සමගිය යහපත්
කොළඹ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය
පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි
" විරාගික අරමුණකින් කඩිනම් විමුක්තිය සොයා යන භික්ෂුවට බැඳීම් රහිත ජිවිතය
විමුක්තිය කඩිනම් කිරිම හේතුවක් විය හැකි වුවත් කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන
ගිහියාට සමාජ සම්බන්ධතා හා අන්‍යෝන්‍ය බැඳීම් පදනම් කරගත් සාමූහික ජිවිතය අවශ්‍ය
වේ."
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සමයෙහි රෝහිණි ගංගාවේ ජලය අරබයා නෑයන්
දෙපිරිසක් අතර ඇති වූ කලහය සංසිඳවනු පිණිස මෙම ජාතකය දේශනාකොට වදාළහ. බරණැස් නුවර
බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි පළමු වෙසමුණි රජු චුත වූ පසුව සක්දෙව් රජු
විසින් දෙවන වෙසමුණි රජු පත්කරන ලදි. ඔහු ද චුත වූ පසුව තෙවන වෙසමුණි රජු පත් වූ
අතර ඔහු තම රුක් දෙව් පිරිස අමතා ප්‍රකාශ කළේ තම තමන් කැමැති තැන්වල විමාන
සකස්කරගන්නා ලෙසයි.
එසමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ හිමාලයෙහි එක් සල් වනයක වෘක්ෂ දේවතාවෙක්ව ඉපිද වාසය
කළහ. වෙසමුණි රජුගේ අණ ඇසූ බෝධිසත්ත්වයන් වහන්සේ ස්වකීය ඥාතීන් අමතා “ඔබ සැම මෙම
සල් වනයෙන් බැහැර නොගොස් මා සමඟම මගේ විමානය පිරිවරා විමන් ගනුවයි” ප්‍රකාශ කළහ.
මෙය ඇසූ බුද්ධිමත් රුක් දේවතාවෝ බෝධිසත්ත්වයන් වහන්සේගේ විමානය පිරිවරා පිහිටි සල්
ගස්වල විමාන පිහිටුවාගත් අතර අනුවණ දේවතාවෝ අපට වනයෙහි තිබෙන විමානවලින් ප්‍රයෝජනය
නැතැයි ද ගම් නියම්ගම් රාජධානිවල හුදකලාව පිහිටි විශාල ගස්වල විමාන ඇතිකරගැනීමෙන්
මහත් ලාභ ලැබෙන්නේ යැයි ද සළකා.
වනයෙන් බැහැරට ගොස් හුදකලා තැන්වල පිහිටි වනස්පතී
ගස්වල විමාන පිහිටුවා ගත්තහ. ඉක්බිති එක් දිනක මහත් වර්ෂාවක් සමග දැඩි සුළගක්
හමාගිය අතර එහි බලපෑමෙන් හුදකලාව පැවතී මහ වනස්පති ගස් මුලිනුපුටා වැටී ගියේය. මෙම
චණ්ඩ මාරුතය සල් වනය හරහා ද හමාගිය මුත් එහි සල් ගස් සමූහයක් ලෙස පැවති හෙයින් එක්
සල් ගසකට ද කිසිත් හානියක් නොවීය. ගම් නියම්ගම්වල පැවති හුදකලා වනස්පතී ගස්වල විමාන
සාදාගත් රුක් දෙවිවරු විනාශ වූ විමාන අතහැර තම දරු මල්ලන් ද සමඟ සල්වනය බලා පිටත්
වූහ. එහි ගොස් එම සල්වන වැසි රුක් දෙවිවරුන්ට තමන්ට සිදු වූ විපත කියා පෑහ. එම
දෙවිවරු ඔවුන්ගේ දුක්ගැනවිල්ල අසා ගෙන බෝධිසත්ත්වයන් වහන්සේ වෙත ගොස් එම පුවත
දැන්වූහ. එය අසා සිටි බෝධිසත්ත්වයන් වහන්සේ නුවණැතියන්ගේ අවවාද නොපිළිගෙන පිහිටක්
නැති තැනකට ගිය පුද්ගලයෝ මේ ආකාරයට විනාශ වන්නෝ යැයි අනුශාසනා කරමින් “ඔවුනොවුන් හා
එක්ව බැඳී නොසිටි වනයෙහි හටගත් ගස් සැඩ සුළගින් විනාශ වන්නාක් මෙන් ඔවුනොවුන් හා
බැඳීමක් නැතිව හුදකලාව වාසය කරන නෑයින් ද විවිධ උවදුරු නිසා විනාශයට පත්වන බව”
පැහැදිලි කළහ. මෙම ජාතක කථාව අවසානයේ බුදුරදුන් තම නෑයින් අමතා, නෑයින්ගේ සමගිය
යහපත් බවත් එබැවින් සමගිව සතුටුව ප්‍රිය සංවාසයෙන් යුක්තව වාසය කළ යුතු යැයි දේශනා
කළහ. නෑයින් අතර පවතින සමගිය හා විශ්වාසය ඔවුන්ගේ දියුණුවට හේතුවන බව මෙම ජාතක
කථාවෙන් පෙන්වා දෙන ආදර්ශයයි. මිනිසා ස්වභාවයෙන්ම රංචු ලැදියාවෙන් යුක්තය. මිනිස්
ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම මිනිසා සාමූහිකව ජීවත් වී තිබේ. ඔහුගේ සංස්කෘතික ජිවිතය
සාමුහිකත්වයෙන් යුක්ත වේ.
මෙනිසා හුදකලා වාසය මිනිසාට නුහුරු එකකි. උපතින්ම සමාජ
සත්ත්වයෙක් වන මිනිසා හුදකලා වීමත් සමඟම ඔහු හෝ ඇය මානසික හා කායික වශයෙන්
අනාරක්‍ෂිත අයෙකු බවට පත්වේ. තනිකම, පාලුව හා හුදකලා වාසය බොහෝ කායික හා මානසික
රෝගවලට හේතුවක් බව පිළිගත් කරුණකි. සාමුහික ජීවිතයෙන් බැහැර වී හුදකලා වීමේ
ප්‍රතිඵලයක් වශයෙන් ආතතිය හා විශාදය වැනි මානසික ආබාධ නිසා බොහෝ දෙනෙකු සිය දිවි
නසා ගැනීමට හෝ මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවන අවස්ථා සුලබව දක්නට ලැබේ. මෙම ජාතක
කථාවෙන් ඉදිරිපත් කරන වැදගත් කරුණක් වන්නේ ඤාතීන් අතර පවතින බැඳීමේ වටිනාකමයි.
විරාගික අරමුණකින් කඩිනම් විමුක්තිය සොයා යන භික්ෂුවට බැඳීම් රහිත ජිවිතය විමුක්තිය
කඩිනම් කිරිම හේතුවක් විය හැකි වුවත් කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන ගිහියාට සමාජ
සම්බන්ධතා හා අන්‍යෝන්‍ය බැඳීම් පදනම් කරගත් සාමූහික ජිවිතය අවශ්‍ය වේ. කෙනෙකු තම
පවුලෙන් හෝ ඤාතීන්ගෙන් බැහැර කිරීමෙන් හෝ බැහැර වීමෙන් එම තැනැත්තාට නිසර්ගයෙන්ම
ආරක්ෂාව අහිමි වේ. මෙම ජාතක කථාවේ පෙන්වාදෙන ආකාරයට බෝසත් දෙවියා ඇතුළු ඔහුගේ
පරිවාර පිරිසට එක්ව වැඩුණු සල් වනයෙහි වාසය කිරීමෙන් නිතැතින්ම වර්ෂාවෙන් හා චණ්ඩ
මාරුතයෙන් ආරක්?ෂා වීමට හැකිවිය.
තම දෙමාපියන් සහෝදර සහෝදරයින් නෑයින් සමඟ ගත කරන
සාමූහික ජීවිතය ආරක්ෂා සහිත එකක් වේ. විමුක්තිය අරමුණු කරගත් පැවිද්දාට ද තම ආචාර්ය
උපාධ්‍යායන් වහන්සේලාගේ ඇසුරෙහි ජීවත් වනතාක් අධ්‍යාත්මික වශයෙන් පමණක් නොව සමාජීය
වශයෙන් ද රැකවරණය සැළසේ. ගිහියෙකුට තම දෙමාපියන්ගෙන් හා ඤාතීන්ගෙන් ලැබෙන ආකාරයේ
ආරක්ෂාවක් හෝ රැකවරණයක් බාහිර පුද්ගලයන්ගෙන් අපේක්ෂා කළ නොහැකිය. ලේ වතුරට වඩා ඝන
යැයි කියමනෙන් ද හැඟෙන්නේ තම ලේ නෑයන් හා තමා අතර පවතින සම්බන්ධතාවයේ ශක්තිමත්
බවයි. විශේෂයෙන්ම දෙමාපියන්ගේ රැකවරණයෙන් මිදුණු දරුවාට සමාජයෙන් කිසිසේත්ම
සුරක්‍ෂිතතාවක් අපේක්ෂා කළ නොහැකිය. බොහෝ තරුණ පිරිස් අසීමාන්තික නිදහස සොයා
දෙමාපියන්ගේ ඇසුරෙන් මිදීම නිසා ඔවුන් බොහෝ දෙනෙකුගේ ජීවිත අවසන් වන්නේ මතට
ලොල්වීමෙන්, අනාචරය නිසා වැළදුණු විවිධ ලෙඩ රෝගවලින් හෝ නැතහොත් අපරාධකරුවන් බවට
පත් වීමෙන්ය. බෝසත් දෙවියාගේ ඉල්ලීම බැහැර කොට අගෝචරස්ථානවල සිය විමාන සකස්කරගත්
සියලු රුක් දෙවිවරුන්ට තම විමාන අහිමි වී අන්ත අසරණ තත්ත්වයට පත්වීමට සිදුවීමෙන්
පෙන්වා දෙන්නේ එම ආදර්ශයයි. ගම අතහැර නගරය කරා සංක්‍රමණය වීමේදි විඳීමට සිදුවන
විවිධ ආදිනව පිළිබඳ ඉඟියක් මෙම ජාතක කථාවෙන් ප්‍රකට වේ. බෝසත් රුක් දෙවියාගේ අවවාදය
නොසළකා ගම් නියම්ගම් රාජධානි කරා ගිය රුක් දෙවිවරුන්ගේ එක් අභිලාෂයක් වූයේ ලාභ
ප්‍රයෝජන ලැබීමයි. වන ගත විමානවල වෙසෙන දෙවිවරුන්ට නිතර පුද පූජා නොලැබේ.
එහෙත් ගම්
නියම්ගම් රාජධානිවල වෙසෙන දෙවිවරුන්ට අනවරතයෙන්ම විවිධ පුද පූජා ලැබේ. මෙය
සැළකිල්ලට ගෙන ඇතැම් රුක් දෙවිවරු වන ගත විමාන අත හැර ගම් නියම්ගම් රාජධානි සොයා
සංක්‍රමණය වූ අතර හුදකලා විමානවල වාසස්ථාන සකස්කරගත්හ. නගරයේ ප්‍රතිලාභ කෙරෙහි මන
බඳීන බොහෝ දෙනෙකු විචාරයකින් තොරව තම සාමුහික ජීවිතයට ආයුබෝවන් කියා නඟරයට
සංක්‍රමණය වී හුදකලා වාසයට යොමු වී තිබේ. මෙය වරදක් නොවුණ මුත් තමා උපන් ගම හා
ඤාතීන් සාකල්‍යයෙන්ම අමතක කොට නාගරික ජීවිතයට යොමු වීම එක්තරා ආකාරයක සමාජ
සුරක්‍ෂිත තාව නැති කරගැනීමක් වේ. වන ගත විමාන අතහැර ගිය රුක් දෙවි පිරිසට ආපසු තම
පැරණි සල් වනයට පැමිණීමට සිදු වූවාක් මෙන් විපතක් හෝ කරදරයක් ඇති වූ විටෙක තමා අමතක
කර දැමූ දෙමාපියන් සහෝදර සහෝදරියන් හා ඤාතීන් සොයා ආපසු පැමිණීමට සිදුවේ. මෙම පරම
සත්‍ය මැනවින් වටහා ගත් තැනැත්තා කොහේ වාසය කළත් කුමන තරාතිරමක සිටියත් තම පවුලේ
ඤාතීන් කෙරෙහි තිබෙන ලැදියාව විනාශ නොකරගනී.
තම ඤාතීන් අමතක කොට ඔවුන් නොසළකා හැරීම
පිරිහීමට හේතුවක් බව පරාභව මෙන්ම වසල සූත්‍රයෙන් සනාථ වන අතර ඤාතීන්ට සැළකීම
දියුණුවට හේතුවක් බව මංගල සූත්‍රයෙහි දැක්වේ. පවුලේ සමගිය නැති විට දියුණුවක්
අපේක්ෂා කළ නොහැකිය. බුදුසමයෙන් ඇගයෙන්නේ විස්තෘත පවුලයි. එයින් ලැබෙන රැකවරණය
බාහිර ආයතනයකින් අපේක්ෂා කළ නොහැකිය. ඤාතීන් ඔවුනොවුන් හා බැඳීමෙන් යුක්තව වාසය කරන
විට පිටස්තර බලවේගයකට එම පවුල විනාශ කිරීම අසීරුය. පවුලේ සමගිය දියුණුවේ පදනම වේ.
|