කඩා මිටිවලට බැඳ ගත්තා.
“අපි නම් දර කඩා ගත්තා. ඉක්මන් කරන්න” අනෙක් සිසුන් කම්මැළි තරුණයාට කිව්වා. ඒත්
කම්මැලි තරුණයා තවත් ගුලි වී නිදා ගත්තා. අනෙක් තරුණයෝ දර මිටි බැඳ ඒවා රැගෙන
තක්සලාවට ආවා. බොහෝ වේලාවකට පසු කම්මැලි තරුණයා අවදි වී තමන්ගේ යහළුවන් කිසිවෙක්
නොදැක බියට පත් වුණා. වහ වහා ලුණුවරණ ගසට නැඟ අමු දර කඩා මිටියක් බැඳ ගත්තා. කලබලය
නිසා ඇසත් තුවාල කරගෙන තක්සලාවට පැමිණියා.
අනෙක් තරුණයෝ තමන් ගෙන ආ වියලුණු දර ගොඩක් ගසා තිබුණා. කම්මැලි තරුණයා තමන් ගෙනා
අමු දර ඒ ගොඩ මතටම අතහැරියා. එදින එක් ගමක බමුණෙක් පැමිණ ශාන්ති කර්මයක් සඳහා බමුණු
ගුරුවරයාට ආරාධනා කළා. බෝධිසත්වයෝත් තමන්ගේ සිසුන් එවන්නට පොරොන්දු වුණා.
“දරුවනේ ඔබ සියලු දෙනාම හෙට එම ගමට ගොස් ශාන්තිකර්මය හොඳින් සිදුකොට අපගේ හා ඔබගේ
කොටස් රැගෙන ආපසු එන්න. උදෑසනින් යාමට අවශ්‍ය නිසා සේවිකාව පාන්දර අවදිකර ඇය ලවා
කැඳක් පිස ආහාරයට ගෙන යන්න” යැයි උපදෙස් දුන්නා.
සිසුන්ද පාන්දර අවදිවී සේවිකාව නැගිටුවා කැඳ පිසින්නට දැනුම් දුන්නා. ඇයද කැඳ
පිසින්නට මුට්ටිය ලිප තබා දර ගොඩෙන් දර කැබලි කිහිපයක් ගෙනවිත් ගිනි අවුළුවන්නට
උත්සාහ කළා. එහෙත් අමු ලුණුවරණ ලී ඇවිළුනේ නෑ. ඇය දවල් වනතුරුම ලිපට පිම්බත් ඉන්
ප්‍රයෝජනයක් වුණේ නෑ. අවසානයේ කිසිවකුටත් ශාන්ති කර්මය සඳහා යන්නට නොහැකි වුණා.
උදෙන් පැමිණි බෝසතුන් සිසුන් දැක පුදුමයට පත් වුණා. ආචාර්යවරයා සිසුන්ගෙන් මෙලෙස
විමසුවා.
“ඔබලා ශාන්ති කර්මයට නොගියේ මන්ද?”
“ගුරුතුමනි යන්නට නොහැකි වුණා”
“එයට හේතුව?” ආචාර්යවරයා නැවත ඇසුවා.
“අප සියලු දෙනා උදෑසන අවදි වුණා. එහෙත් සේවිකාවට එළිවනතුරුම කැඳ පිසින්නට නොහැකි
වුණා” “ඒ කුමක් නිසාද? ගුරුතුමා පුදුමයෙන් ඇසුවා. ඉන් පසු සිසුවකු ආචාර්යවරයාට
මෙලෙස පවසා සිටියා.
“ඊයෙ දර කඩන්නට ගොස් අපගේ මිතුරකු ලුණුවරණ ගසක් යට නිදා සිටියා. පසුව ඔහු අවදි වී
වියළි දර වෙනුවට ලුණුවරණ ගසෙන් අමු ලී කැබලි ගෙනවිත්, අප ගෙනා දර ගොඩටම දමා තිබුණා.
ගිනි අවුළුවා ගත නොහැකි වුණා. ඒ කම්මැලි මානවකයාගේ අදූරදර්ශි වැඩ නිසයි අපගේ ගමන
වැළකුණේ”
“දරුවනි ඒ අඥානයා කළ දේ නිසා ඔබගේ ගමන වැළකුණා. පාඩු ලබන්නට සිදු වුණා. ඒ නිසා
පළමුව කළ යුතු දේ කරන්න. එසේ වූ විට පශ්චාත්තාප වීමට කරුණු ඇති වන්නේ නෑ.
එලෙස බෝසතුන් කරුණු පැහැදිලි කර දුන්නා.
බලන්න පුතේ දුවේ, කම්මැලිකම නිසා සිදුවූ විනාශය. ඔවුන්ට භාරගත් රාජකාරියට යාමට
නොහැකි වුණා පමණක් නොවෙයි. ලැබෙන්නට තිබුණු ධනයත් නැති වුණා. එපමණක් නොව සමාජය
ඔවුන් බොරුකාරයන් ලෙසම නම් කළා.
පුංචි ඔබටත් අම්මා, තාත්තා පාඩම් කරන්න කිව්වම “අනේ මට දැන් අමාරුයි. කම්මැලියි.
හෙට කරන්නම් කියනවා නේද? “ දරුවනේ කිසිදිනෙක එහෙම කියන්න එපා. අදට තිබෙන වැඩ අදම
කරන්නට ඕනෑ. හෙටට කල් දමන්න එපා. තමන්ට පැවරී තිබෙන වැඩ හොඳින් ඉටු කළ විට අපේ
හිත්වලට ලොකු සැනසීමක් දැනෙනවා.
අපේ දරුවන්ට විතරක් නෙමෙයි. අපේ වැඩිහිටියන්ටත් මේ කතාව හොඳින් ගැළපෙනවා. සමහර
දෙමව්පියන් ඉන්නවා දරුවෝ සමඟ පන්සලකට එන්නෙ නැති, දරුවන් ඉරිදා දහම් පාසල් යවන්නෙ
නැති වැඩිහිටියන් ඉන්නවා.
අපි ඇහුවොත් “මහත්තයා මොකද පන්සලට ආවේ නැත්තේ” කියා, දරුවො දහම් පාසල් ආවේ නැත්තේ
ඇයි කියා “අනේ අපේ හාමුදුරුවනේ එදාට විතරනේ නිවාඩු ඉතින් ටිකක් පමාවෙලා අවදි වුණේ
කියනවා. බලන්න. දෙමව්පියෝ මෙහෙම අලස වන විට දරුවන් කඩිසර වෙන්නේ කෙසේද? දරුවන්
නිතරම උද්යෝගිමත් කිරීම මවුපියන්ගේ වගකීමක්.
අපේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ අලසකම පිරිහීමේ ලක්ෂණයක් බවයි.
අලස පුද්ගලයා දැන් මහන්සියි. තවම ආහාරගත්තා විතරයි. හෙටට කරනවා ආදි වශයෙන් තමන්ට
පැවරෙන කාර්යයන් ඉතා සූක්ෂ්ම අයුරින් මඟ හරිනවා. එය පිරිහෙන පුද්ගලයකුගේ ලක්ෂණයක්.
ඉගෙන ගන්න දරුවකුට නොගැලපෙන කරුණක්. එයින් සිදුවන්නේ පාඩම් අතපසු වීමයි. එවිට
විභාගයන්ට සාර්ථකව මුහුණ දෙන්නට අපහසුයි. විභාගය අසමත් වුණොත් අනාගතය අඳුරු වෙන්නට
ඉඩ තිබෙනවා. |