බුදුපිළිමයේ උපත - 59:
බෞද්ධ බිතුසිතුවම් කලාවේ මුදුන් මල්කඩ
පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
ඉන්දියාවේ ලෙන් විහාර නිර්මාණය කිරීම ගැන අතීතය සොයා බලන විට එක විශේෂ කාරණයක්
මෙහිදී සඳහන් කළ යුතුව ඇත. එනම් පුරාණ ඉන්දියාවේ ලෙන් විහාර නිර්මාණයේ පැරැණිතම
කලාකරුවෝ බෞද්ධයෝ වෙති. මෙකල පවා ඉන්දියාවේ ලෙන් විහාර 1200 පමණ දැකිය හැකිය.මේ
ලෙන් විහාරවලින් 900 (නවසියයක්) පමණ පිහිටා තිබෙන්නේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේය. මේ
සියලුම ලෙන් හාරා නිර්මාණය කර තිබෙන්නේ ගල් කටුව සහ මිටිය වැනි පුරාණ ආයුධ වලිනි.
මේ මහා පර්වත ලෙන් බවට සෑදීම පමණක් නොව ඒ ලෙන් හාරාගෙන කපා ගෙන යන අතරේම ප්‍රතිමා,
බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා, අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමා සහ අනෙකුත්
ප්‍රතිමාද ලෙන් නිර්මාණය කිරීමත් සමඟම නිර්මාණය කර ඇත. මේ ලෙන් විහාර අතරේ ඉතා
ප්‍රකට ලෙන් විහාරයක් වන්නේ අජන්තා ලෙන් විහාර සංකීර්ණයයි.
ප්‍රධාන වශයෙන් පුරාණ ඉන්දියාවේ දක්නට ලැබෙන බෞද්ධ ලෙන් කොටස් දෙකකි.
1.චෛත්‍යය විහාර
2. විහාර ආරාම
චෛත්‍යය විහාර යනු වන්දනාමාන කිරීම සඳහා සාදන ලද ලෙන් විහාරය
විහාර ආරාම යනු භික්ෂූන් වහන්සේගේ වාසය සඳහා සාදන ලද ලෙන්ය.
අජන්තා ලෙන්වල ඇති කලා නිර්මාණ සංචාරකයන්ගේ සිත් ඇද බැඳ තබා ගැනීමට සමත්වී ඇත.
අජන්තා ගුහාවල ඇති (ලෙන්වල) කලා නිර්මාණ කොටස් තුනකි.
1.ගොඩනැගිලි නිර්මාණ (වාස්තු විද්‍යාත්මක නිර්මාණ)
2.මූර්ති
3.බිතුසිතුවම්
අජන්තා ලෙන් නිර්මාණය කිරීමේ කාර්යය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී ආරම්භ වී
ක්‍රිස්තු වර්ෂ හත්වන සියවස තෙක් ඉතා දීර්ඝ කාලයක් තුළදී සිදුවී ඇති බව මේ පිළිබඳ
විද්වතුන්ගේ මතය වන්නේය. (භාරත ලංකා බෞද්ධ උරුමය – සිරිසමන් විජේතුංග පි. 79-81
2006)
අජන්තා පුදබිමෙහි බිතුසිතුවම් සීගිරි බිතුසිතුවම් මෙන්ම ලොව ප්‍රකටයි. සීගිරියේ
බිතුසිතුවම් බුද්ධාගම හා සම්බන්ධ වූ චිත්‍ර ලෙසින් විද්වත්හු නොසළකති. එහෙත් අජන්තා
ලෙන්වල ඇති බිතුසිතුවම් මෙන්ම මුර්ති රාශියක් බුදුසමය හා සම්බන්ධවී ඇති බව
සියැසින්ම දැක ගැනීමට අපටද අවස්ථාව උදා වූයේ මීට අවුරදු 20 ඉහත (1997) ඉන්දු ලංකා
සංස්කෘතික ගිවිසුම යටතේ එහි සංචාරය කිරීම නිසාය.
එක් එක් ශතවර්ෂය තුළ අඳින ලද චිත්‍ර ලෙස වෙන්කොට දැක්වීම අපහසු වුවද වරින්වර අඳින
ලද බිතුසිතුවම් වලින් පෙනී යන්නේ අජන්තා වෙහි බිතුසිතුවම් ඇඳීමේ කාර්යය නොකඩවා
පවත්වාගෙන ආ සිරිතක් බවයි. ක්‍රමයෙන් මෙහි විහාර විශාල කිරීමට අලුත් ලෙන් සාදන ලද
බව පෙනේ. අජන්තා බෞද්ධ විහාර හදිසියේ විනාශයට පත්වූවක් බව පැහැදිලි ලෙස පෙනෙන්නේ
මෙසේ අරඹන ලද සමහර ගුහා සම්පූර්ණ කර නැති හෙයිනි. සමහර ගුහා නිර්මාණ සම්පූර්ණ
කිරීමට නොහැකිවී ඇති බව දක්නට ලැබේ. ඒ අනුව මෙම අජන්තා ලෙන්වල විනාශයද අනෙකුත්
බෞද්ධ විහාරවල විනාශය මෙන් සතුරු උවදුරු නිසා සිදුවූ බව දක්නට ලැබේ. (ආචාර්ය ආනන්ද
ගුරුගේ දඹදිව බෞද්ධ කලාව පි. 30-31 -1962)
අජන්තාවෙහි ඉතා ප්‍රසිද්ධියට පත්වු ඉතා ශ්‍රේෂ්ඨ බිතුසිතුවම් දක්නට ලැබෙන්නේ (19)
දහනව වැනි ගුහාවෙහි ඇති බිතුසිතුවම්ය. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයේ පිඬු සිඟා
වඩින ආකාරය පෙන්වන බිතුසිතුවම ඉතාමත් ප්‍රකටය. නෙළුම්මලක් මත වඩිනා බුදුරජාණන්
වහන්සේගේ හිසට ඉහළින් සේසතක් දරනුයේ අහසින් යන දෙවියෙකි. බුදුරජාණන් වහන්සේගේ වම්
පසින් ඈතින් මාලිගාවක සිට යශෝධරා දේවිය රාහුල කුමරුවන්ට පියාණන් හඳුන්වා
දෙන්නීය.අඩි 3 පමණ උස මේ බිතුසිතුවම් මෙහි විශාලම රූපය බුද්ධ රූපයයි.
ඒ හා සමකරන කල මාළිගයද යශෝධරා දේවිය හා රාහුල කුමරුවන්ද ඉතා කුඩා ලෙසින් සිතුවම් කර
තිබේ. චිත්‍ර ශිල්පයේදි ඈතින් ඇති වස්තූන් කුඩා කොට දැක්වීමෙන් ස්වභාවිකත්වය රැකීමට
ගත් උත්සාහයක් ලෙස ආචාර්ය ආනන්ද ගුරුගේ මහතා සඳහන් කරයි.
අජන්තා පුදබිමෙහි ප්‍රධාන වශයෙන්ම ක්‍රිස්තු වර්ෂය සහ 6 වන සියවස්වලට අයත්
බිතුසිතුවම් බුද්ධ චරිතය හා ජාතක කතා නිරූපණය සඳහා වෙන් කර ඇති බව ආචාර්ය මෝති
චන්ද්‍ර මහතා සඳහන් කරයි. මෙහි ඇති ලෙන් 30 (තිහෙන්) න් දහසයක පමණ බිතුසිතුවම්
දක්නට ලැබෙන්නේ අංක 1,2,16,17 හා 19 යන ලෙන්වලය.
මෙම ශාලාවෙහි පිටු පස බිත්තියේ බුදුරජාණන් වහන්සේගෙන් දායාද ඉල්ලීම සඳහා යශෝධරා
දේවිය රාහුල පුතු යවන ලද ආකාරය සිතුවම් කර ඇත.
බුද්ධ චරිතය මෙන්ම ජාතක කතා රැසක්ම බිතුසිතුවම් වලින් නිරූපණය කර ඇත.
|