Print this Article


අනුන් නිසා දැවෙන සිත්

අනුන් නිසා දැවෙන සිත්

සාර්ථක ජීවිතයක් බලාපොරොත්තු වන්නේ නම් ඔබ ඔබේ සිත ගැන වඩාත් හොඳීන් තේරුම් ගතයුතු බව බුදුදහමේ ඉගැන්වෙන වැදගත් උපදේශයකි. ඔබේ සිත ගැන ඔබ නොදන්නේ නම් ඔබ නිවැරදිව සිතන්නෙක් නොවේ. එපමණක් නොව ඔබ අසහනකාරයෙකි. ජීවිතයේ පරාජිතයෙකි. කුමක් නිසාද යත් ඔබගේ ජීවිතය නමැති යන්ත්‍රය නිසි පරිදි සක්‍රිය කරවන සිත නමැති ඇන්ජිම අබලන් වී ඇති හෙයිනි.

තථාගත දේශනාවේ සිත සහ සතුට, සැනසිල්ල, ආස්වාදය සම්බන්ධ විවිධ ඉගැන්වීම් ඇත. එය අනෙක් සියලු ආගම් හා දර්ශනවල ඉගැන්වීම්වලට වඩා අතිශය විචිත්‍ර හා ගැඹුරු වූවක් වේ. එබැවින් ඔබ කවර වෘත්තියක නිරත වුවද තම සිත පිළිබඳ ගැඹුරු විඥානයක් සහිතව ජීවත් වන්න පුරුදු වන්න. අපගේ සිත වනසන්නට අසීමිත ආශාව, රාගය, ලෝභකම, ද්වේෂය, කේන්තිය, පළිගැනීම, කුහකකම, මෝඩකම, අමතකවීම්, වැරැදීම්, නින්දා හා අපහාස ආදී අනේකවිධ දේවල් ලෝකයේ ඇත. එහෙත් සිත සනසන්නට ඇත්තේ කරුණු දෙකකි. එනම් අවබෝධය හා භාවිතයයි. වෙනත් විධියකින් කිවහොත් තම සිත දූෂණය විය හැකි අයුරු තේරුම් ගැනීම හා එසේ නොවන තත්ත්වයෙන් මනස පවත්වාගෙන යාමට කළයුතු දේ පුරුදු පුහුණු කිරීමයි. සිත දොම්නසට පත් කරවන කරුණු අතරින් අනුන් නිසා දැවෙන සිත් ද ලෝකයේ ඇත.

ඔබ කිසිවෙකුට කිසිදු අයහපතක් නොකළත් ඔබට අවඥා කරන නින්දා කරන සහ ගරහන පුද්ගලයන් සිටිය හැකිය. එවිට ඔබගේ මනස ඔබට නොයෙක් යෝජනා ගෙන එනු ඇත. නින්දා කරන පුද්ගලයා සොයා ගොස් ඔබගේ නිරවද්‍යභාවය තහවුරු කිරීමට වරෙක සිතෙනු ඇත. තවත් විටෙක ඔහුට ද නින්දා කිරීමට සිතෙනු ඇත. පහර දී හෝ බිය වද්දා හෝ ඔහු දුර්මුඛ කිරීමට සිතෙනු ඇත. ඔහුගේ ද චරිත ඝාතනය කොට තම සිත සනසා ගැනීමට සිතෙනු ඇත. එසේත් නැත්නම් පහර දී හෝ බිය වද්දා හෝ එබඳු වෙනත් සාහසික ක්‍රමයකින් ඔහු දුර්මුඛ කිරීමට සිතෙනු ඇත. තමාට නින්දා අපහාස කරන පුද්ගලයන් මෙල්ල කිරීම සඳහා මෙබඳු අනේකවිධ දේ ලෝකයේ සැමදා පැවතුණි. එදා මෙන්ම අද දවසේ ද කරනු ලබන එබඳු ප්‍රතිචාරවල වෙනස වන්නේ මෙකල විවිධ තාක්ෂණික උපායයන් ද යොදා ගැනීමයි. නින්දා අපහාස කරන්නා යනු අන් කිසිවෙක් නොව දූෂිත මනසක් හිමිකරුවෙකි. ඔහුගේ කර්මාන්ත ශාලාවේ අරමුණ හා අභිලාෂය දූෂිත මනසක් සහිත පුද්ගලයන් නිෂ්පාදනය කිරීමය. එබැවින් මෙබඳු පුද්ගලයන් හා ගනුදෙනු කිරීමේ දී ඔබ වඩාත් බුද්ධිමත් විය යුතුය.

කුමක් නිසා ද යත් ඔබගේ මෙලොව මෙන්ම පරලොව ජීවිතයේ සාර්ථකත්වයට අකුල් හෙළන්නා ඔබ ඉදිරියේ හැසිරෙන නිසාය. ඔහුගේ හැසිරීම් රටාව ගැන සැලකිල්ලෙන් සිටින්න. එහෙත් එම හැසිරීම්වලට සමානරූපී ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න. අනුන් නිසා දැවෙන සිතක් ඔබටත් ඇත්නම් ඔබ ඔබගෙන් ප්‍රශ්න පිළිතුර වටහා ගැනීමට උත්සාහ කළ යුතුය. තම සිත අයිති කාටද? එය තමාටම අයිති නම් වෙන කෙනෙකුට එම සිත පාලනය කිරීමට දෙන්නේ කුමක් නිසාද? ඔබ ශාරීරික වශයෙන් කෙතරම් ජවසම්පන්න කෙනෙකු වුවත් මනසින් දුර්වලයෙකු බව වෙනත් කෙනෙකුට තේරුම් ගැනීමට ඉඩ නො තැබිය යුතුය. කුමක් නිසාද යත් ඔබ වැනසිය හැකි ඔබගේ දුර්වල ස්ථානය මනස බව ඔහු හෝ ඇය තේරුම් ගන්නා හෙයිනි. බුදුදහමෙහි උපදෙස් දී ඇත්තේ එක් පුද්ගලයෙකු නොව පිරිසක් පැමිණ ඔබට නින්දා අපහාස කළ ද පර්වතයක් මෙන් නො සැළී සිටින ලෙසය. යුද්ධ භූමියේ දී ඊතල පහර කමින් සිටින ඇතෙකු මෙන් සිටින ලෙසය. එය තමා පිළිබඳව තේරුම් ගෙන සිතේ සැනසිල්ල ඇති කර ගැනීමේ පදනමයි. ඇතැම් පුද්ගලයෝ යමක් තමාට කෙලින්ම නොකියන නමුත් එය ඔබට දැන්වීම සඳහා තැන් තැන්වල අනුන් සමඟ යම් යම් දේ ඔබ ගැන කියනු ඇත. එබඳු අවස්ථාවල ඔබ ඇඟවිය යුත්තේ සතුටු සිතින් සහ උපේක්ෂා සහගතව සහ අනුකම්පා සහගතව ඔබ ඒ දෙස බලන බවය.

කිසි විටෙකත් ඔබ එයින් වික්ෂිප්ත වී ඇති බව නො පෙන්වන්න. කුමක් නිසාද යත් ඔබ එබඳු කරුණු ගැන සංවේදී සහ කම්පාවට පත්වන දුර්වල සිත් ඇත්තෙකු බව ඇඟවුවහොත් ඔවුහු ඔබගේ දුර්වලත්වය සමඟ සෙල්ලම් කිරීමට පැමිණෙන නිසාය. බුදුදහමෙහි සතුරාට ද මෛත්‍රී සිත පැතිරවිය යුතු බව උගන්වා ඇත්තේ එයින් ඔබට බොහෝ යහපත් ප්‍රතිඵල ලැබෙන නිසාය. විමානවත්ථු නම් ග්‍රන්ථයේ එබඳු පුද්ගලයන් දෙව්ලොව ඉපිද සැප විඳීන අයුරු පැහැදිලිවම දක්වා ඇත. අනෙක් අතින් නිර්දෝෂී මිනිසුන්ට නිකරුණේ අපහාස කරන පුද්ගලයන් උපනුපන් ආත්මවල ඊටත් වඩා බරපතල නින්දා අපහාස ලබන බවත් දුර්වර්ණව උපදින බව හා මරණින් පසු අපායෙහි උපදින බව බුදු ඇසින් දුටු කරුණකි. මෙම කරුණු සිහිපත් කිරීමෙන් ඔබට නින්දා කරන්නා යනු ඔබට ඔබගේ සිත පාලනය කිරීමට මඟ පෙන්වනනෙකි. අනුන් නිසා නො දැවෙන සිතක් ඇති කර ගැනීම ජීවිතයක වැදගත් කරුණකි. ඔබට අපහාස කරනුයේ ඇතැම් විටෙක ඔබගේ සැමියා හෝ බිරිඳ විය හැකිය. නො එසේ නම් නැන්දම්මා හෝ ලේලිය විය හැකිය. හිතවතෙකු හෝ මිතුරෙකු විය හැකිය. ඒ කවරෙකු වුවත් ඔවුන් සමඟ ගනුදෙනු කිරීම සඳහා ඔබ යොදාගන්නා සිත ඔබගේය. එය තමාට අවශ්‍ය පරිදි සකසා ගැනීම හෝ කලමනාකරණය කිරීම ඔබ සතු වගකීමකි. ආගමක් ධර්මයක් ඔබට අවශ්‍ය වන්නේ මෙබඳු අවස්ථාවල ඔබ කළයුතු දේ තීරණය කිරීමටය. ලෝකයේ ජීවත්වීම යනු දිනෙන් දින ශක්තිමත් වන අධර්මයේ බලයට මුහුණ දීමකි. එහෙත් ලෝකයේ ස්වභාව ධර්මය බද්ධ වන්නේ ධර්ම ශක්තිය සමඟය.

කවර මොහොතක හෝ ධර්ම නියාමය මගින් ඔබට යුක්තිය පසිඳලනු ඇත. එනම් ඔබගේ නිවැරැදි බව සහ ඔබට ලැබිය යුතු දෙය ඔබට ලබා දෙනු ඇත. උඩට විසිකළ දූවිලි යළි විසි කළ තැනැත්තා කරා එන්නාක් මෙන් සියලු දුර්විපාක ඔබට හානි කරන්නා වෙතම පැමිණීම නියතය. බුදුන් වහන්සේ වදාළේ අනුන් ගුණ වනසමින් සිටින පුද්ගලයන් ලෝකයේ ඇති බවය. ඔවුහු මුඛයෙහි කෙටේරියක් ඇතිව උපන්නෝය. නිර්දෝෂී පුද්ගලයන්ට නින්දා ගැරහුම් කරන එබඳු පුද්ගලයෝ මුඛය නිසා විශාල පව් රැස් කරගන්නා අතර කිසි දිනක සතුටක් නො ලබන්නනෝ වෙති. එපමණක් නොව ඔවුහු නිරයෙහි නො ගැනිය හැකි තරම් දීර්ඝ කාලයක් පැසෙති. එම නිසා ඔහු ලබන පරාජය දූකෙළි ආදියෙන් ලබන පරාජයට වඩා සිය දහස් ගුණයකින් වැඩි බරපතල පරාජයකි. අනුන්ගේ දොස් සොයමින් පරිභාස කරමින් හැසිරෙන මොවුන් කවරාකාරයේ හෝ ලාභයක් පතන අයයි. එපමණක් නොව ධර්මානුකූලව සැලකූ විට මොවුහු තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධා නැත්තෝය. මසුරු මිනිසුන්ය. අකීකරු අයය. කේළාම් කාරයෝය.

ඔබගේ සිත ධර්මය ගැන සිතීමෙන් ආරක්ෂා කර ගත හැකිය. ඔබගේ සිත කෙලෙස් දාහයෙන් දැවේ නම් ඔබගේ ශරීරයේ අශුභ බව සිහි කරන්න. අශුචියෙන් පිරුණු කළයක් මතුපිටින් සරසා ඇත්තාක් මෙන් මේ සිරුර ද මසින් නිමැවුම් කර ඇත. එය ඔබේ සිත කෙතරම් වංචාවකට භාජනය කර ඇද්ද? බුදුදහම ගැන සිතූ දාර්ශනිකයන්ට වැටහී ගියේ මේ ලෝකය ස්වප්න (සිහින) මාත්‍රයක් බවය. එබඳු ලොවක කුමකට වැළපෙමු ද? අනෙක් අතින් අප ඉදිරියේ ඇති අරමුණ නම් ජීවිතය ජය ගැනීමය. ඔබගේ සිත පාලනය කරන්නේ අනෙකෙක් නම් ඔබ කවරෙක්ද? එබැවින් සිතන්න. නැවත නැවතත් සිතන්න. ඔබ අතින් පවක් හෝ වරදක් සිදු වී ඇත්නම් ඒ ගැන යළි යළිත් නො සිතන්න. නැවත නැවතත් පව ආවර්ජනය කිරීමෙන් ඔබට ලැබෙන යහපතක් නැත. එසේ නො සිතීමෙන් ඔබට ලැබෙන ලාභය වැඩිය. සිත යනු හොඳ සහ නරක යන දෙකම සමඟ නිබඳවම ගනුදෙනු කරන්නකි.

අනුන්ගේ දුක් වේදනා තමන්ගේ දුක් වේදනා සේ සැලකීම යහපත් ගුණාංගයකි. එහෙත් අනුන්ගේ වේදනාව තමන්ගේ කර තමන් දුකෙන් දොම්නසින් සහ අධෛර්යමත් වී තම ජීවිතය ද දුකට යාකරන අය ද අප අතර ඇත. ඔවුන් උසස් ගුණැති මිනිසුන් යැයි අප කියන්නේ නම් එය නිවැරදි කියමනක් නොවේ. එය මනසේ නොදියුණු බව නිසා අත්වන ඉරණමකි. වණ්ණුපථ ජාතකයේ සඳහන් වන පරිදි සිය ගණනක් ගැල්කරුවන් විපතට පත් වූ විට බෝසතාණන් වහන්සේ කම්පාවට පත්වූහ. එහෙත් ඔවුන් සමඟ දුක බෙදා ගැනීමට එකතු නොවී ඔවුන් ගළවා ගැනීමේ මඟක් සොයා වැලි කතරේ බිම කැණ ජලය සොයා ඔවුන් සැනසූහ. මේ නිසා දුකට පත් වූ ඔබේ මව, පියා, සැමියා, දරුවා හෝ අසල්වැසියා කෙරෙහි ඔබ කම්පා විය යුත්තේ ඔවුනට යහපතක් කිරීමට ඇති කරගත් උත්තේජනයක් වශයෙන් පමණකි. ලෝකයේ බොහෝ අය තුළ දැවෙන සිත් පවතින්නේ ප්‍රේමය හා ආදරය මුල් කරගෙනය. බුදුදහම අනුව ප්‍රේමය හා ආදරය යනු කැමැත්ත (ඡන්ද) එය අධික වීමෙන් ඇතිවන රාගය නිසා ඇතිවන බැඳීමයි. මෙය වරෙක සුන්දරය, වරෙක අසුන්දරය. එය සුන්දර වන්නේ දෙදෙනාගේම අධ්‍යාත්මික එකමුතුව නිසාය. එය මානසික ආදරය යනුවෙන් නම් කරමු. එය අසුන්දර වන්නේ කායික ආදරයක් වීම නිසාය. එබැවින් කායික ආදරය මුදුන් පමුණුවාගෙන කටයුතු නො කරන්න. එය ඔබට හිමි කර දෙන්නේ ශෝකය හා බිය පමණකි. (පෙමතො ජායතී සොකො). යම් හෙයකින් ඔබට යමෙකුගේ සිත් රිදවන ආදරයක් හිමි වන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ එකී දුර්ගුණය පදනම් කෙට ධර්මානුකූලව සිතන්න. උපේක්ෂාශීලී වන්න. එවිට දිනෙන් දින ඔබට යථාර්ථය වැටහෙනු ඇත. කර්මය ධර්මය හා පිළියම ගැන සිතා පාලනය කරගත් මනස ඔබට සැනසීම ලබා දෙනු ඇත.

4 ඉහත කී කරුණු යථාර්ථයක් වශයෙන් කළ හැකිද? ඔබේ සිත ඔබගෙන් අසනු ඇත. දිනපතා ස්නානය කිරීමෙන්, සේදීමෙන්, සුවඳ විලවුන් ගැල්වීමෙන් ඔබගේ සිරුරට නැවුම් බවක් හා ප්‍රසන්න බවක් ලැබෙන බව ඔබ අත්දැකීමෙන් දන්නා කරුණකි. එහෙත් ඔබ ඔබගේ මනස නැවුම් හා ප්‍රසන්න බවට පත් කිරීම සඳහා දෛනිකව කරන දේ කුමක්ද? ඔබ ඒ සඳහා කිසිවක්ම නො කරන්නෙක් නම් සිතේ රැදෙන දහසක් දැලි කුණු සේදීමට කළයුතු දේ ගැන සිතන්න. මනස තමාට අවශ්‍ය පරිදි තබා ගැනීම, එය පාලනය කිරීම, එයට රැකවරණය සැපයීම හා එය නිසි මාවතෙහි ගෙනයාම සඳහා රියැදුරෙකු මෙන් කටයුතු කරන්න. වෙනත් විධියකින් කිවහොත් කේන්තිය, වෛරය, පළිගැනීම, නින්දා අපහාස ආදියේ දී ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් සිත නො දවා ගන්නා ආකාරය දිනපතා පුහුණු කරන්න. දින කිහිපයකින් පසු එයින් ඔබට ලැබෙන ප්‍රතිලාභ ප්‍රත්‍යක්ෂ කරගත හැකිය. තමාගේ සතුට, විවේකී බව, නිරෝගී බව, සම පැහැපත් වීම, ප්‍රසන්න බව හා ජනප්‍රිය බව ආදී නොයෙක් ප්‍රතිලාභ දිනෙන් දින වැඩි වන ආකාරය ඔබට දැනෙනු ඇත. දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝගවලට ඔබ ගන්නා ප්‍රතිකාරවල ගුණ ඉක්මනින් ඔබට ලැබෙනු නියතය. ඔබ වාසය කරන නිවස, ඔබ සේවය කරන සේවා ස්ථානය, ඔබ කරන කාර්යය විධිමත් හා සුන්දර වීමේ රහස ඔබගේ සිත සොඳුරු ලෙස තබා ගැනීම හා බුද්ධිමත්ව එය කාර්යයෙහි යෙදවීමයි. ඒ සඳහා බුදුදහමේ උගන්වන මග ලෝකයේ ආගම් භේදයකින් තොරව වර්තමානය වන විට භාවිතයට ගනිමින් සිටී.