බුදුපිළිමයේ උපත - 61:
අජන්තාවේ බිතු සිතුවම්
පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
බුදුරජාණන් වහන්සේ ගේ අසිරිමත් බුදුසිරිත හා සම්බන්ධ වූ සිදුවීම් බෞද්ධ
සාහිත්‍යයෙහි ඉතා ප්‍රසිද්ධියට පත්වී ඇත. බුද්ධ චරිතය හා ඉතා කිට්ටු සබඳතාවයක් ඇති
මෙවැනි සිදුවීම්ද අජන්තා බිතුසිතුවම්වලට නංවා ඇති අන්දම ඉතාමත් චමත්කාර වන්නේය. මේ
අතරේ නන්ද කුමරු හා සම්බන්ධවූ සිදුවීම අජන්තා බිතුසිතුවමින් නිරූපණය කර ඇත. ඒ
පිළිබඳ විමසීමට පෙර එම සිදුවූ පසුබිම මෙසේය.
මහාප්‍රජාපතී ගෝතමියගේ පුත්‍ර නන්ද කුමරුගේ අභිෂේක උත්සවය ද පසුදිනට යෙදී තිබිණි.
එය නන්ද කුමරුන්ගේ ඔටුන්න හිමි අවස්ථාවක් ද, එයින් අභිෂේක කිරීමටද නියමිතව තිබුණි.
නන්ද කුමරුගේ අභිෂේකය පමණක් නොව තවත් කාරණා දෙකක්ද යෙදී තිබුණි. එනම් සිය නව ගෘහයට
පිවිසීම ( ගෙට ගෙවැදීම) ජනපද කල්‍යාණිය සමඟ විවාහයට පත්වීමටද නියමිතව තිබීමද
මෙදිනටම යෙදුණි. (බුද්ධ චරිතය –මහාචාර්ය සුචරිත ගම්ලත් –පි. 271 2006)
බුද්ධත්වයෙන් දෙවැනි වර්ෂයේදී සිදුවූ මෙම සිදුවීම මෙසේද සඳහන් වේ.
පසුදා නන්දකුමරුගේ රාජාභිෂේක මංගල්‍යයද, ගෙවදින මංගල්‍යයද, සරණ මංගලය යැයි උත්සව
තුනක් විය. එදින භාග්‍යවතුන් වහන්සේ නන්ද කුමාරයාගේ මාලිගාවට වැඩම කර දන් වළඳා මංගල
ධර්මය දේශනා කර නන්ද කුමරු අතට පාත්‍රය දී පෙරාතුරව වැඩි සේක. නන්ද කුමාරයා
බුදුරජාණන් වහන්සේ තමා අතට දුන් පාත්‍රය දැන් දැන් ආපසු ගන්නේයැයි සිත සිතා
නොකැමැත්තෙන්ම යන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ඉමහත් ගෞරවයෙන් කිසිත් නොකියා
නිශ්ශබ්දව බුදුරජාණන් වහන්සේ ගේ පස්සෙන්ම ගියේය. නන්දකුමරුට පාවාදීමට නියමිතව ඒ
සඳහා සූදානමින් සිටි ජනපද කල්‍යාණි මේ සිදුවීම දැක ස්වාමිපුත්‍රයාණන් වහා ආපසු එන
මැනැවැයි කියා බෙල්ල දිගු කොට බුදුරජාණන් වහන්සේ පිටුපස පාත්‍රයද අතින් දරාගෙන යන
නන්දකුමරුට පැවසුවාය. නන්ද කුමරු දෙස ඇය එසේ කියමින් බැලුවාය.
ජනපදකල්‍යාණිය කළ ඒ කතාව නන්ද කුමරුගේ සිතේ තදින්ම වැදී ගියේය. එහෙත් නන්ද කුමරු
පාත්‍රය ආපසු ගත මැනවැයි කීමට නොහැක්කේ බුදුරජාණන්වහන්සේ පසුපස විහාරයට පැමිණියේය.
එහිදී භාග්‍යවතුන් වහන්සේ නන්දය, මහණ වන්නේදැයි ඇසු සේක. නන්ද කුමරු ජනපද කල්‍යාණිය
කෙරෙහි පේ‍්‍රමයෙන් එයට නොකැමති විත් බුදුරජාණන් වහන්සේට ඇති බුද්ධ ගෞරවයෙන් ඒ බව
නොකියා එසේය. මහණවෙමියි කීවේය. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ නන්ද කුමරු පැවිදි කළ
සේක. මෙසේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කළ තුන්වැනි දිනයේදී නන්ද කුමරු
පැවිදි කරවූ සේක.
(ශාක්‍ය මුනීන්ද්‍ර වදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය අතිපූජ්‍ය බලන්ගොඩ
ආනන්ද මෛත්‍රෙය මහා නායක හිමිපාණන් වහන්සේ පි. 124-(1986)
බෞද්ධ මූර්ති කලාවෙහි මෙම සිදුවීම නිරූපණය කර තිබේ. අජන්තා බිතුසිතුවම්හි මෙම
සිදුවීමට මුල් වූ ජනපද කල්‍යාණිය නන්ද කුමරුන් හා විවාහයට අවස්ථාව නොලැබීම පිළිබඳ
ඉමහත් කම්පාවට පත්වී ඇයගේ මාලිගයෙහි සේවිකාවන් සමඟ සිටින ආකාරය සිතුවම් කර ඇත.
මෙම බිතුසිතුවමෙහි ජනපද කල්‍යාණිය ඉතා වැහැරී ඇති සිරුරින් ශෝකයෙන් රෝගි වූ
කාන්තාවක සේ සිටින අන්දම නිරූපණය කර තිබීම චිත්‍රශිල්පියාගේ දක්ෂතාවය මතු කරලන්නේය.
එපමණක්ද නොවේ. ජනපද කල්‍යාණි කුමරිය අස්වැසීම පිණිස ඇයගේ සහාය කුමාරිකාවන් ඇය වට කර
ගෙන සිටින අන්දමද මෙහි සිතුවම් කර ඇත.
මෙම අජන්තා බිතුසිතුවම් එහි බිත්තිවල නිර්මාණය කර ඇති බව කවුරුත් දන්නා කරුණකි. මීට
අමතරව සංචාරකයන්ගේ අවධානයට යොමු නොවන එහෙත් ඇතැම් අය මේවා අගය කරන බිතුසිතුවම්
විශාල සංඛ්‍යාවක් මෙම ලෙන් තුළ දැකිය හැකිය. ඒවා ඒ ලෙන්වල සිවිලිම්වල ඉතා අලංකාර
ලෙසින් සිත්තම් කිරීමට මෙම චිත්‍ර ශිල්පීහු දක්ෂ වූහ. ඒ අතරේ තාරාවන් වැනි පක්ෂීන්
ද ඇතුන් හා සිව්පා සතුන් මෙන්ම විවිධ මල් මෝස්තර ද ඒ අතර දැකිය හැකියි.
|