Print this Article


දානය කල්ප වෘක්ෂයකි

දානය කල්ප වෘක්ෂයකි

පුණ්‍යකර්ම හා කුසලකර්ම අතර වෙනසක් ඇතැයි කෙනෙක් කියති. තවත් කෙනෙක් නැතැයි කියති. එහෙත් මේ අතර වෙනසක් ඇති බව තහවුරු කරන්නට ප්‍රමාණවත් කරුණු ඇත.

පුණ්‍යකර්ම කරන්නට දෙපාර්ශ්වයක් සිටිය යුතුය. උදාහරණයක් හැටියට දානය ගතහොත් ඒ සඳහා දායක පාර්ශ්වයක් හා ප්‍රතිග්‍රාහක පාර්ශ්වයක් සිටිය යුතුමය. දානයක් දීමට නම් ලබන්නෙක් සිටිය යුතුමය. යමක් ඉවත් කළාට හෝ අත්හැර දැම්මාට එය දානයක් වන්නේ නැත. එහෙත් සීලයත් භාවනාවත් පුද්ගලයෙකුට තවත් පාර්ශ්වයක සහභාගිත්වයකින් තොරව ප්‍රගුණ කළ හැකි ක්‍රියාකාරකම්ය. උදාහරණයක් හැටියට විදර්ශනා භාවනාව නම් වූ ත්‍රිලක්ෂණය වැඩීම කළ යුත්තේ තනිවය.

සීලයත් එසේමය. සීලයේ චාරිත්‍ර පක්ෂය වර්ධනය කර ගන්නට යම් තරමකට අනුන්ගේ යහපත ගැන සැලකිළිමත් වියයුතු වුවත් වාරිත්‍ර සීලය හෙවත් වැරදි කිරීමෙන් වැළකීම පෞද්ගලිකව ම කළ යුත්තකි. ඒ අනුව සීලය හා භාවනාව වඩාත් කුසලකර්ම ගණයට වැටේ. දානය පුණ්‍යකර්මයක් සේ ම කුසලකර්මයක් ද වන බවත් පෙනේ. සංසාර දුකින් නිදහස් වීම, විමුක්තිය හෙවත් නිර්වාණය අත්දැකිය හැක්කේ කුසල් වැඩිදියුණු කිරීමෙනි.

දානයක් යනුවෙන් වර්තමානයේ බොහෝ දෙනෙක් අදහස් කරන්නේ භික්ෂූන් වහන්සේලාට ආහාරපාන පූජා කිරීමය. එහෙත් දානයක් යනු ඉන් ඔබ්බට ගිය ආචාර ධර්මයකි. ඒ බව දානපාරමී, දානඋපපාරමී හා දානපරමත්ථපාරමී වශයෙන් දානය පාරමිතාවක් හැටියට කෙතෙක් දුරට ප්‍රගුණ කළ යුතුදැයි පෙනේ. දානයේ ප්‍රාථමික අදියර වන්නේ උපභෝග පරිභෝග වස්තු පරිත්‍යාග කිරීමයි. ආමිෂ දානය හැටියට ද මෙය හැඳීන්විය හැකිය. වර්තමාන බොහොමයක් දාන මීට අයත් වෙයි. දාන චේතනාව වර්ධනය කළ යුත්තකි. එසේ වර්ධනය වීමත් සමග දිය හැකි ප්‍රමාණය හා දිය හැකි දේ ක්‍රමයෙන් ඉහළ යනු ඇත. අවසානයේ දන් දිය නොහැක්කක් නැති තරමට දාන චේතනාව වර්ධනය වීමෙන් ලෝභය අහෝසි වී යනු ඇත. මමත්වය තුනී වනු යනු ඇත.

නිර්වාණය යනු කුමක්දැයි හැඳීන්වීමට බුදුන් වහන්සේ ප්‍රකාශ කර ඇති වගන්තියකට අනුව නිවන යනු අනෙකක් නොව රාගය, ද්වේශය හා මෝහය නැති කිරීමය. මේ අනුව රාගය හෙවත් ආශාව නැති කිරීමේ නිර්වාණගාමී ප්‍රතිපදාවේ මූලික අදියර හැටියට දානය සැලකිය හැකිය. දන්දීම හා මුදල් අතර අවියෝජනීය සම්බන්ධයක් ඇතැයි බොහෝ දෙනෙක් සිතන බව ඔවුන්ගේ කථා බහෙන් පෙනී යයි. වැඩි වැඩියෙන් මුදල් ලබා ගැනීමේ අරමුණෙන් දන් දෙන්නවුන් මෙන් ම මුදල් නැතිව දන් දිය නොහැකි යයි සිතන්නෝ ද වෙති.

අප ජීවත් වන ලෝකයේ සෑම භෞතික සම්පතක ම පාහේ වටිනාකමක් ඇත. මිනිස් ශ්‍රමය, කාලය, දැනුම යන මේ සියල්ලක ම වටිනාකම මිල කළ නොහැකි තරම්ය. බොහෝ පින්කම් මුදල් වියදම් නොකර කළ හැකිය. එහෙත් ඒ ගැන සවිඤ්ඤාණක වූවෝ ස්වල්ප දෙනෙකි. සාම්ප්‍රදායික ලැයිස්තුවේ එන සාංඝික දාන, කඨින පින්කම්, වෙහෙර විහාර තැනවීම් දන්සැල් දීම් කාගේත් අවධානයට යොමු වූ පින්කම්ය. එහෙත් වරක් බුදුන් වහන්සේ වදාළ පරිදි දිය බිඳුවලින් ද කළයක් පිරවිය හැක්කා සේ පුංචි පින්කම් කිරිමෙන් ද පිනෙන් පොහොසත් විය හැකිය.

උදාහරණයක් හැටියට සංඝික දානයක් ගතහොත් එහි පින්කම වන්නේ ඉමං භික්ඛං භික්ඛු-සංඝස්ස දෙම කියා සංඝයා වහන්සේට ආහාර පූජා කිරීම පමණක් නොවේ. එබඳු පින්කමකදී ආහාර පිසීම, පාවඩ එලීම, වියන් බැඳීම, ආසන පැනවීම, සාධුකාර දීම, භාජන සේදීම ආදී කොට ඇති සෑම දෙයක් ම පින්කම්ය. මේවා කරන්නට මුදල් වියදම් නොවේ. අවශ්‍ය වන්නේ කාලය හා ශ්‍රමයයි. යමෙක් තමන්ගේ කාලය හෝ ශ්‍රමය කැප කරන්නේ නම් එය පරිත්‍යාගයකි. දන් දීමකි. බුද්ධදේශනාව අනුව උතුම්ම දානය වන්නේ ධර්ම දානයයි. මේ ගැන අසා ඇති බොහෝ දෙනෙක් බණ කියවන්නට ලොකු උනන්දුවක් දක්වති. ඇතැමෙක් සිතන්නේ ධර්ම දානය යනු ධර්මදේශකයන් වහන්සේට මගවියදම් දීම, පිරිකර මිලදී ගැනීම, පිරිකරට අතගසා සම්මාදම් වීම, බණ පොත් මුද්‍රණය කරවීම වැනි දෑ පමණක් ධර්මදානය හැටියටයි. මෙසේ සිතන ඇතැමෙක් ධර්මදානයට අපට සල්ලි නැතැයි කියා පසු බසිති.

ධර්මදේශනාවක් කරවා ගැනීමේදී හෝ පොතක් මුද්‍රණය කරවීමේදී යම් මුදලක් වියදම් වන නමුත් හැම දෙයක් ම මුදල් නොවේ. ධර්මශාලාවක් තැනවීමට ශ්‍රමය කැප කිරීම, ධර්ම දේශනා අවස්ථාවක ධර්මශාලාව පිරිසුදු කිරීම, ධර්මාසනය පැනවීම, බණ අසන්නට පැමිණෙන අයට උපකාර කිරීම, සාධුකාර දීම ආදී කටයුතු ද ධර්මදානය සඳහා කරන කැප කිරීම්ය. ඒවායින් ද ධර්මදානමය පින උපදවා ගත හැකිය. මෙලොව හැම කෙනෙක් ම කිසියම් හැකියාවක් හෝ සම්පතක් උරුම කොට ගෙන ඇත. එසේ තමන් සන්තක දේ අනුන් වෙනුවෙන් කැප කිරීමෙන් එකී හැකියාව හෝ සම්පත දාන වස්තුවක් බවට පත් කර ගත හැකිය. දැන උගත්කම් ඇති අයට තම දැනුම අන් අයගේ අභිවෘද්ධිය සඳහා කැප කිරීමට පුඵවන. තමන්ගේ දැනුම විකුණා උපයා ගත් මුදල් වියදම් කිරීමෙන් ම දන් දිය යුතු නැත. ඇතැමෙකුට අතිරික්ත කාලය ඇත. ඒ කාලය අනුන් වෙනුවෙන් වැය කිරීමට හැකි නම් එය හොඳ දානයකි. යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං... ආදී වශයෙන් සඳහන් වන බුද්ධ දේශනාවක් ඇත. එයින් කියවෙන්නේ දන් දුන් දේට සමාන දෙයක් ආනිසංශය හැටියට ලැබෙන බවයි. කෙනෙකුට අවශ්‍ය දෑ බොහෝය.

ආහාරපාන, ඇඳුම් පැළඳුම්, නිවාස පමණක් නොව තවත් බොහෝ දෑ අවශ්‍යය. ඉහත කී බුදුබණට අනුව යමක් තමන්ට අවශ්‍ය යයි කියා සිතන්නේ නම් ඒ දේ දන් දීම සුදුසුය. අද සමාජයේ හැම කෙනෙකුට ම ආරක්ෂාව අවශ්‍යය. හැකියාවක් තිබේ නම් අවශ්‍ය කෙනෙකුට රැකවරණ සලසා දීම, තමන් සුරක්ෂිත වන්නට හේතුවකි. ආරක්ෂාව සැලසීම ද දීමකි, නැත්නම් දානයකි. සමාජයේ බොහෝ දෙනෙක් විවිධ හේතු මත දුකෙන් කනගාටුවෙන් සිටිති. ඔවුන්ට භෞතික සම්පත්වලින් අඩුවක් නැතත් මානසික සතුටක් නැත. තමන්ට ද සතුට අවශ්‍යය.

සතුටක් ලැබිය හැක්කේ සතුටක් දී ඇත්නම් පමණි. ඒ අනුව තමන්ගේ ජීවිතය අවුල් කර ගන්නේ නැතිව සුදුසු හැසිරීමෙන් හා වචනයෙන් තව කෙනෙක් සතුටට පත් කිරීම දානයකි. සැකෙවින් කිව යුත්තේ තමන්ට අවශ්‍ය කුමක්ද, ඒ දේ දන්දීම පරිත්‍යාගයක් වන බවයි. ඒ අතරම තමන් දුක් වේදනාවන්ට වධ බන්ධනයන්ට කරදරවලට අකැමැති නම් ඒ දේ නොදිය යුතුය. මක්නිසාද යත් දුක්දීම, වධදීම, කරදරදීම, ගින්දර දීම ද කළ හැකි බැවිනි. බුද්ධදේශනාව අනුව ගස්කොළන් සිටුවීම පවා මහ පින්කම්ය. ගසක් සිටුවීම මහපිනක් වන්නේ කෙසේදැයි කෙනෙකුට ප්‍රශ්නයක් විය හැකිය. ගසක් යනු සත්ව සංහතියේම පැවැත්මට ආධාර වන්නකි.

ගසකින් ලැබෙන්නේ ගෙඩි, කොළ, මල්, සෙවන පමණක් නොවේ. ජීවලෝකයට හුස්ම ගැනීමට අවශ්‍ය පිරිසුදු වාතය, බීමට අවශ්‍ය මහපොළොවේ ජලය ආරක්ෂා කර දෙන්නේ ගස්කොලන් විසිනි. ඒ අනුව ගසක් සිටුවීම යනු ජීවත් වීමට අත්‍යවශ්‍ය පරිසරය රැක දීමකි. ගසක් සිටුවීම ලෝකයට ජීවය දීමක් බඳුය. එබඳු මහානිශංසදායක ගසක් සිටුවීමේ දානමය පුන්‍යකර්මයට මුදල් වියදම් නොවේ. දානය යනු භික්ෂූන් වහන්සේලා හා වෙහෙර විහාරස්ථාන සඳහා කරන පරිත්‍යාගයන්ය යන අදහස සමාජගත වන්නට එක් හේතුවක් වන්නට ඇත්තේ බුද්ධදේශනා මගින් භික්ෂූ භික්ෂුණීන්ට දන්දීම මහානිසංශදායක පින්කමක් හැටියට අවධාරණය කර තිබීම විය හැකිය. භික්ෂූන් වහන්සේලා උදෙසා දන්දීමට පොළඹවන සුඵ බොහොමයක් බුද්ධදේශනා සැබවින් ම බුදුන් වහන්සේ විසින් ම දේශනා කරන ලදදැයි පවා කෙනෙකුට සැක සිතෙන්නට පිළිවන. මේවා පසුකාලීනව භික්ෂූන් වහන්සේලා විසින් ප්‍රබන්ධ කර ත්‍රිපිටකයට එකතු කරන්නට ඇතැයි කෙනෙකුට සැක ඇතිවීමට ද බැරි නැත. එහෙත් භික්ෂූන් උදෙසා දන්දීමට පොළඹවන මෙකී දේශනාවන්හි පදනම විමසා බලන විට ඒ සැකය දුරුවේ. බුදුන් වහන්සේ වදාළේ සිල්වත් ගුණවත් උතුමන් පෝෂණය කිරීම මහානිශංසදායක බවයි.

එකල එබඳු ගුණ ඇත්තවුන් හැටියට භික්ෂූන් වහන්සේලා නිර්දේශ කරන්නට කිසිදු බාධාවක් හෝ අඩුලුහුඬුකමක් දක්නට නොතිබිණ. දානයක ආනිශංසය වැඩි වීමට ප්‍රතිග්‍රාහකයාගේ හෙවත් දානය හෝ පරිත්‍යාගය ලබන්නාගේ වටිනාකම අතිශයින් බලපායි. ඒ බව දක්ඛිණාවිභංග සූත්‍රයේ විස්තරාත්මකව පෙන්වා දී ඇත. දානය පිළිගන්නා තැනැත්තාගේ සිල්වත් ගුණවත් බව වැඩිවන තරමට දායකයාට ලැබෙන ආනිශංසය ද වැඩිය. ඊට පදනම වන්නේ ගුණවතුන් පෝෂණය කිරීමෙන් දායකයා ද වක්‍රව අදාළ ගුණවන්තයාගෙන් සිදුවන සේවයට දායක වූවා වීමයි. එමෙන් ම දුප්පත් යයි කියා පස්පව් දස අකුසල් කරන්නෙකු පෝෂණය කරන්නේ වෙයි නම් ඔහුගෙන් සිදුවන සමාජ හානියට ද දායකයාගේ සම්බන්ධය ප්‍රතික්ෂේප කළ නොහැකිය.

මේ අනුව දන් ලබන්නට සුදුසුකම වන්නේ දුප්පත්කම නොව ගුණවත්කම බව අවධාරණය කළ හැකිය. දන් දීමේදී තමන් දෙන දේ හා ඒ දේ ලබන්නාගේ චර්යාව ගැන සැලකිළිමත් විය යුතුය. කෙනෙක් ඉතා ශ්‍රද්ධාවෙන් හෝ අනුකම්පාවෙන් කරන පරිත්‍යාගයක් ජනසමාජයේ පැවැත්මට හානිකර නම් එය සුදුසු පරිත්‍යාගයක් විය නොහැක. මෙකල බොහොමයක් බස්රථවල, බස්නැවතුම්පලවල හා සංඥා එළි සහිත මංසන්ධිවලත් තුවාල හෝ ළදරුවන් පෙන්වමින් සිඟමන් යදිනු දැකිය හැක. එසේ යදින විට නොදී සිටීමෙන් තමන් කරන්නේ වරදකැයි කියා හෝ නොතකා හැරීම පාපයකැයි කියා කෙනෙකුට සිතෙන්නට පුඵවන.

එහෙත් මෙසේ හිඟමන් යදින්නවුන් බහුතරයකගේ කල්කිරියාව ඉතාම පහත් බව ප්‍රකට කරුණකි. ඔවුන්ට එකී යාචක දිවියෙන් ගොඩ එන්නට වුවමනාවක් නැත. ඔවුන්ට ලැබෙන මුදල් ද වැය කරන්නේ මත්කුඩු, මත්වතුර සඳහාය. අනෙක් අතට මොවුන්ගේ හිඟමන බොහෝ දෙනෙකුට හිංසාකාරීය. එබඳු වාතාවරණයක් මත ඉහත කී ස්ථානවලදී මුදල් පරිත්‍යාග කිරීම දිගින් දිගට ම ඔවුන් ඒ ස්ථානවල රඳවන්නටත් එකී වෘත්තියට උනන්දුවක් ඇති කරවන්නටත් හේතුවක් වන බව සමාජ විද්‍යාත්මක මතයයි. වෙසක්, පොසොන් කාලයට මෙන් ම කඨින පින්කම් පැවැත්වෙන සමයෙහි ද ගෙන් ගෙට ගොස් සම්මාදම් කරන්නවුන් බොහෝය. අප දන්නා ආකාරයට කඨින පින්කම ඉතා දුරබැහැර ගොස් විශාල වශයෙන් සම්මාදම් කළ යුත්තක් නොවේ. කඨිනයක් භාරගන්නේ හැකියාව ඇති කෙනෙකි. යමෙක් බොහෝ කොට සම්මාදම් කරයි නම් වඤ්චනික ක්‍රියාවක යෙදෙන බව සිතන්නට ඉඩ ඇත. වෙසක් සමයෙහි දන්සැල් සඳහා දිය යුතුයයි සිතන්නට ඉඩ ඇතත් විමසා බලා දීම කළ යුතුය. එසේ නොවුවහොත් තමන්ගේ මුදල් පරිත්‍යාගය දුරාචාරයට හෝ වඤ්චාවට දායකත්වය දීමක් විය හැකිය. නොදී සිටීමට වඩා නුසුදුසු දේට දීම හානිදායක විය හැකි බැවිනි. මේ පිළි බඳ විවිධ අදහස් සමාජයේ ඇත. අවසාන වශයෙන් කිව යුත්තේ දානය වුවත් විමසා බලා දිය යුතු බවයි.