ලෝ සතට වැඩ සලසන
ලෝ වැඩ සඟරාව
- 03:
සඟ ගුණ
අපමණයි
ගල්කිස්ස බෞද්ධායතනාධිපති
ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ලේකම්,
රත්මලාන භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ හිටපු
විදුහල්පති
කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති
කොළඹ නව කෝරළයේ
ප්‍රධාන අධිකරණ සංඝනායක
ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි
"ගොවියා කුඹුර මනාකොට සකස් කිරීම, කුඹුරේ වැපිරීම හෝ පැළ සිටුවීම, කුඹුර රැක බලා
ගැනීම ආදී සියලු කාර්යයන් සිදුකිරීමෙන් අවශ්‍ය ඵල නෙළා ගනී. උපමා වශයෙන් ගත් විට
සංඝරත්නය ද කුඹුරක් හා සමාන කළ හැකිය. දායක ආදී අන් අයගේ පෞද්ගලික වැඩකට එක එල්ලේ
කරන උපකාරයක් හරිහැටි නොපෙනුනත් සංඝරත්නය පුණ්‍ය නමැති ධාන්‍ය ඵල රැස්කර ගැනීමට මඟ
සලසා දෙති"
සිරිමත් බඹසිරසෙහි පා පිසි නා
සැරියුත් මහ මුගලන් පිළිවෙළි නා
පිළිවෙත් සරුමහ සඟ ගණ සොබ නා
මුදුනත් බැඹඹඳ නමදිම් බැති පෙමි නා
සංඝරත්නයෙහි ඇති උතුම් ගුණ කිහිපයක් සිහිපත් කරමින් වන්දනා කිරීම සඳහා ලෝවැඩ සඟරා
කතුවරයා මෙම කවිය ඉදිරිපත් කොට ඇත. ඒ අනුව සංඝරත්නය උසස් වූ ශ්‍රීයෙන් යුක්ත බව
පෙන්වා දෙයි. සංඝරත්නයට නමස්කාර කරන බව මෙහි සඳහන් වෙයි. මෙම සංඝරත්නය බුද්ධ
කාලයෙහි අග්‍රශ්‍රාවක තනතුරින් ගෞරව ලැබූ සැරියුත් සහ මුගලන් යන හිමිවරුන්ගේ
පරපුරෙන් අඛණ්ඩව පැවතෙන බවත් පැවසෙයි. පිළිවෙත් පිරීම ම හරය කොට ක්‍රියා කරමින්
සෝබමානව වැඩ සිටින ඒ සංඝරත්නයට නමස්කාර කරන බව මෙයින් කියැවෙයි.
නිරන්තරයෙන් අප භාවිත කරන සුපටිපන්නො, උජුපටිපන්නො යන පාඨයෙන් පැවසෙන්නේ සඟ ගුණ
නමයකි. මහා සංඝරත්නය තුළ විද්‍යාමාන වන ගුණ සමුදාය අතුරෙන් ඒ නමය ප්‍රධාන වෙයි. ඒ
අතුරෙන් අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස යන උතුම් ගුණය කෙරෙහි අපගේ විශේෂ අවධානය
යොමු විය යුතු ය. ලෝ වැසියන්ගේ උතුම් වූ පුණ්‍ය නමැති ධාන්‍ය වැපිරීමට සුදුසු කෙතකට
මෙහි සංඝරත්නය සමාන කොට ඇත. කුඹුර ගොවියාට ධාන්‍ය ලබා ගැනීමට උපකාර වෙයි. එකී කුඹුර
විසින් ධාන්‍ය ලබාදීම සඳහා කිසිදු ක්‍රියාත්මක උපකාරයක් ගොවියාට නොකරයි. එහෙත්
කුඹුර නොමැතිව ගොවියාට ධාන්‍ය ලබා ගැනීමට නොහැකිය. ගොවියා කුඹුර මනාකොට සකස් කිරීම,
කුඹුරේ වැපිරීම හෝ පැළ සිටුවීම, කුඹුර රැක බලා ගැනීම ආදී සියලු කාර්යයන්
සිදුකිරීමෙන් අවශ්‍ය ඵල නෙළා ගනී. උපමා වශයෙන් ගත් විට සංඝරත්නය ද කුඹුරක් හා සමාන
කළ හැකිය. දායක ආදී අන් අයගේ පෞද්ගලික වැඩකට එක එල්ලේ කරන උපකාරයක් හරිහැටි
නොපෙනුනත් සංඝරත්නය පුණ්‍ය නමැති ධාන්‍ය ඵල රැස්කර ගැනීමට මඟ සලසා දෙති. මේ නිසා
ආහුණෙය්‍ය, පාහුණෙය්‍ය, දක්ඛිණෙය්‍ය යන ගුණයන්ගෙන් පරිපූර්ණ බව බුදුහු පෙන්වා
දුන්හ.
බුදුරදුන් දේශනා කොට වදාළ ධර්මය ඖෂධයකට උපමා කළහොත් ඒ උතුම් ඖෂධ නිසි ලෙස බෙදා දෙන
වෛද්‍යවරු භික්ෂූන් වහන්සේ ය. වෛද්‍යවරු රෝග නිවාරණය කොට සැප ලබා ගැනීමට ඖෂධ නියම
කරති. සංඝරත්නය ද දෙලොව සැප සමඟ නිවන් සැපත උදාකර ගැනීම පිණිස ධර්ම නමැති ඖෂධ
නිවැරැදිව ඉදිරිපත් කරති. කළයුතු හා නොකළයුතු ක්‍රියා වෛද්‍යවරුන් පෙන්වා දෙන්නාක්
මෙන් සංඝරත්නය ද ජනතාව නිරන්තරයෙන් පාපයන්ගෙන් වළකා කල්‍යාණ වූ ප්‍රතිපදාවෙහි
යොදවති. ඒ උසස් සේවය ජනතාවට ලබා දීම පිණිස උන්වහන්සේ තුළ ඇති සුපටිපන්න,
උජුපටිපන්න, ඤාය පටිපන්න හා සාමිචි පටිපන්න යන උතුම් ගුණයන් බෙහෙවින් ඉවහල් වේ.
‘පිළිවෙත් සරු මහ සඟ ගණ සොබනා’ යන කවි පදයෙහි මහ සඟ ගණ යනුවෙන් දැක්වෙනුයේ අෂ්ටාර්ය
පුද්ගල සංඝරත්නයයි. එනම් සෝවාන් සකෘදගාමි, අනාගාමි හා අර්හත් යන මාර්ගස්ථ හා ඵලස්ථ
උතුමන් ය. එහි අවම වශයෙන් දැක් වූ සෝවාන් උතුමෙකු වුවත් සත් වරකට වඩා නැවත
උප්පත්තියක් නොලබන බවත්, කිසිවිටක දුගතියක නො උපදින බවත් ධර්ම ග්‍රන්ථයන්හි සඳහන්
වෙයි. ඒ උතුම් මගඵල නොලැබුණත් එයට අදාළ ප්‍රතිපදාවෙහි යෙදී සිටින සිල්වත් සියලු
පෘථග්ජන භික්ෂුහු ද අෂ්ටාර්ය පුද්ගල සංඝරත්නයට ම අයත් වෙති.
මහණ උපසම්පදාවට පත් සියලු භික්ෂූන් සංඝ නමින් හඳුන්වයි. විශේෂයෙන් උපසම්පදාව ලබා
ගැනීම එතරම් පහසු කරුණක් නොවේ. පණ්ඩක ආදී නුසුදුසු පුද්ගලයන් එකොළොස් දෙනෙකු ද,
කුෂ්ඨ, ගෙඩි, වණ, ක්ෂය රෝග, අපස්මාර යන පස් ආකාර රෝගයන්ගෙන් පෙළෙන අය ද, අඳ ගොලු
බිහිරි පුද්ගලයන් අත පය කොර වූ පුද්ගලයන්, කුදු පුද්ගලයන් ආදී අංග විකල දෙතිස්
පිරිස්ද, ණය කාරයන්, සොරුන්, රාජ භටයන්, හංවඩු ගැසූවන් ආදීන් ද මහණ උපසම්පදා නොකළ
යුතු බව විනයෙහි දැක්වෙයි. සංඝ සමාජය නිර්මලත්වයට පත්කර තබාගැනීම සඳහා බුදුරදුන්
තුළ පැවැති බලවත් කැමැත්ත මෙයින් පැහැදිලි වෙයි.
නිවන් අවබෝධය සඳහා පිළිපන් භික්ෂු නමක් තුළ පළමුව ආරක්ෂා වී තිබිය යුත්තේ සීලයයි.
සංඝ නාමයට ඇතුළත්වන උපසම්පදා භික්ෂු නමක් සඳහා නවකෙළදහස් එකසිය අසූ කෝටි පනස් ලක්ෂ
තිස්හයක් වශයෙන් ලොකු කුඩා ශික්ෂා පද පනවා ඇත. ඒවා අතුරෙන් සතර පාරාජිකා නමින්
දැක්වෙන ප්‍රධාන ශික්ෂාපද පනවා ඇත. ඒවා අතුරෙන් සතර පාරාජිකා නමින් දැක්වෙන ප්‍රධාන
ශික්ෂා හතර හෝ ඉන් එකක් හෝ කැඩුණහොත් ගසක් මුලිනුපුටා දැමුවා සේම එම භික්ෂුවට මහණකම
අහිමි වෙයි. උසස් වූ සීලයෙහි පිහිටා සිත දියුණුකරමින් විදර්ශනා ප්‍රඥාව උදාකර ගැනීම
සඳහා පිළිවෙත්හි යෙදෙන ගමන් මුළු මහත් සමාජයේ සැපත සඳහා අවශ්‍ය අනුශාසකත්වය ලබා දීම
සංඝරත්නයේ වගකීමයි. |