හදවතේ පිරිසුදු බව
වචනයෙන් මනිනවා ද?
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
සීලයෙන් පිරිපුන් ගුණ යහපත් මනුෂ්‍යයෝ බිතුසිතුවමක් සේ දුකේදීත්, සැපේදීත් අත්
නොහැර, හදවතින්ම සමීපව කටයුතු කරන සද්පුරුෂයන් බව ඔබ දනී.
සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයට අයත් “සත්ත ජටිල” සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ
විසින් පසේනදී කොසොල් රජතුමාට දේශනා කරමින්, පුද්ගලයා කෙසේ හඳුනාගත යුතු වන්නේ දැයි
මේ ආකාරයෙන් දේශනා කරන ලදී. යම් කෙනෙක් සමඟ එක්ව වාසය කරනවා සේම මෙනෙහි කරන්නට තරම්
චිත්ත ශක්තියක් පැවතිය යුතුයි. එසේම ඒ ගැන දකින්නට තරම් නුවණක් ද පැවතිය යුතුය.
සද්පුරුෂ මනුෂ්‍යයන්ගේ සමහර සසරගත දුර්වලකම් හැසිරීමෙන් පැවතිය හැකියි. සමහර
පුද්ගලයකුගේ කතාව ටිකක් තද හා සැර පරුෂ ලෙස පෙනිය හැකියි. එහෙත් ඔහු හදවතින්
කරුණාවන්තය. දයාවන්තය. අන් අයට නපුරුකම් නොකරන, වෛර, ඊර්ෂ්‍යා වැනි දුර්ගුණ
නොපවත්වා ගන්නා වූ, අන් අයට උදව්වක් ම උපකාරයක් ම කරන්නට කැමැති සද්පුරුෂයෙක් විය
හැකිය.
චරිතයක පවතින හොඳ නරක තේරුම් ගැනීමට නුවණක් ද, යහපත් වූ ප්‍රඥාවක් ද පැවතිය යුතු බව
ඒ අනුව පැහැදිලිය, ප්‍රඥාව ඇති කෙනා අන් අය නිකරුනේ සැක කරන්නේ නැත. චෝදනා කරන්නේද
නැත. නින්දා, අපහාස, අවමන් කරන්නේද නැත.
එහෙත් ඥාන ශක්තියක් නොමැතිවීම නිසා බොහෝ දෙනා පවුල් පරිසරයේ, වෘත්තිය කරන ආයතනයේ,
සාමාන්‍ය ජන සමාජයේ මනසින් දුක්විඳින බවත්, නොපවත්නා ගැටලු සිතින් මවාගෙන අන් අයටත්
චෝදනා කරමින් මුළු පරිසරයට ම ගැටලු ඇතිකරන බවත් පැහැදිලියි. මේ නිසා කාලයක් එක්ව
වාසය කරනවා සේ ම, මෙනෙහි කරනවා සේම, ප්‍රඥාවෙන් ද ඒ ගැන මෙනෙහි කළයුතු බව තේරුම් ගත
යුතු වේ.
මීළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් පුද්ගලයෙක් මනා ලෙස දැන ගන්නට නම් ඒ අයගේ
කතා ව්‍යවහාරය අනුව පවිත්‍ර බව ඒ අයගේ ගුණ යහපත් බව තේරුම්ගත යුතුයි. එයත් දිගු
කාලයකින් විය යුතුයි. කෙටි කාලයකින් එසේ පිරිසුදු බව දැන ගැනීම අපහසුයි. මනාකොට
මෙනෙහි කළ යුතුයි. එසේම ප්‍රඥාවෙන් මෙනෙහි කළ යුතුයි. දුෂ්ප්‍රාඥයකුට එනම් නුවණින්
සිතා බලන්නට බැරි පුද්ගලයකුට, පුරුද්දක් නැති පුද්ගලයකුට, යම් පුද්ගලයකුගේ පවිත්‍ර
බව, සිතෙහි පිරිසුදු බව අවංක බව තේරුම්ගත නොහැකිය. එහි අදහස කුමක් ද? පුද්ගලකුගේ
පිරිසුදුකම, පවිත්‍ර බව කතා ව්‍යවහාරයෙන් කාලයක දී දැන ගත හැකියි. මුලින් සඳහන් කළා
සේ යම් පුද්ගලයෙක් තමාගේ අරමුණ ඉටුවන තෙක් මිහිරි වචනයෙන්, බොහෝ පරිස්සමෙන්,
පාලනයකින් යුතුව කතා කළ හැකියි. වචන හැසිරවිය හැකියි. සාමාන්‍ය ජන සමාජය පවසන්නේ
හදවත ගලවා දෙන ආකාරයට හෝ තම ප්‍රාණය වූවත් පරිත්‍යාග කරන තරමට කතා කරන පුද්ගලයකු
බවයි. යම් පුද්ගලයෙක් කුමන ආකාරයෙන් කතා කළත්, මිහිරි වචන කතා කළත්, තම ජීවිතය
පරිත්‍යාග කරන ආකාරයෙන් කතා කළත්, උගතකු ලෙස කතා කළත්, මොන ආකාරයේ ස්වභාවයක් මවාගෙන
කතා කළත්, දිගු කලක් ආශ්‍රය කරන විට යම් තැනකදී ඔහුගේ හෝ ඇයගේ හදවතේ සැබෑ ස්වභාවය
වචනවලින්ම මතුවිය හැකිය. ඒ බව වඩාත් වැටහෙන්නේ සමීප ආශ්‍රයකට එන විටයි.
යම් පුද්ගලයෙක් තම තමන්ගේ අරමුණු ඉටුවෙන තුරු සංවරව හා මිහිරි ලෙස කතා කරයි. එහෙත්
තම අරමුණු ඉටු නොවෙන විට යම් පුද්ගලයකුට බැන්නා, දොස් කිව්වා යැයි ඇසෙන විට හෝ තමන්
කේන්ති ගත්තා යැයි කියන විට පවසන වදන් ඝෝර විය හැකියි. සැර පරුෂ විය හැකියි. යම්
පුද්ගලයෙකුට අසාගෙන සිටිය නොහැකි තරමට කටුක විය හැකියි. මුලින් මධුභාෂක හෝ
මධුභාෂිණී හැටියට මිහිරිම මී පැණි වැනි වචන කතා කළ අයෙක් හැටියට හැසිරුණු මේ
පුද්ගලයා කේන්ති ගියා යැයි පවසමින් මේ පිට කරන වචන මොනතරම් අස්ලීල දැයි, මොනතරම්
අසංවර දැයි, සැර පරුෂ දැයි නොහික්මුණු නොමනා වචන දැයි දැනෙන්නට පටන් ගනී. එසේ නම්
ඔහුගේ හෝ ඇයගේ සිතෙහි පවිත්‍රතාවයක්, හදවතේ පිරිසුදු බවක් නැති බව ඉතාම පැහැදිලියි.
'කකචූපම' සූත්‍ර දේශනාවේ දී ‘කාලී’ නම් සේවිකාව ‘වේදහිකා’ නම් තම ස්වාමි දියණියගේ
මනා වූ හැසිරීම සංවර බව පරික්ෂා කරනු ලැබූයේ වෙනදාට වඩා දවල් වන තෙක් නිදා
සිටීමෙනි. දින කීපයක් එසේ වීමෙන් මුල දී සංවරව, මනා හැදුනුකමින් යුතු ස්වාමි දියණිය
දොර පොල්ලගෙන සේවිකාවගේ හිසට පහරදීමෙන්, නපුරු වචන පැවසීමෙන් ඇයගේ බාහිරව මවාගෙන
තිබූ සංවරකම, පෙනුම මෙසේ යැයි ලෝකයාට ම පැවසුවා. නුඹලා විසින් මනා ගුණ යහපත්, සංවර
ස්වාමි දියණියක් යැයි පවසනු ලැබූ ඇය කේන්ති ගෙන නපුරු වදනින් බැන වැදී මගේ හිසට පහර
දී තුවාල කළා යැයි මිදුලට පැමිණි කාලී නම් සේවිකාව අසල්වැසියන්ට කෑ ගසා සඳහන් කළා.
මෙවැනි සිදුවීම් සාමාන්‍ය පරිසරය තුළ ජන සමාජයය තුළ මොනතරම් පවතී ද? භාග්‍යවතුන්
වහන්සේ දේශනා කළේ එක්ව වාසය කිරීමෙන් සීලය දැන ගන්නවා සේම හැදුනුකම තේරුම් ගන්නවා
සේම යම් පුද්ගලයකුගේ කතා ව්‍යවහාරයෙනුත් හදවතේ ඇති පවිත්‍ර බව තේරුම්ගත හැකි බවයි.
එමෙන් ම යම් පුද්ගලයෙක් රවටන ආකාරයෙන්, මුලා කරන ආකාරයෙන් කතා නොකළත් ඔහුගේ හෝ ඇයගේ
කතාව අනුව හදවතේ ස්වභාවය මනාකොට තේරුම්ගත හැකියි. කොවුලාගේ හා කපුටාගේ සැබෑ ස්වභාවය
හඬ නැගීමේ දී හඳුනාගන්නා සේ යම් මනුෂ්‍යයෙකුගේ කතාව ඔස්සේ ඒ පුද්ගලයා කවුරුන් දැයි
තේරුම් ගත හැකියි.
යම් පුද්ගලයෙක් කතා නොකොට සිටින තාක් කල් යම් විටක බාහිර ලෝකයාට පෙනෙන්නේ සංවර
අයෙක් හැටියටයි. ගුණයහපත් වූ සද්පුරුෂයෙක් හැටියටයි. යම් විටක උගතෙක් හැටියටයි.
එහෙත් කතාව ආරම්භ කිරීමෙන් අනතුරුව උගතෙක් ද, නූගතෙක් ද, ගුණවතෙක් ද, නුගුණවතෙක් ද
කියා හෝ සිල්වත් හෝ දුසිල්වන්තයෙක් ද කියා හෝ සංවර හෝ අසංවර කෙනෙක් ද කියා හෝ දැනගත
හැකි වන්නේ ය. හදවතේ ඇති සැබෑ ස්වභාවය එනම් ඔහුගේ හෝ ඇයගේ සිතිවිලිවල සැබෑ ස්වභාවය
ඒ කතා ව්‍යවහාරයෙන් මතුවන්නට පටන් ගනී. කාලයක් ආශ්‍රය කරන විට ඒ කතා ව්‍යවහාරයෙන්
සිතෙහි පවිත්‍ර බව මනාව වැටහෙන්නට පටන් ගනී. දුෂ්ප්‍රාඥයකුට නොව ප්‍රඥාවන්තයකුට ඒ
කතා ව්‍යවහාරය අනුව හදවතේ සැබෑ ස්වභාවය වැටහෙන්නට පටන් ගනී.
මුලින් සඳහන් කළා සේ යම් විටක කතා ව්‍යවහාරය ලෝකයා පිළිගත් පරිදි නොගැළපුණත් එහෙත්
ඔහුගේ හදවත පිරිසුදු බව සිතිවිලි පිරිසුදු බව වැටහෙන්නට පටන් ගනී. මේ නිසා හදවතේ හෝ
පුද්ගලයා හෝ පුද්ගලයාගේ පිරිසුදු බව මනාකොට තේරුම් ගැනීමට කතා ව්‍යවහාරයෙන් හැකි බව
භාග්‍යවතුන් වහන්සේ මෙහි දී දේශනා කරන ලදී.
- දීපා පෙරේරා |