Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය

“දුඞඛ දොමනස්ස අත්ථංගමාය “ දුක් – දොම්නස් දුරලීම සඳහා බෞද්ධ ප්‍රතිපදා මාර්ගයෙහි ආදි චරණය හෙවත් “පළමුවන හැසිරීම” ශීලයයි. සද්ධාධනං සීලධනං” සීලය ධනයකි බලයකි,සැපයකි, සුගන්ධයකි. “සීල ගන්ධො අනුත්තරො” රාජ ධර්මයකි. පින්කිරියවතකි.(සීලමයං පුඤ්ඤකිරිය වත්ථූ) සීලය පාරමිතාවකි. බෞද්ධ සීලය පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර

බුදු දහමෙහි භාවිතාමය වූ හෙවත් ප්‍රායෝගිකව සකී‍්‍රයව අනුගමනය කළ යුතු වූ ශීලය සිල්වත් දිවිපැවැත්ම සඳහා නොකළ යුතු යැයි ඉගැන්වෙන වාරිත්‍ර (වෙරමණී) යෙන්ද කළයුතු යැයි ඉගැන්වෙන චාරිත්‍ර සමාදානයෙන්ද යුක්තය. බෞද්ධ ශීලය ජෛනයින්ගේ මෙන් ව්‍රත සමාදන් වීමක්ද නොවේ. “සීල භාවිතෝ චිත්ත සාමාධී” චිත්ත ඒකාග්‍රතාවය සඳහා ශීලය උපයුක්ත වෙයි.

අනේක විධ වූ සාහිත්‍යකෘති මගින්ද කලා නිමැවුම් මගින්ද ධර්මදේශනා මගින්ද පැරැණි ලක්දිව ජනයා සිල්වත් දිවිපැවැත්මකට යොමුකරවන ලද බවට පාලි අට්ඨකතා ආදි අපේ මූලාශ්‍ර සාක්ෂි දරයි. ජාතක කථා තුළින් උගත් පාරමිතාවන් ඔවුන් පංචසීලයද ඉක්මවාගිය බෝධි සත්ව සීලය වෙත යොමුකරවන ලද්දේය. පරපණ නැසීමාදී දුෂ්චරිතයන් ඔවුන් විසින් කෙතරම් පිළිකුල් කොට සළකන ලද්දේදැයි අට්ඨකතාගත පුවත්වලින් අනාවරණය වෙයි.

ප්‍රශ්නය

බුදුරජාණන් වහන්සේ සිත (චිත්ත) පිළිබඳව විවිධ දේශනා අතුරෙන් මෙම පාඨය සුවිශේෂ වූ දේශනා පාඨයකි. සංයුත්ත නිකායේ ‘චිත්ත’ සූත්‍රයෙහි එන පාඨයකි මේ.

චිත්තො නීයති ලොකො
චිත්තො පරිකස්සති
චිත්තස්ස ඒක ධම්මස්ස
සබ්බෙව වස මන්වග

මේ අනුව ලෝකය සිතින් ගෙන යනු ලැබේ. සිතින් ඒ මේ අත අදිනු ලැබේ. සිත නම් වූ ඒක ධර්මයට ලෝකයම වසඟ වී ඇත. මෙහි සිත නම් වූ ‘චිත්ත’ ඒක ධර්මය පැහැදිලි කරන්න.

පිළිතුර

‘චිත්’ යන ධාතුවෙන් ජනනය වන ‘චින්තෙති’ යන ක්‍රියාපදයෙහි අතීත කෘදන්තය ‘චිත්ත’ යන්නයි. චිත්තන්ති ආරම්මණං චින්තෙතීති චිත්තං යනුවෙන් සඳහන් වන පරිදි අරමුණ දැනගන්නා ස්වභාවය සිතයි. එහි අරමුණ පිළිබඳ සිතනුයේ (ආරම්මණං චින්තෙති”) සිතය. මනසට අරමුණක් පැමිණි විට ඒ පිළිබඳ ක්‍රියාත්මක වූ මනස සිතයි” සිතන්නේ චෛතසික මගිනි. එනම් චෛතසික සහිත වූ මනසින් හෙවත් සිතින් සියලු කාර්යයන් සිදුවෙයි.

ප්‍රශ්නය

බුදු දහමෙහි නිර්දේශිය (අනුමැතියලත්) ධාර්මික ජීවන මාර්ගය ධර්මානුකූලව පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර

බෞද්ධ ධාර්මික ජීවිතය ආරම්භ වන්නේ මිච්ඡාජීවයෙන් වැළකී සම්මා ආජීවයෙහි පිහිටීමෙනි. මේ සඳහා පළමුකොටම සම්මා ආජීවය සඳහා සම්මා දිට්ඨිය අවශ්‍ය බව දේශනා පාලියෙහි මෙසේ සඳහන් වෙයි.

“කථංච භික්ඛවෙ සම්මා දිට්ඨි”
පුබ්බංගමා හොති, මිච්ඡා ආජීව
මිච්ඡා ආජීවොත පජානතා
සම්මා ආජීවං සම්මා ආජීවො
ති පජානාති. සාස්ස හොති සම්මා දිට්ඨි.”
මහා චත්තාරික සූත්‍ර)

මේ විග්‍රහයට අනුව මිච්ඡා ආජීවයෙන් වැළකීම සඳහා හොඳ හා නරක නිවැරැදිව හඳුනාගැනීමට නිවැරැදි දැක්ම අත්‍යවශ බව පැහැදිලි වෙයි. සම්මා ආජීවය යනු සීල සම්පන්න වූ දිවි පැවැත්ම ගොඩනගා ගැනීම බව නිවැරැදිව වටහාගත හැක්කේ .සම්මා දිට්ඨියෙනි. සිල්වත් වීමට අලෝභ, අදෝස,අමෝහ චේතනා මුල් වූ ක්‍රියාවන් හා වචනයෙන් ජීවන මාර්ගය සකස් විය යුතුය. බුදුදහමෙහි අවධාරිත වූ ධාර්මික ජීවන මාර්ගය එයයි.

ප්‍රශ්නය

බුදු සිරිත (බුද්ධ චරිතය) හදාරන අපට බොහෝ පතපොතෙහි සඳහන් වන අසම සම – අනාථ නාථ – අසරණ සරණ උත්තමයෙකු ලෙස ලොව ඉපිද මනුෂ්‍යත්වය, අධ්‍යාත්මික ශක්තීන් ඉක්මවාලූ මානව ඉතිහාසයෙහි ලොව පහළ වූ අසහාය කල්‍යාණ සත්පුරුෂයාණෝම වෙති. බුද්ධොති වචනං සෙට්ඨං බුද්ධොති පදමුත්තමං (ධ.ප.බුද්ධ වග්ග) පෙළ දහමෙහි අපට හමුවන මෙම කල්‍යාණ මිත්‍රයා වහන්සේ පිළිබඳවත් උන්වහන්සේගේ පෞරුෂයෙහි සුවිශේෂත්වය පිළිබඳවත් එක්තරා බමුණු සැදැහැවතෙක් බුදුගුණ වරුණ පිළිබඳව සටහනක් බෞද්ධ සාහිත්‍ය පොතපතෙහි ප්‍රචලිතව සඳහන්ව ඇත. මෙම බ්‍රාහ්මණ විද්වතා කවරෙක් ද? ඔහු විසින් බුදුරජාණන් වහන්සේගේ ශරීර ලක්ෂණ හඳුන්වාදුන් අයුරු පැහැදිලි කරන්න.

පිළිතුර

දහම් අධ්‍යයනයෙහිදී මෙම විශේෂිත තැනැත්තා අපට හමුවෙයි. කූටදන්ත සූත්‍ර දේශනාවෙහි පැහැදිලි කරන පරිදි “උන් වහන්සේ ‘අභිරොපො දස්ස නීයො” මනා රූසපුවෙන් දුටුවන් මන නන්දනය කරගන්නේය. ‘අබුද්දාවකාසො දස්සනාය” උන්වහන්සේ කොයි කාහට වුවත් සමීප විය හැකි කෙනෙකි. යැයි ගුණ වැණිය. තවද උන්වහන්සේගේ වචන හා විලාසය කල්‍යාණ වාචො” කල්‍යාණ වාක්කරනො ආදි වශයෙන් පැසසුමට ලක් කළහ. කූට දන්ත බ්‍රාහ්මණයා විසින් අසිරිමත් බුදු පිළිවෙතෙහි උසස් ආචාරශීලි පැවතුම් මහත් සේ වැනුමට මෙසේ ලක්කොට ඇත.

එහි සාගතවාදී – හමුවීමට පැමිණෙන් වුන් සාදරයෙන් පිළිගනී.

සඛිලො – පි‍්‍රයභාෂයෙන් කථා කරයි.

සම්මෝදකො – ආ මග තොරතුරු විමසමින් පිළිසඳරෙහි යෙදෙයි.

අබිභාකුටිකො ඇහි බැම නොමනාපයෙන් හකුළා නොගනි.

උත්තානමුඛො – විවෘතව ඍජුව මුහුණ දෙස බලා කතා කරයි.

පුබ්බභාසි –ආගන්තුකයන් සමඟ පළමුව කථා කරයි.

විහිත පුබ්බංගමා – මුහුණෙහි මද සිනහවෙන් යුක්තව පිළිසඳරෙහි යෙදෙයි.

(දී.නි. කූටදන්ත සූත්‍රය)