Print this Article


ඉතාම සිසිල් සුළං ඉතා සෙමෙන් හමා ගියා. ගලන ගංඟා නිසලව නෙළුම් මලින් විකසිත වූවා. මහා සාගරයේ රැළි නතර වුණා. සාගරයේ ලුණු රස නැතිව මධුර රස වෙන්නට පටන් ගත්තා . සාගරය සිසාරා නෙළුම් මලින් විකසිත වුණා. මහ පොළොවේ තණ පිඬලි, වැලි තලාවන් නොපෙනී මුලු මහත් පෘථිවි ධාතුවම

සිසාරා ගලන අමා දහමින් සොබා දහමත් සසල වුණා

ඉතාම සිසිල් සුළං ඉතා සෙමෙන් හමා ගියා. ගලන ගංඟා නිසලව නෙළුම් මලින් විකසිත වූවා. මහා සාගරයේ රැළි නතර වුණා. සාගරයේ ලුණු රස නැතිව මධුර රස වෙන්නට පටන් ගත්තා . සාගරය සිසාරා නෙළුම් මලින් විකසිත වුණා. මහ පොළොවේ තණ පිඬලි, වැලි තලාවන් නොපෙනී මුලු මහත් පෘථිවි ධාතුවම නෙළුම් මලින් වැසී ගියා. මේ පෘථිවි ධාතුව පමණක් නොවෙයි, සක්වළ දහදාහකම තිබූ කඳු ගැට, පර්වත නෙළුම් මලින් වැසී පිරී ඉතිරී ගියා. කළුගල් මටසිළුටු වී පැලී ඒ මත දණ්ඩ පදුම නම් වූ සුවිශේෂී මලින් අසිරිමත් වූවා.

ගැඹුරු සදහම් දෙසුම තේරුම් ගතහැකි ප්‍රඥාවන්තයොත් ලොවේ සිටින බව දැක බුදුරදුන් බරණැස ඉසිපතනාරාමයට සැතපුම් දහඅටක් පා ගමනින් වඩියි. මේ අමා ගඟ ගලා යන්න සූදානම් වන මොහොතේ සොබා දහම පවා නොඉවසූූ අසිරිය මෙසේ සඳහන් කරමු.

දෑස් අඳ අයගේ දෑස් පෙනුණා. කන් ඇසෙන්නේ නැති අයගේ මේ මධුර මනෝහර හඬ අසන්නා වාගේ දෙසවන් ඇසෙන්නට පටන් ගත්තා. කතා කරන්න බැරි අයට සාධුකාර දෙන්නා වගේ කතා කරන්න පුළුවන් වුණා. මන්ද මානසික අයගේ මන්ද මානසික බව නැතිව ගියා. කොරවෙලා සිටින අයගේ කොරබව නැතිව ගියා. කුදු වෙලා සිටි අයගේ කුදු බව නැතිව ගියා. මේ වගේ සුවිශේෂී විපර්යාස රැසක් සිදුවන මොහොතේ අකල් වැසි වසින්න පටන් ගත්තා. මුළු විශ්ව ධාතුවම සක්වළ දහදාහක්ම වායු සමනය කළා සේ සිසිලස දැනුණා.

ඉතාම සිසිල් සුළං ඉතා සෙමෙන් හමා ගියා. ගලන ගංඟා නිසලව නෙළුම් මලින් විකසිත වූවා. මහා සාගරයේ රැළි නතර වුණා. සාගරයේ ලුණු රස නැතිව මධුර රස වෙන්නට පටන් ගත්තා . සාගරය සිසාරා නෙළුම් මලින් විකසිත වුණා. මහ පොළොවේ තණ පිඬලි, වැලි තලාවෙන් නොපෙනී මුලු මහත් පෘථිවි ධාතුවම නෙළුම් මලින් වැසී ගියා. මේ පෘථිවි ධාතුව පමණක් නොවෙයි, සක්වළ දහදාහකම තිබූ කඳු ගැට, පර්වත නෙළුම් මලින් වැසී පිරී ඉතිරී ගියා. කළුගල් මටසිළුටු වී පැලී ඒ මත දණ්ඩ පදුම නම් වූ සුවිශේෂී මලින් අසිරිමත් වූවා. මුලු අහස් තලයම ලම්බක පදුම නමින් හැඳින්වෙන එල්ලෙන නෙළුම් මලින් ,වියනක් සේ විසිතුරු වූවා. මුලු ලෝකයම පමණක් නොවෙයි සක්වළ දහදාහක්ම මල් වියනක් බවට පත්වුණා.

නමුත් , අප ඊළඟ සක්වළ ඇත්තේ කොහෙදවත් දන්නේ නැහැ. තාම කිසිම විද්‍යාඥයෙක් එකම මනුලොවක්වත්, ග්‍රහලෝකයක්වත් සොයාගත් බවට අනාවැකි පැවසුවත් ඒ කිසිවක් ස්ථිරවම සොයාගත් බවට සඳහනක් නැහැ. මනු ලොවක් හමු වුණා කියන්නේ සක්වළක් හමුවන බවයි. නමුත් මේ සක්වළ දහදාහක සිදුවන විපර්යාසය මෙසේ සඳහන් වෙයි.

සක්වළ දහදාහම එකම කොඩි වැලින් බැඳුණු බව සඳහන් වෙයි. සක්වළ දහදාහම වටකර කොඩි වැල් ඇදෙනවා . සක්වළ දහදාහම වටකර මල් වැල් අදෙනවා. සක්වළ දහදාහම මලින් ගැට ගැසී අසිරිමත් වූවා. අහසේ දිව්‍යමය තූර්ය වාදනය වූවා. මනුලොව දහදාහක්, සක්වළ, මිනිස් ලෝකවල තිබූ තූර්ය භාණ්ඩ ඉබේම වාදනය වුණා. සෑම මිනිසෙකුගේම කනේ තිබෙන කුණ්ඩලාභරණයෙන් හඬ නැගෙන්න පටන් ගත්තා. ගෙලේ තිබෙන මාලයෙන් , අතේ තිබුණ වළල්ලෙන් හඬ නැඟුණා. මෙසේ මහා පුදුමාකාර අසිරියක් ලෝක ධාතුව සිසාරා පැතිරී ගියා. මේ මොහොතේ කිසිම සතෙකු මිය යන්නේ නැහැ. කිසිම සතෙකු උපත ලබන්නේ නැහැ. සියලුම සත්ත්වයන්ගේ චුති උප්පත්ති නතර වෙනවා.

අහසේ පියාසර කරන සියොතුන් පියාපත් නොසලා බලා සිටිනවා. ගස්වල සිටින සියොතුන් සියලු දෙනාම බිමට බසිනවා. මෙසේ නිමිති තිස් දෙකකින් සක්වළ දහදාහක්ම අසිරිමත් වූ බව සඳහන් වෙයි.

කුමක්ද? මුලින්ම පිටකරන බුද්ධ වචනය, “ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බ ජිතේන න සේවි” භාග්‍යවතුන් වහන්සේ විශ්ව ධාතුවට මුදා හරින පළමු වදන් පෙළ ශ්‍රී මුඛ ධාතුවෙන් මුදා හැරියේ එලෙසයි. මෙය භාග්‍යවතුන් වහන්සේගේ පළමු සිංහ නාදයයි. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ ආරම්භයයි.

කේසර සිංහයා කෑගසන විට සැතැපුම හතළිස් අටක් ඈතට ඇසුණා. භාග්‍යවතුන් වහන්සේගේ සිංහ නාදය කොපමණ දුරට ඇසෙන්න ඇතිද?

භාග්‍යවතුන් වහන්සේගේ සුමධුර සදහම් දෙසුම අවීචියේ සිට භවාග්‍රය දක්වා දහදාහක් සක්වළ වසා පැතිර ගියා. අප දන්නේ නැහැ. අවීචිය, භවාග්‍රය, අකනිටා බඹලොව පිහිටන්නේ කොපමණ ඈතද? අවීචියේ සිට අකනිටා බඹලොව දක්වාම ඈතට මේ සක්වළ පමණක් නොවෙයි, සක්වළ දහදාහක් සිසාරා මේ සුමධුර දහම පැතිරී ගියා. මේ සිංහයාගේ අභීත හඬින් කුඩා ප්‍රාණීන් බියෙන් බියට පත්වෙනවා. කුඩා ප්‍රාණීන් යනු අප සිතන කුඩා, කුඩා සත්තු නොවෙයි. සිංහයාගේ හඬට බිය නොවන සත්ත්වයෝ කවුරුන්දැ’යි සිංහ සූත්‍රයෙන් සඳහන් වුණා.

මේ සිංහයාට සමාන සිංහයෙක් මේ හඬට බය නැහැ. අජානීය වෘෂභයෙක් භය වන්නේ නැහැ. අජානීය අශ්වයෙක් බිය වන්නේ නැහැ. අජානීය හස්තියෙක් බයවෙන්නේ නෑ. මේ සිංහයාගේ හඬට. එසේම ලොවේ සිටින අජානීය පුරුෂයොත් මේ සිංහයාට බය නැහැ. අනාගාමී වහන්සේ, මහරහතන් වහන්සේ් මේ හඬට බය නැහැ. නමුත්, අන් සියලුම සතුන් මේ සිංහයාගේ හඬට බියයි. ගම් නියම්ගම්වල සිටින රජ්ජුරුවන්ගේ ඇත්තු වරපටින් බැඳ තිබූ බව සඳහන් වෙයි. ඇත්තු බඳින්න අද අප පාවිච්චි කරන්නේ දම්වැල්. එදා පාවිච්චි කළේ වරපට. වරපට හදාගත්තේ කඹ විශේෂයකින්. මේවායෙන් රජ්ජුරුවන් අලි ඇතුන් බැඳ තිබෙනවා. මේ කඩන්න බැරි හම්වලින් හදපු කඹය කඩාගෙන කේසර සිංහයාගේ හඬ ඇසෙන ඇත්තු මල මූත්‍ර පිටකරගෙන දිව යනවා. එසේ දුවනවානම් කැලේ නිදහසේ සිටින ඇත්තු කෙසේ දුවන්න ඇතිද? සියලුම ප්‍රාණීන් තැති ගන්නවාලු, සිංහයාගෙන් බේරෙන්නවත් , දිව යන්නවත් කිසිම සතෙක් සිතන්නේ නැහැ.

නමුත්, මේ සිංහයා තෙවරක් කෑගසුවොත්, මට අද ජීවිත දානය ලැබුණා යනුවෙන් සතුන් සතුටු වෙනවාලු. ගොදුරට අසුවෙන සතාට තෙවන හඬ ඇසෙන්නේ නැතිබව සඳහන් වෙයි. සිංහයා එතරම් වේගයෙන් දුවනවා. හැතැප්ම හතළිස් අටක් දුවගෙන ගොස් තමන්ගේ හඬ තමන්ට ඇසෙන තුරා සිටින බව සඳහන් වෙයි. ශබ්දයට වඩා වේගයෙන් දුවනවා. උදාහරණයක් ලෙස සඳහන් කළොත් ශබ්දයට වඩා වේගයෙන් අහසේ ගමන් කරන යාත්‍රා කිසිම රටාවක් නැතිව අහසේ ගමන් කරනවා. නමුත්, මේ සිංහයා දුවන්නේ, ගස් ගල් උඩින්, මුල් උඩින් ,ඇළ දොළ, ගංගා මතින් පැන බාධක මධ්‍යයෙයි. එසේනම්, අහසේ යන යාත්‍රාවකට වඩා වේගයෙන් මේ සතා දුවනවා. වේගය කිසි කෙනෙකුට පෙනෙන්නේ නැහැ. අඳුරේ ගිනි වළල්ලක් කරකැවෙනවා වගේ එතරම් වේගවත්. එබැවින් තෙවනුව සිංහයා කෑගසන්න පෙර ගොදුර වෙත යනවා. ඒ ගොදුරු වෙන සතාට තෙවන හඬ ඇසෙන්නේ නැහැ. ඒ හඬ කාටවත් ඇසෙන්න පෙර ගොදුර, සිංහයා අතට පත්වී අවසන්. සිංහයාගේ ගමන එතරම් වේගවත්. සියලුම ප්‍රාණීන් සිංහයාගේ හඬට බියෙන් කෑගහනවා. මේ සිංහයා කෑගසද්දී කැළයේ සිටිය යුතු සතුන් කැළයටත්, බෙනවල සිටිය යුතු සතුන් බෙනවලටත්, දියේ සිටිය යුතු සතුන් නැවත දියටම යනවා. අහසේ සිටින සියොතුන් බිමට බැස සිටීනම් ඒ අය නැවත ගස්වලටම පියඹා යනවා.

මේ සිංහ හඬට බියවී කුඩා ප්‍රාණීන් තැති ගන්නවා සේම භාග්‍යවතුන් වහන්සේගේ සිංහ නාදය ඇසෙන මේ ලෝකයේ සිටින සියලුම දෙනා තැති ගන්නවා. එහෙමනම්, භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ කාටවත් බය වෙන්නද? නැහැ. භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළේ කවුරුත් බයකර වෙව්ලලා තියන්න එහෙම නොවෙයි.