මැදින් අව අටවක 2017.03.20
ජීවිතයට සම්පත් සතරක්
සම්බුදු දහම මෙලොව පරලොව යන උභයාර්ථයම සලසන උතුම් දහමකි. ඇතැමෙක් බුදුදහම පරලොව ගැන
පමණක් මග පෙන්වන දහමක් යැයි අනවබෝධයෙන් සිතන පතන බව දක්නට ලැබේ.
මනුෂ්‍යයාගේ දියුණුවට අත්‍යවශ්‍ය සම්පතකි උත්සාහය. නිවැරැදි යහපත් ජීවිතයක් ගත
කිරීමට දැහැමිව ධනය සම්පාදනය කරගත යුතුය. ශිල්ප ශාස්ත්‍ර හදාරා තම වටිනා දැනුම
උපයෝගී කර ගනිමින් දැහැමි රැකියාවක නිරතවීමට කිසිදු බාධාවක් නොවේ. දැහැමි වෙළෙඳා
මෙන්, ගොවිතැනින් ආදි විවිධ ආකාරයෙන් ධාර්මිකව ධනය රැස්කර ගැනීමට බාධාවක් නොවේ. ගත
සිත මෙහෙයවා දෑතේ, දෙපයේ බලයෙන්, ශක්තියෙන් දහදිය මහන්සියෙන් සපයා ගන්නා ධනය
සම්පතකි. ධනය හරිහම්බ කර ගැනීමට අලසකම, කුසීතකම බාධාවකි. එබඳු බාධාවන් අභිබවා
උත්සාහය සම්පතක් බවට පත් කර ගත යුතුය.
එසේ දෑතේ දෙපයේ ශක්තියෙන් උපයා ගත් ධනය ආරක්ෂා කර ගැනීමටද වග බලා ගත යුතුයි. ධනය
විවිධාකාරයෙන් අහිමි වේ. මනා සිහි නුවණින් කටයුතු නොකළහොත් ධනය වැය වූ ආකාරය සිතා
ගැනීමටවත් අපහසු කරුණක් බවට පත්වේ. දැහැමිව උපයා ගත් ධනය ආරක්ෂා කර ගැනීමට
බුද්ධිමත් බව අත්‍යවශ්‍යය. ධනය ගින්නෙන්, ජලයෙන්, සොරසතුරන්ගෙන්ද ආරක්ෂා කර ගත
යුතුය.
මෙලොව යහපත, දියුණුව, අභිවෘද්ධිය පතන සෑම මනුෂ්‍යයෙකු වෙතම කල්‍යාණ මිත්‍ර
සම්පත්තියද අත්‍යවශ්‍ය අංගයකි. මිතුරා දැන හඳුනා ගැනීම පහසු කරුණක් නොවූවද කලණ
මිතුරාගේ ඇසුර උතුම් සැපතකි. නැණ ගුණයෙන් පිරි ගුණවතුන්ගේ ඇසුරම අපේක්ෂා කළ යුතුය.
ඇසුර නිසා නරකට විපතට පත් වූ අය ගැන එදිනෙදා සමාජය තුළ නිරන්තරයෙන් දක්නට ලැබේ.
නැණවත් ගුණවතුන්ගේ ඇසුර නිසා සුමගට, යහපතට, යොමු වු මෙන්ම යොමු වන ජීවිතද අප සමාජය
තුළ කොතෙකුත් දක්නට ලැබේ. අයහපතෙන් දුසිරිතෙන් අඳුරට යා නොදී නිසි මඟ පෙන්වන්නේ නම්
එබඳු අයගේ ඇසුර යහපතකි. සම්පතකි.
මනුෂ්‍යයාගේ මෙලොව ජීවිතයේ යහපතට දියුණුවට හේතුවන සිවු වන සම්පත්තිය නම්
සමජීවිකතාය. ලැබෙන ආදායමෙන් වියදම් කළ යුත්තේ සීමිතවය. ආදායමත්, වියදමත් විමසා බලා
කටයුතු කිරීම සම්පතකි. ඇතැමෙක් වෙත ලැබෙන ධනය අඩු වූවද වියදම දෙගුණ තෙගුණ වේ නම්
ජීවිකාව රැකගත හැක්කේ කෙසේද? බුද්ධිමත්ව නොවිමසා කටයුතු කිරීමෙන් වැය වැඩි වූ විට
ණයකාරයෙකු බවට පත්වීමට ඉඩ ඇත. හරි හම්බ කර ගත් ධනයෙන් කොටසක් පරිභෝජනයටද දෙකොටසක්
මතු දියුණුවටද තවත් එක් කොටසක් ආපදාවක්, විපතක් පැමිණිවිට ප්‍රයෝජන ගැනීමටද තැන්පත්
කර තබා ගත යුතුව ඇත. දහදිය වගුරවා හරි හම්බ කර ගත් ධනය ඉතා සුළු වේලාවකින් වැය
කිරීමට කටයුතු කිරීමෙන් මෙලොව අභිවෘද්ධිය දියුණුව අඩාල වේ.
විලකට ජලය ගලා එන දොරටු වසා දැමීමෙන් විලට අවශ්‍ය ජලය නොලැබේ. විලේ පවතින ජලය සතර
දෙසින් ගලා යන්නේ නම් කෙතරම් වැසි පැවතියද ඒ විල ජලයෙන් සිදීයයි. ධනය නිකරුනේ
වියදම් වන දුසිරිතෙන් බැහැර විය යුතුය. ජලය ඇතුළුවන දොරටු ඇර තබා ජලය පිටවන දොරටු
වසා තබන කල දියෙන් විල පිරි යන්නා සේ ධනය වර්ධනය වේ.
එමෙන්ම මෙලොව දියුණුවට උත්සාහය, ආරක්ෂාව, කලණ මිත්‍රතාවය, සහ සමජීවිකතා යන සම්පත්
හේතුවන්නා සේම ශ්‍රද්ධාවත්, සීලයත්, ත්‍යාගයත්, ප්‍රඥාවත් යන සම්පත් මනුෂ්‍යයාගේ
පරලොව දියුණුවටද හේතු වේ.
|