Print this Article


ඉර සේවය

ඉර සේවය

බැලූ බැලූ අත වළා සුදු පාටට පාවේ
සළු පෙරවූවා මෙනි අසිරිය සිරියාවේ
අලුයම පතුල වැඳ දක්වා හිරු සේවේ
මුළු ලොව එයින් පසුවයි හිරු රැස් නෑවේ

පහළින් පෙනෙන සිතිජය තෙක් නිලාවේ
වහගත් කඳු සිකර සුදු පෑ වළාවේ
දහසක් බුදුන් බුදුවන මේ වෙලාවේ
අහසට හිරු නැඟී ගවුරව කලාවේ

කිරි සාගරෙන් සැනහී පිරිසුදුව හිඳ
ගිරි හෙල් සුදෝ සුදුවට උඩු වියන් බැඳ
සිරි පා පත්මයට හිරු දෙවි කරන පුද
සිරියාවක් මැවේ එය අන් තැනෙක වෙද

සුවදායක සිසිල් නල වැල් අතර රැඳී
පවසන අසිරිමත් ආලෝකයකි රිදී
නුවණට අදහගනු බැරි ලෙස සිරිය දිදී
දවසේ මුලින් හිරු සිරිපා පියුම වඳී

නිම් නැති සෙනඟ වැල කඳු මුදුනට ගාටයි
සුමන සමන් දෙව් කරුණාවයි පිහිටයි
හැම කඳු සිකරයකම සිල් අරගෙන පාටයි
මෙම අදහස වඩාමත් සැදැහැති පාටයි

පහතින් පෙනෙන කඳු මීදුම පටල් යට
වහගෙන සොබාවික අසිරිය මවන කොට
මහගිරි දඹේ පසු කරමින් නගින විට
සහනය ලැබෙන වදනින් කිව නොහැක මට

එක් පැත්තකින් එන සීතල සුළඟ වඳී
රොක් වෙයි සෙනඟ ගඟ කිසිදා නොයන සිඳී
නික්මී ළහිරු තෙවිටක් සිතිජයෙහි කිඳී
දක්වන සිරිය කීමට මට වදන මඳී

සම්පත සතුට සාමය ලෝකයට බෙදූ
සම්බුදු පියාගේ සිරිපා පියුම මුදු
යම්කිසි වස්තුවක් ලොව නැත කියන බඳු
සම්මා හිරු දෙවිඳු ගිර මේ අයුරු පිදූ