Print this Article


සිත ගැන අවධියෙන් සිටින්න

සිත ගැන අවධියෙන් සිටින්න

සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් දෙවියන් සහිත ලෝකය වෙත ක්‍රම දෙකක් උගන්වන්නට යෙදුණා. එනම්, සමථ භාවනා ක්‍රමය සහ විපස්සනා භාවනා ක්‍රමයයි. ඒ ක්‍රම දෙකෙන්ම නීවරණයන්ගේ සන්සිඳවීම උගන්වනවා. තණ්හාව, තරහව, කම්මැළිකම, සිතේ විසිරීම , සැක සාංකාව, නීවරණ පහ සංසිඳුවාගන්නට භාවනාව තරම් ප්‍රයෝජනවත් දෙයක් තවත් නැහැ.

දානමය පින්කම්, සීල සමාදානයෙන් පමණක් සතුටු නොවී භාවනාමය පින්කමට තමන් සම්බන්ධ විය යුතුයි. ඇතැම් විට මේවාට වෙලාවක් නැතැ’යි, විවේකයක් නැතැ’යි සිතෙන්නට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව ‘තිට්ඨංචරං නිසින්නොවා සයානොවා යාවතස්ස විගත මිද්ධෝ’ යනුවෙන් ක්‍රම පහක් උගන්වා තිබෙනවා. සිටගෙන සිටියදී, ඉඳගෙන සිටියදී , ඇවිදිමින් සිටියදී ,නිදන ඉරියව්වෙන් හෝ නිදිවර්ජිතව සිටියදී භාවනාවෙන්ම යෙදෙන්නැ’යි වදාළා.

තමාට පහසු ඉරියව්වකින් විවේකී මොහොතක භාවනාව දියුණු කරන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළා. එය අනාපානසති භාවනාවයි. ආශ්වාස , ප්‍රශ්වාස දෙක කෙරෙහි සිත පිහිටුවිය යුතුයි. හුස්ම ඇතුළුවීම, හුස්ම පිටවීම යනුවෙන් ක්‍රම දෙකයි. ආශ්වාස, ප්‍රශ්වාස අරමුණු දෙක කෙරෙහි සිත පිහිටුවා ගැනීම ආනාපානසති භාවනාව යනුවෙන් සඳහන් කරනවා. ආශ්වාස, ප්‍රශ්වාස සිහියෙන් ගැනීමෙන් බෝධි පාක්ෂික ධර්ම තිස්හතක් සම්පූර්ණ වෙනවා. ආශ්වාස, ප්‍රශ්වාස සිහි කල්පනාවෙන් සිදු කළොත් ඒ අවස්ථාවේදීත් බෝධි පාක්ෂික ධර්ම තමන්ගේ සිතේ පහළ වෙයි. වරක් ,දෙවරක්, තුන්වරක් නෙවෙයි. චිත්ත වීතියේ සංඛ්‍යාවට පහළ වෙනවා. එබැවින්, බුදු දහමේ උගන්වන එක් කාරණාවක් වන්නේ පහන් සිත් ඇති බවයි. අනෙක් කාරණාව වන්නේ නුවණ ඇති බවයි. සිතේ සන්තෝෂයයි, නුවණයි දෙකම ක්‍රියා කළොත් ආනාපානසති භාවනාව හොඳින් වැඩෙයි.

බිත්තියකට හේත්තු නොවී කය ඍජුව තබාගෙන , උඩු තොලෙහි සිත පිහිටුවාගෙන, දෑස් පියාගෙන හෝ අර්ධ ලෙස පියාගෙන හෝ මෙනෙහි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුකූලව භාවනා ආචාර්යවරු මෙවැනි ක්‍රමයක් සඳහන් කරනවා. එය ගණන් කිරීමේ ක්‍රමයක්. ආශ්වාස කිරීම එක, ප්‍රශ්වාස කිරීම දෙක, ආශ්වාස කිරීම තුන, ප්‍රශ්වාස කිරීම හතර, ආශ්වාස කිරීම පහ, ප්‍රශ්වාස කිරීම හය අංක එකට නැවත එනවා. එකේ සිට පහත් , එකේ සිට හයත්, එකේ සිට හතත්, එකේ සිට අටත්, එකේ සිට නවයත්, එකේ සිට දහයත් ගණන් කරනවා. නැවත ඇතුළුවීම එක සංඛ්‍යාවක් , පිටවීම තව සංඛ්‍යාවක්, එක, දෙක, තුන, හතර, පහ ඊළඟට එකේ සිට හය දක්වා. මෙසේ සිහි කල්පනාවෙන් ගණන් කිරීමේ ක්‍රමය නිවැරැදි කරගන්න. වැරදුණොත් නැවත මුලට එන්න. වැරදුණා යනු සිහිය නොමැතිබවයි. ගණන් චක්‍ර නිවැරැදි වුණොත් සිහිකල්පනාව හොඳටම තිබෙයි. එහෙමනම්, ගණන් කිරීමේ ක්‍රමය නිවැරැදිව කරන තුරු භාවනාවට බැස නොගෙන ගණන් කිරීමේ ක්‍රමය නිවැරැදිව සම්පූර්ණ කරගන්න. තව සමහරක් එකේ සිට සියය දක්වා ගණන් කරනවා. සියයෙන් ආපසු එකට එනවා. අනූනවය, අනූඅට, අනූහත වශයෙනි. ඒවා බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළේ නැතත් ආචාර්යන් වහන්සේ උගන්වන්නේ සිත සමාධිගත කරවා ගැනීමටයි. එය අරමුණු අඩුකරගැනීමට, සිත තැන්පත්කර ගැනීමේ ක්‍රමයක්. එය බොහොම පහසුයි. බොහොම හොඳයි. ඉගෙන ගන්නා ළමයාට මේ ගණන් කිරීමේ ක්‍රමයන් බොහොම වැදගත්. තමන්ගේ අධ්‍යාපන කටයුතුකර ගැනීමට, සිහි කල්පනාව හොඳින් දියුණු කර ගන්න පුළුවන්කම තිබෙනවා. සිහි කල්පනාව නැහැ කියන්නේ පාඩම් හිටින්නේ නැති බවයි. එවිට යම් දෙයක් සාර්ථකව සිදු කරගන්න පුළුවන්කමක් නැහැ.

ඒ නිසා සිහිකල්පනාව රඳා පවත්වා ගන්නට නම් ආනාපානසති භාවනාව බොහොම ප්‍රයෝජනවත් වෙයි. සමහරුන්ට එය පිහිටන්නේ නැහැ. එහෙමනම් බුදු ගුණ භාවනාව, මෛත්‍රී භවනාවට යොමුව නැවත ආනාපාන සති භාවනාවට එන්නට පුළුවන්. ආනාපානසති භාවනාව ධ්‍යාන හතරක් ලබාදෙන භාවනා ක්‍රමයක්. ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය යනුවෙන් ධ්‍යාන හතරක් තිබෙයි. එසේ පාදකකර විදසුන් නුවණ පහළකර මාර්ග ඵල අවස්ථාවට සමීප වෙනවා. සෝවාන් මාර්ග ඥාන උපදවා ගත්තොත් භය නැහැ. සෝවාන් මාර්ග ඥානය ලබා ගත්විට ස්ථිරයි. අපායට යන්නේම නැහැ. එමෙන්ම අහේතුක, ද්විහේතුක, වන්නේම නැහැ. හොඳ ජීවිත පෙළක් ලබනවා. ආත්ම හතයි. හතක් ඇතුළත නිවන් දකිනවා. අටවෙනි ආත්මයක් නැහැ. ඒ නිසා කවුරුත් මේ සෝවාන් මාර්ග ඥානය උපදවා ගන්නට මහන්සි ගත්තොත් හොඳයි. ඒ නිසා ආනාපාන සතිය පුළුවන් තරමින් දියුණු කර ආනාපාන සතියෙන්ම විදර්ශනා ඥාන පහළ කරගෙන මාර්ගඵල අවස්ථාවට යන්න පුළුවන් ක්‍රමය පැහැදිලි කරනවා.

රාහුල බද්ධ ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ආනාපාන සතිය දියුණු කළා. බුදුරජාණන් වහන්සේ රාහුල වාද සූත්‍ර වැනි දේශනාවන් වදාළා. ගිරිමානන්ද සූත්‍ර දේශනාවෙන්, සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් ආනාපාන සතිය පැහැදිලි කරනවා. ඒ නිසා බොහෝ සූත්‍රවල ආනාපානසති භාවනා ක්‍රමය හොඳට පැහැදිලි කරනවා. සිත සමාධි ගත කරන්න අවශ්‍යයයි, සිත දියුණු වෙන්නට අවශ්‍යයයි. එමෙන්ම සිත තැන්පත් වෙන්නට අවශ්‍යයයි. සිත තැන්පත් වෙනවා යනු නීවරණයන්ගේ සංසිඳීමයි. බොහෝ දෙනාගේ සිත බොහොම චංචලයි. නිශ්චල සිතකට එන්නට මේ භාවනාව අත්‍යවශ්‍යයයි. චංචල සිතක් සකසා ගන්න කොයි කාටත් පුළුවන්. නමුත් නිශ්චල සිතක් සකසා ගැනීම සැමටම බැහැ.

තම තමන්ගේ චිත්ත සන්තානය තමා සමාධිගත අවස්ථාවට ගෙන යාමට එක අරමුණක් බොහෝ වේලාවක් මෙනෙහි කළ යුතුයි. ආශ්වාස, ප්‍රශ්වාස වදන් දෙක සිතන්න. එසේ නොමැතිනම් හුස්ම ඇතුළුවීම , පිටවීම හොඳට බලාගෙන ඉන්න. සමහරෙකුට ආශ්වාස , ප්‍රශ්වාස මෙනෙහි කරද්දී වෙහෙස දැනෙනවා. එවිට එය නවතා හුස්ම ඇතුළුවීම සහ පිටවීම දෙස පමණක් බලන්න.

උපමාවක් දැක්වුවොත් රජවාසලක දොරටුවක් සමීපයේ සිටින දොරටු පාලකයෙක් වගේයැ'යි සඳහන් වෙනවා. දොරටු පාලකයාට අයිති නීතිය වන්නේ දොරටුවෙන් ඇතුළුවෙන සහ පිටවෙන , මිනිසුන් දෙස බැලීමයි. රජවාසල ඇතුළත බලන්න තහනම්. පිටත බලන්න තහනම්. ඇතුළුවන සහ පිටවන අය ගැන පමණයි බැලිය යුත්තේ. හොඳ සිහිකල්පනාවෙන් සිටිය යුතුයි. මොනවා අරගෙන ඇතුළු වෙනවාද, මොනවා අරගෙන පිට වෙනවාද, හොඳින් බලන්න අවශ්‍යයයි. එසේම, ආශ්වාස, ප්‍රශ්වාසයන් මෙනෙහි කරන යෝගාවචරයන් වහන්සේත් හුස්ම ඇතුළුවීම , පිටවීම හොඳට බලාගෙන ඉන්නවා. එහෙමනම් ඇස, කන, නාසිකාව, දිව, කය සංවර කරගැනීම අවශ්‍යයයි. අසීරුම දේ වූ සිතේ සංවරය අවශ්‍යයයි. මේ ද්වාර හය හොඳින් සංවර කරගන්නා පින්වතුන්ට ආනාපාන සති භාවනාව වඩන්නට පුළුවන්.