Print this Article


පහන් සිතක කවි

ලොකු හාමුදුරුවෝ

අකුසල් දුරැර දන යොමු කළ විට පිනට
රැකුණා අපේ පන්සල ගරු සරු ලෙසට
දැකුමෙන් පවා දුන්නේ සිහිලකි නෙතට
ලොකු හාමුදුරුවෝ මිණි පහනකි ගමට

සඳවත සදිසි පිවිතුරු සොමියුරු ගුණය
මැද හත් බවින් රැකගෙන සිටියා විනය
සිඳ ලූ නිසා හද මැදුරේ අසහනය
ලද දේ පමණි සිත සුවපත් කළ ධනය

රුවට දිලෙන මිරිඟුව තුළ නොමැත දිය
අවට පෙනෙන දියුණුව දැක නිසල විය
ලොවට දැනෙන තරගය නැත සිතට සිය
ගමට තියෙන පැරැණිම ගේ ලැගුම් ගෙය

පවසක් දැනුන සතහට දිය බිඳ ලෙසට
සුවයක් යදින විට ඔසුවක් විය අපට
නිවසක් පිළිවෙළින් කුළුණින් යන කලට
වෙනසක් නැතුව වැඩියා දුප්පත් පැළට

ගත් තීරණ වැරැදි නැත යහපතම මිස
උත්තම මුනි දහම සුරැකී දුරැර දොස
අත්හළ සැපත පිළිබඳ නැත යොමනු ඇස
සෙත් පිරිතක් වගෙයි භාෂිත මිහිරි බස

හැමට එකම මෙත පතුරා ඇසුරු කර
සිතට නිවුණු සිතිවිලි ගෙන විනය ධර
අපට සුසැදි පින්කෙත වූ නමදු වර
ගමට දැනුනෙ නෑ ලද සිව්පසයෙ බර


අපරාජිත අම්මේ

වැනසෙන තුරුම ලෝකය තුළ පසිඳු වන
ඉවසන හදවතකි සැඟවුණ නිමල දන
සුරතල් වදන් උල්පත වෙයි සිහිල දෙන
මඳහස වුවද ගෙන දෙයි කිරි ගඟක ගුණ

දරු පෙම මිසක නොපතන අන් සැප කවර
කටුකයි අහෝ ඈ යන මේ දිවි කතර
ගෙරවුම් අපමණයි වැදුන තැන නිතර
එනමුත් ගලන සෙනෙහස වි නැහැ නතර

තුරුලිය අතර සුපිපෙන මල් උදයේම
වියැකෙයි සුවඳ මැලවෙයි එම සවසේම
ගනඳුර නිවා දිදුළන පුන් සඳ සේම
අපරාජිතයි අම්මේ ඔබෙ ගුණ පේම


උපහාරය

සොඳුරු පබසර පසන් සිරියෙන් පුබුදුවා වත නිරන්තරයෙ ම
අඳුරු මොහදුක් සසර බැඳ ඇති පළවමින් නිති දුරින් දුරට ම
විදුරු නැණ බල උරුම කරගෙන වෙසෙන හද බැඳි දනන් අතර ම
ඇඳුරු පඩි හිමියනේ නමදිමි චිරං ජයතු කියා නිතර ම

අමිල මෙත් කරුණා ගුණය හැම සතන් වෙත පතුරමින් හැමදින
නිමල දිවි පැවතුමෙන් සිරිතෙන් බුදු පුතෙකු විලසින්ම පැවතෙන
විමල සර තල්ගස්වැවේ මහ තෙරිදුණේ දිගු ආයු විඳිමින
කමල සුවඳින් සුවඳවත් වේවා ඔබේ දිවි ගමන දින දින

උතුරු මැද ප්‍රධාන අධිකරණ සංඝනායක තල්ගස්වැවේ විමලසාර පණ්ඩිත හිමියන් වෙ ත කෙරෙන උපහාරයයි.


මෙත් වඩමු

මිය ගියත්
යළි යළිත්
උපදිනව නම් බවේ
හතර රියනක් සැමට
හිමි වෙනවමයි ඉබේ
කුමට එකිනෙකා වෙත
ගැටුම් ගැරහුම් ලොවේ
සැමට මෙත පතුරවමු
නිවන් පුර දොර ඇරේ


වට්ටාරම තතු පැහැදී නමදිමු

තෙවරක් බුදුහු වැඩිය සිරිලක් රටට
මගගොස් රහත් බව ලැබූ මලියදෙව් හිමිට
ආරාමයක් වූ වට්ටාරම සැමගේ පිනට
අපි ගොස් වදිමු නිර්මල ඒ තෙරුවනට


භාවනාව

ආයුෂ වර්ණ සැප බල හා ප්‍රඥාව
වැඩි වර්ධනය වී දුරුවී තණ්හාව
ලැබගෙන යස ඉසුරු සමඟින් හිනාව
භාවනා කරන්න සැමදා හුදෙකලාව


මම වැඳ වැටෙමි අවුකන බුදු පිළිමෙ ළඟ

අඩවන් වූ දෙනෙත මිහිකත දෙස අරවා
බොදු සිත් අවදිකර කෙලෙසුන් දුරු කරවා
සම්බුදු රැසින් මුළු පරිසරයම නහවා
අවුකන පිළිම සමිඳුන් සම්බුදු භගවා

තුන්ලෝ සතට බෙදමින් දම් අමා ගඟ
දුක් ගිනි නිවාලා හෙළි කළ නිවන් මඟ
ලෝක විදු බුදු සමිඳුනි තිලොව අග
මම වැඳ වැටෙමි අවුකන බුදු පිළිමෙ ළඟ