සෙවිල්ලක වග
මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි
" මිනිස් සංහතිය මිහිතලයෙහි පහළ වූ දා පටන් එදා මෙදා තුර වඩනලද චින්තනය බුද්ධිමහිමය
හා අත්දැකීම් අපමණ වුවද බිහිකොටගත් ආගම්, ශාස්ත්‍රාදිය කොපමණවුවද ජාතී, ජරාව,
ව්‍යාධි මරණාදිය ඉක්මවා යාමට ඒ කිසිවකින් හැකියාවක් ලබා නැත. ධනය බලය දැන උගත්කම
ආදි වෙහෙස වී ළඟාකරගත් කිසිවෙකින් දුක ජය ගැනීමට අසමත්ව තිබේ.'
දේශය කුමක් වුවද, කාලය කුමක් වුවද, ජාතිය කුමක් වුවද සියලු පුහුදුන් සත්වයෝ මහා
සෙවිල්ලක නිරතව සිටිති. එනම් සතරමග, සතරඵලවලට නොපැමිණි අනාර්ය සත්වයෝ නිබඳවම
නිමාවක් නොදන්නා ඉවරයක් නැති, තෘප්තියක් නොවන මහා සෙවිල්ලෙක නිරතව සිටිති.
‘අනුවිජ්ජා’ නම් වූ ඇත්ත ඇතිහැටියෙන් නොදැකීමද, තෘෂ්ණා නම් වූ මිනිස් සිත් සතන් හි
මුල් බැසගත් අසීමිත ආශාවද විසින් උසිගන්වනු ලබන ඔවුන් නිරතව සිටින්නේ අර්ථශූන්‍ය වූ
නිස්සාර වූ සෙවිල්ලක බව බුදුදහම පෙන්වා දෙයි. ධර්මයෙහි එකී සෙවිල්ල හඳුන්වා ඇත්තේ
අනරිය පරියේසනය යනුවෙනි. ‘අනරිය’ යනු සතරමග සතරඵල නොලත්, ආර්ය නොවන උතුම්බවක් ,උසස්
බවක් නැති , හීන පහත් පැවතුම් ඇති යනාදී අර්ථ ගෙන එන පාලි ව්‍යවහාරයෙකි. අනාර්ය
පර්යේෂණය හෙවත් නිසරු පහත් සෙවිල්ල කුමක්ද? අනේකාකාරයෙන්, අනේකවිධ ශිල්ප ක්‍රම,
උපක්‍රම ඔස්සේ ලෝ වැස්සන් යෙදී සිටින අනාර්ය පර්යේෂණය අරිය පරියේෂණ සූත්‍රය
සවිස්තරව දක්වයි.
ඉපදීම දුකකි. වයසට යාම, ලෙඩවීම, ආදි සියලු සසර දුක් ඉපදීම හේතුවෙනි. පෙළදහමට අනුව
ඉපදීම යනු ඒ ඒ සත්වයන් ඒ ඒ සත්ව කොට්ඨාස තුළ උපත ලැබීමය. හට ගැනීමය. බිහි වීමය. ඇති
වීමය. ස්කන්ධයන්ගේ පහළවීමය. ධාතු ආයතනවාදීන්ගේ ප්‍රතිලාභය ය. සසර නැවත නැවතත් ඉපදීම
උරුමකොට සිටිමින් මිනිස්සු එබඳුම දුක් සහිත වූ ඉපදීම ස්වභාවකොට ඇති දේම සොයති. රන්
රිදී ආදියද සොයති. ඇස පිනවන රූප, කන, පිනවන ශබ්ද, නැහැය පිනවන සුගන්ධ, දිව පිනවන
රස, සිරුර පිනවන පහස සොයති. මෙසේ තණ්හා බැම්මෙන් බැඳී එයින් මුසපත්ව එහි මැ
බැසගත්තේ දුක් සහිත වූ ඉපදීම ස්වභාවය කොට ඇතිදේම සොයන්නෝය.
ජරාව යනු දිරායාමය. මහලු වීමය. එයද සත්වයා විසින් සසර මුහුණදිය යුතු දුකකි. පෙළදහමට
අනුව සවිඤ්ඤාණක වූත් අවිඤ්ඤාණක වූත් සියල්ල දිරායන ස්වභාවයෙන් යුක්තය. ඒ ඒ
කොට්ඨාසවලට අයත් ඒ ඒ සත්වයන්ගේ දිරායාමක් ජරාවක් වේද, දත්, ඇට ආදිය කැඩීයාමක් වේද
කෙස් ලොම් ආදිය පැසීයාමක්වේද, සමෙහි රැලි නැගීමක් වේද, ආයුෂගෙවී යාමක් ,
ඉන්ද්‍රියයන්ගේ පැසුණු බවක් වේද එය ජරා දුක යැයි කියනු ලැබේ. උපන් සත්ත්වයෝ මෙකී
ජරා දුක උරුමකොට ඇත්තෝ එබඳුම වූ ජරාදුක උරුම කොට, ස්වභාවය කොටගත් දේම සොයති. එනම්
අඹූදරුවෝය. දාස දාසියෝය. පස්කම් සැපතය. රන් රිදී ආදියයි. ඔවුහු එහි තණ්හාවෙන් බැඳී
මුසපත්ව, බැසගත්තෝ දුක් සහිත වු ඒ ජරාව, දිරායාම ස්වභාවය කොටගත් දේම සොයති.
ව්‍යාධිය, එනම් රෝග පීඩාවන්ට ලක්වීම සත්වයාට මහත්මැ දුකෙකි. අසහනයෙකි. පීඩාවෙකි.
සසර දිවිමග තුළ ඔවුහු අනේකාකාර වූ රෝග පීඩාවන්ට ලක්වන්නෝය. නැවත නැවතත් ගොදුරු
වන්නෝය. ඔවුහු තියුණු වූද, කටුක වූද, කුරිරුවූද, කාය චිත්ත පීඩාවන්ම උපදවන්නා වූද
ව්‍යාධි ධර්මය ලෙඩ රෝගවලට ලක්වන ස්වභාවය උරුම කොට සිටින්නෝය. එයින් බැහැර නොවූවෝය.
එහෙත් එබඳු වූ ලෝ වැස්සෝ, එබඳුම වූ උරුමකොට ඇති අඹුදරු, දාස, දාසි රන් රිදී ආදියම
සොයති.
පුහුදුන් සත්වයෝ ජීවිතය, ජීවත්වීම සැපතකැයි සිතති. එබැවින්ම ඔවුනට මරණය දුකකි.
ඔවුහු නිබඳවම ජාති නම්වූ දුක් සහිත ඉපදීම, ජරා නම් වූ දුක් සහිත දිරායාම, ව්‍යාධි
නම්වූ දුක්සහිත ලෙඩවීම මෙන්ම මරණයද කැමැති නොවන්නෝය. ජාති,ජරා, ව්‍යාධි, මරණ,
ස්වභාව කොට ඇති එම සත්වයෝ අපි එකී දුක්ඛයන් ස්වභාව කොට ඇත්තවුන් නොවන්නේ නම්
ඒකාන්තයෙන් ඉතා මැනවැයි කැමැත්තෙන් සිටිති. එහෙත් කිසිකලෙකත් එකී කැමැත්ත. ඉච්ඡාව
නම් ඉටුනොවන්නෝමය යනු බුද්ධ වචනයයි. පෙළ දහම අනුව මරණය යනු ඒ ඒ සත්වයන් ඉපිද
ජීවත්වන, ඒ ඒ සත්ව කොට්ඨාශවලින් චුතවීමය. ශරීරය සජීවි බවින් ගිලිහී යාමය. බිඳීයාමය.
අතුරුදන් වීමය. කළුරිය කිරීමය. ස්කන්ධයන්ගේ බිඳ වැටීමය. සිරුර බැහැර කරනු ලැබීමය.
මෙකී දුක් සහිත වූ මරණය, ස්වභාවකොට ඇති උරුම කොට ඇති ලෝ වැස්සෝ එබඳුම මැරෙන ස්වභාව
ඇතිදේම සොයති.
පුහුදුන් සත්වයන්ගේ සිත් සතන් වූකලි රාග, ද්වේශ, මෝහාදී කෙලෙස් ධර්මයන්ගෙන් යුක්තය.
එසේ කිලිටි වූ අපිරිසුදු වු සන්තාන ඇති අපමණ කෙලෙස්මලින් දූෂිත වු බැවින්ම ඔවුහු
සසර නැවත නැවතත් උපදිති. නැවත නැවතත් ජාති, ජරා, ව්‍යාධි මරණාදියට ගොදුරු වෙති.
එහෙත් තමේ කෙලෙස් භරිත සිත් ඇතිව සිටිමින් තව තවත් එබඳුම සසර දුකට මුල්වන කෙලෙස්
ඇති දේම සොයා යාම ඔවුන්ගේ ස්වභාවය වේ. අඹුදරුවන් රන්, රිදී ආදි ඔවුන් සොයායන සියල්ල
කෙලෙස් දුකට මුල්වෙයි. මෙසේ තෙමේ දුක් සහිත වූ, කටුක වූ, අප්‍රසන්න වූ, පීඩාජනක වූ
ඉපදීමය. ජරාවට, මහලුවියට පත්වීමය. ලෙඩ දුක්වලටම ගොදුරු වීමය. මරණය යන අනපේක්ෂිත
අත්දැකීම්වලට උරුමව සිටිමින් තව දුරටත් තව තවත් විවිධාකාරයෙන් එම දුක්ඛිත අනපේක්ෂිත
අත්දැකීම් සොයායාම අනරිය පරියේසනයයි. හීන වූ පහත් වූ නිස්සාරවූ සෙවිල්ලයි. මිනිස්
සංහතිය මිහිතලයෙහි පහළ වූ දා පටන් එදා මෙදා තුර වඩනලද චින්තනය බුද්ධිමහිමය හා
අත්දැකීම් අපමණ වුවද බිහිකොටගත් ආගම්, ශාස්ත්‍රාදිය කොපමණවුවද ජාතී, ජරාව, ව්‍යාධි
මරණාදිය ඉක්මවා යාමට ඒ කිසිවකින් හැකියාවක් ලබා නැත. ධනය බලය දැන උගත්කම ආදි වෙහෙස
වී ළඟාකරගත් කිසිවෙකින් දුක ජය ගැනීමට අසමත්ව තිබේ. නිබඳවම ජාති, ජරාව, වා්‍යාධි,
මරණාදි කටුක අප්‍රසන්න දුක් පීඩාවලින් භරිතව සිටිමින් අවිද්‍යා තෘෂ්ණාදිය හේතුවෙන්
තව තවත් එම දුක් සහිත දේම සොයා යනු ලැබේ. මේ බව දැන දැකගත් බෝසතාණන් වහන්සේ එකී
අනාර්ය පර්යේෂණ හැර පියා ආර්ය පර්යේෂණයට යොමුවූ සැටි අරිය පරියේසන, මහාසීහනාද ආදි
දේශනාවල සවිස්තරව දැක්වෙයි. එම විස්තර සැබැවින්ම පුදුම එළවන සුළුය. ලොමුදැහැගන්වන
සුළුය. එකී ආර්ය පර්යේෂණය තුළ ඉමහත් කැපවීමෙන් වීර්යාරම්භයෙන් අනේක විධ වු කටුක
දුක්පීඩා විඳිමින් ඉදිරියට යන අයුරු එම දේශනා තුළින් පෙනේ.
“මහණෙනි, ආර්ය පර්යේෂණය කුමක්ද? මේ ලෝකයෙහි ඇතැමෙක් තමා (දුක් සහිත වු ) ඉපදීම
ස්වභාව කොට ඇත්තේ එහි ආදීනව දැක ඉපදීමක් නැති නිරුත්තර වු යෝගක්ෂේම නම් වු නිවන
සොයයි. තමා ( දුක් සහිත වූ ) ජරාව දිරායාම උරුම කොට සිටින්නේ එහි ආදීනව දැක ජරාවක්
නැති නිරුත්තර වු යෝගක්ඛෙම නම්වු නිවන සොයායයි. තමා (දුක් සහිත වූ) ව්‍යාධිය
ස්වභාවකොට සිටින්නේ ව්‍යාධි ධර්මයෙහි ආදීනව දැක නිරුත්තරවූ යෝගක්ඛෙම නම් වූ නිවන
සොයයි. මරණය ස්වභාවකොට ඇත්තේ එහි ආදීනව දැක ඉන් මිදී ගන්නා නිවන සොයයි. ශෝකය උරුම
කොට ඇත්තේ එහි ආදීනව දැක ඉන් මිදී ගන්නා නිවන සොයයි. කෙලෙස් දහම්හි ආදීනව දැක ඉන්
මිදී ගන්නා නිවන සොයයි. කෙලෙස් දහම්හි ආදීනව දැක ඉන් මිදී නිවන සොයයි. මේ ආර්ය
පර්යේෂණයයි. අර්ථ සම්පන්න වු සෙවිල්ලයි. උතුම් වූ උසස් වූ සෙවිල්ලයි.ආර්ය
පුද්ගලයන්ගේ සෙවිල්ලයි.
බෝසතාණන් වහන්සේ උඩුගං බලා ගියහ. කාමයෙන් විරාගයට, කාමයෙන් නිෂ් කාමයට,අවිද්‍යාවෙන්
විද්‍යාවට, වෛරයෙන්, අවෛරයට, ලෝභයෙන් අලෝභයට, ද්වේශයෙන් අද්වේශයට මෝහයෙන් අමෝහයට
යාමය. ජාති, ජරා, ව්‍යාධි මරණාදියෙන් මිදී එකී. සසර දුකින් මිදීම සොයායාමය. එය
උඩුගං බලා යාමයි. |