මුල වරදා
අග නිවැරැදි කිරීම
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ,
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
අත්තනායක එම්. හේරත්
බරණැස් නුවර සාම නම් රජුට ‘පාණ්ඩව‘ නමින් අශ්වයෙක් සිටියා. බොහොම ශක්ති සම්පන්නයි.
දැකීමට පි‍්‍රයයි. පාණ්ඩවගේ ආවතේවකරු, ගිරිදත්ත නම් අස්සලයෙක්. එක් පයක් කොර වූ ඔහු
පය තැබුවේද කොර ගසමින්. පාණ්ඩවට මඟ පෙන්වමින් ගිරි දත්ත ඉදිරියෙන් යනවා. පය කොර
කොටම බිම තබනවා. ඒ දකින පාණ්ඩව ද කොර ගසන්නට පුරුදු වෙනවා. එක් පයක් කොර කොටම බිම
තබනවා.
සිය මංගල අශ්වයා හිටි හැටියේ පය කොර ගැසීම රජුට ඉවසුම් දුන්නේ නෑ. වෙදුන් කැඳවූවා.
අසනීපය සොයා ගැනීමට නොහැකියි. රජු බෝසත් ඇමැතිට සිදුවීම පවසනවා. හෙතෙම පාණ්ඩව
නිරීක්ෂණය කරනවා. හිටි හැටියේ ඇතිවුණ මේ කොරය රෝගයක් නිසා නොව ගිරිදත්ත නම්
අස්සලයාගේ කොරය ආදර්ශයට ගැනීම නිසා බව ඇමැතිට වැටහෙනවා. ගිරි දත්ත වෙනුවට වෙනත්
අයෙක් සේවයට යොදවනවා. අසු නිවැරැදි වෙනවා. කෙළින් ඇවිදින්නට පටන් ගන්නවා.
මේ ගිරිදත්ත ජාතකයේ සාරාංශයකි. කතාව කෙටිය. සරලය. එහෙත් ලබාදෙන ජීවිතාදර්ශය
සුවිශාලය. පරමාදර්ශ නිවැරැදි නොවූ කල ඒ දකින්නෝ ද, ආදර්ශයට ගන්නෝ ද නිවැරැදි මඟ
නොයන බව, මං මුලා වන බව එහි කියැවෙන සදුපදේශයයි.
හරි ආදර්ශයක්, මඟ පෙන්වීමක් නොවන නිසා, සරලව කියනවා නම් අයාලේ යන්නට ඉඩ හැරීම නිසා
වැරැදි කරන තරුණ දරුවන් ගැන අද කොතෙකුත් අසන්නට ලැබේ. සමහරෙක් ජීවිතයෙන් පවා වන්දි
ගෙවති. යහළුවන් සමඟ දිය නාන්නට ගොසින් ගං පතුළේ සැඟවෙති. මත් ද්‍රව්‍ය ගන්නට
පෙළඹෙති. රණ්ඩු දබරවල පැටලෙති. අධික වේගයෙන් රිය පදවා මහ මඟම මියැදෙති. මේ තරුණකමේ
වරදද? ඔවුන් දොස් කීවද වරද වැඩිහිටියන් ගේ ය. ඔවුන් ගෙන දුන් පූර්වාදර්ශයන්ගෙන්ය.
හරි දේ අසන්නට දකින්නට ලැබුණා නම් දරුවන් වැරැදි කරන්නේ නැත.
මිනිස් දරුවා ක්‍රියාත්මක වන්නේ අනුකරණයෙනි. ලෝකය දකින්නට, ග්‍රහණය කර ගන්නට පටන්
ගත් දා සිටම ඇසට, කනට, සිතට, පෙනෙන්නට, ඇසෙන්නට, දැනෙන්නට ලැබෙන දේ හේ ක්‍රියාවට
නඟන්නේ ය. හරි දේ නොපෙන්වා, හරි දේ නොදන්වා වරද පමණක් දරුවන් මත පැටවීමෙන්
ප්‍රශ්නයට පිළිතුරක් නොලැබෙන්නේ ය.
අද අපේ බොහෝ කුඩා දරුවන් හැදෙන්නේ වැඩෙන්නේ දරන්නට බැරි පීඩාකාරී වටපිටාවකය. ගහ
කොළක, පිනි බිඳුවක ලස්සන විඳින්නට, මල් පෙත්තක සුසිනිඳු බව දකින්නට තරම්වත් වෙලාවක්
නැති පරිසරයකය. තරඟකාරී අධ්‍යාපනය නම් අපමණ බර ඔවුන්ගේ හිස මතය.
‘රූසෝ’ ප්‍රංශයේ දාර්ශනිකයෙකි. ළමයින් ගැන සුවිශේෂී අවධානයක් යොමු කළ ඔහු කීවේ
‘ළමයි’ ළමයි මිස වැඩිහිටියන් නොවන බවය. ළමයින්ට සෙමෙන්, සරලව, සුළුවෙන් උගන්වන
ලෙසය. ඒත් අපේ සමහර අම්මලා, තාත්තලා වගේම සමහර ගුරුවරු ද ළමයා නොහඳුනති. සෙමෙන් නොව
වේගයෙන් උගන්වති. සරලව නොව ගැඹුරින් දැනුම දෙති. සුළුවෙන් නොව බරපතළ බර හිස මත
රඳවති. ඒ බරින් පීඩාවට පත්වෙන දරුවෝ ලෙඩවෙති. වෙහෙසකර වෙති. ප්‍රචණ්ඩ වෙති. අකීකරු
වෙති. අනුන්ගේ දුක නොදකිති. සංවේදී නොවෙති. හරියට යන්ත්‍ර සූත්‍ර මෙනි.
පාසල මෙන්ම ගෙදරද ඇතැම් දරුවන්ට පීඩාකාරීය. මානසික සැහැල්ලුවක් නැත. විවේකයක් නැත.
අකුරුවලින් පොත් පිටු පිරුණත්, පාඩම් වන පොත් කළත් මොළ ගෙඩි හිස්ය. හිතන්නට දන්නේ
නැත. කවි සිතිවිලි මැවෙන්නේ නැත. අපූර්ව නිමැවුම් මැවෙන්නේ නැත. නින්දට ගිය මොහොතේ
සිහිනයෙන් දකින්නේද අසුබ දසුන්ය. දිනෙක වැඩිහිටියන් වී මේ දරුවන් තමන් උගත් පාසලට
ගොඩ වෙන්නේ හැඟීම් විරහිතවය. ඇතැම්විට තමන්ගේ දරුවා පාසලට ඇතුළත් කර ගැනීමේ
සිතිවිල්ලෙන් පමණක් විය හැකි ය. මේ ඛේදවාචකය පරමාදර්ශයේ ප්‍රතිඵලය. වැඩිහිටියන් එය
තේරුම් නොගන්නා තාක් දරුවෝ ප්‍රචණ්ඩය. අකීකරුය. මං මුලා වන්නෝ ය.
- රමණී සුබසිංහ |