Print this Article


දැහැමෙන් ලොව දිනමු

දැහැමෙන් ලොව දිනමු නිර්මාණ පිටුව වෙන්වන්නේ ළමා පරපුරේ, නිර්මාණශීලී දක්ෂතා ඇගයීම හා වැඩිදියුණු කිරීම පිණිසය. ඔබගේ ගැදි පැදි, සිතුවම්, දහම් ගැටලු විසඳුම්, ‘දැහැමෙන් ලොව දිනමු’ සංස්කාරක බුදුසරණ කර්තෘ මණ්ඩලය, ඩී.ආර්. විජයවර්ධන මාවත, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට යොමු කරන්න. සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් තිබේ නම් එය ද සඳහන් කරන්න.


දහම් දැනුම

01. භෝගයන්ගේ විනාශ මුඛයට තුඩුදෙන කරුණු මොනවාද?

1. මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානය කිරීම.

2. අවේලාවේ වීථි සංචාරය

3. නෘත්‍ය දර්ශනයට යෑම.

4. දූ කෙළිය

5. පාප මිත්‍ර සේවනය

6. අලසකම

02. සුරාවේ දෝෂ හයකි. ඒ මොනවාද?

1. ධනය විනාශ වීම

2. රෝග ඇති වීම

3. කලහ ඇතිවීම

4. අපකීර්තිය ඇතිවීම

5. ලජ්ජාව නැතිවීම

6. නුවණ දුබලවීම

03. අලසකමේ දෝස හයකි. ඒ මොනවාද?

1. ඉතා උදේ වැඩි යැයි කර්මාන්ත නොකිරීම

2. දවල් වැඩි යැයි කර්මාන්ත නොකිරීම

3. සීත වැඩි යැයි කර්මාන්ත නොකිරීම

4. උෂ්ණ වැඩි යැයි කර්මාන්ත නොකිරීම

5. බඩගිනි වැඩි යැයි කර්මාන්ත නොකිරීම

6. කුස පිරී වැඩි යැයි කර්මාන්ත නොකිරීම

04. සතර අගති මොනවාද?

1. එක් පාර්ශවයකට ඇති කැමැත්ත නිසා අනෙක් පාර්ශවයට කරන අසාධාරණය (ඡන්දාගති)

2. වෛරය හා තරහව නිසා අන්‍යයන්ට කරන අසාධාරණය (ද්වේශා ගති)

3. එක් පාර්ශවයට ඇති බය නිසා අනෙක් පාර්ශවයට කරන අසාධාරණය (බයාගති)

4. මෝඩකම නිසා අන්‍යයන්ට කරන අසාධාරණය (මෝහාගති)

05. කර්ම ක්ලේශ හතරකි. ඒ මොනවාද?

1. ප්‍රාණඝාතය

2. අදත්තාදානය

3. කාමමිථ්‍යාචාරය

4. මුසාවාදය වශයෙන් වේ.

06. දසරාජ ධර්ම මොනවාද?

1. දානය, 2. ශීලය 3. පරිත්‍යාගය 4. සෘජුබව 5. මෘදු බව 6. තපස 7. අක්‍රෝධය 8. අවිහිංසාව 9. ඉවසීම 10. අවිරෝධය


වෙලාවට වැඩ කරමු

යන්ත්‍ර සූත්‍ර නොතිබුණු අතීතයේ අපේ පැරැන්නෝ අලි ඇතුන් හීලෑ කරගනිමින් තමන්ගේ වැඩ පහසු කරගත්තා. විශාල පිරිසක් එක්වූවද එසවිය නොහැකි බරක් ඔසවන්නට, එහෙ මෙහෙ ගෙන යන්නට ගත වුණේ ඉතාම සුළු කාලයක්. මේ නිසාම අලි ඇතුන් සම්බන්ධ කරගනිමින් විවිධ ජන කියමන් නිර්මාණය වුණා. ‘ගිය නුවණ ඇතුන්ලවාවත් අද්දවන්න බෑ’ යන්න එවැනි කියමනක්.

වරදක් කළොත්, අතපසුවීමක්, මඟ හැරීමක් සිදුවුණොත් ආපසු නිවැරැදි කළ නොහැකි බව ඉන් හැඟවෙනවා ජීවිතයේ ඇතැම් වැරැදි නිවැරැදි කර ගත හැකි වුණත් වරදක් නිසා සිදු වූ පාඩුව, කැළල, මකා දැමිය නොහැකියි. යම් දෙයක් කරන්නට කියන්නට පෙර ඒ ගැන හොඳින් සිතා බලන්නට විමසිලිමත්වන්නට ඕනෑ ඒ නිසයි.

දුවේ! පුතේ ! මවුපියන්ගේ වටිනාම සම්පත ඔබයි. පාඩම්වැඩ අතපසු කරනවිට, වැරැද්දක් කරනවිට ඔවුන් තරවටු කරන්නේ අනාදරයකට නොවේ. ඔබ අනාගතයේ දුකක්, කරදරයක් නැතිව ජීවත්වන හොඳ මිනිසකු වෙනවා දකින්නටයි.

පුංචි ඔබ රැක බලා ගන්නට දිවා රෑ නොබලා වෙහෙසෙන අම්මට, තාත්තට ඔබගෙන් ද ප්‍රති උපකාර ලැබිය යුතුයි. ප්‍රති උපකාර කරන්නේ කෙසේද? මවුපියන්ගේ අරමුණ ඔබ හොඳින් ඉගෙන ගන්නවා දැකීමයි. පොතපත බලන්නට තිබෙන කාලය විනෝදයට, කෙළි සෙල්ලම් පිණිසම ගත කිරීම සුදුසු නෑ. වර්තමානයේ නම් කුඩා දරුවන් පවා ජංගම දුරකථනවලින් විවිධ ක්‍රීඩාවලට යොමු වෙනවා.

කෑමට, බීමට, සිරුර වෙහෙසෙන ක්‍රීඩාවකට වේලාවක් නෑ. ඉතින් දරුවො ලෙඩ වෙනවා. ඒ වගේම අම්ම, තාත්තා, සහෝදර සහෝදරියන් සමඟ සතුටින් කාලය ගත කරන්නට වුවමනාවක් නෑ. ඔබත් එවැනිදේට අනවශ්‍ය ලෙස කාලය වෙන් කළොත් අනාගතය අඳුරු වෙන්නට පුළුවන්.

ඔබ ඉගෙනීමෙහි අදක්ෂයෙක් වුණොත්, අකීකරුකම් කළොත්, වැරැදි කළොත් සමාජය වැරැදි කියන්නේ මවුපියන්ටයි. ‘දරුවො හරියට හැදුවා නම් මේ විදිහට වැරැදි කරන්නේ නෑ’ කියලා මුලින්ම දොස් කියන්නේ අම්මට, තාත්තටයි. මේ නිසා අතපසු නොකොට කළ යුතු දේ නිවැරැදිව කලට වේලාවට කරන්නට අද පටන් හිතට ගන්නට ඕනෑ.

දුවේ පුතේ! අප ජීවත්වන කාලය වේගයෙන් ගෙවී යනවා. දවස උදාවෙනවා. දවස ගෙවෙනවා. සතියක් උදාවෙනවා. සතියක් ගෙවෙනවා. කාලය ගෙවී යන වේගයෙන් අපිත් වේගවත් වන්නට ඕනෑ. හොඳම දේ කාලය කළමනාකරණය කර ගැනීමයි. දවසේ වැඩ කාල සටහනකට අනුව බෙදා ගැනීමෙන් කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට පුළුවන්. අධ්‍යාපන කටයුතුවලට වගේම ක්‍රීඩාවට, විනෝදයටත් කාලය වෙන් කරන්නට ඕනෑ. ජීවිතය සමබර වන්නේ එවිටයි. නිරෝගී වන්නේ, පෞරුෂයෙන් යුතු දරුවෙක් වන්නේ එවිටයි.

ඒ වගේම ළමා කාලයේ ළමයින්ට සුදුසු දේ මිස තරුණ අයියලා, අක්කලා වැඩිහිටියන් කරන කියන දේ අත්හදා බලන්නට හොඳ නෑ. ළමයාට සුදුසු දේ පමණක් කළ යුතුයි. ගෙවී ගිය ළමා කාලය නැවත එන්නේ නෑ. එහි අගය වඩාත් හොඳින් දැනෙන්නේ වියපත් වූ දිනෙකයි. මේ නිසා අනාගතයේ සතුටින් ජීවත් වන්නට ළමා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමු. හොඳ දරුවන් වෙමු...


මිහිඳු හාමුදුරුවෝ

ශ්‍රී ලංකාවට නිර්මල බුදු දහම රැගෙන වැඩියේ මිහිඳු මහරතන් වහන්සේ ය. අනුබුදු මිහිඳු හිමි යන නමින් හඳුන්වන්නේද උන්වහන්සේමය. මිහිඳු මහරහතන් වහන්සේ දෙවන පෑතිස් රජ සමයේ පොසොන් පෝ දිනක ධර්ම දූත පිරිසක් සමඟ දඹදිව සිට හෙළ දිවට වැඩි සේක. ලංකාවේ භික්ෂු ශාසනය පිහිටුවා, සංඝමිත්තා තෙරණිය මඟින් භික්ෂුණී සසුන පිහිටුවාලීමටද අනුබුදු මිහිඳු මා හිමියෝ පුරෝගාමී වූ සේක. උන්වහන්සේ බුදු දහම කියා දීම නිසා අපේ රටේ ආගමික, ජාතික, සංස්කෘතික හා සමාජයීය වශයෙන් සුවිශාල වෙනසක් ඇතිවිය. පස් පවින් වැළකුණු ජනතාවක් මෙරට බිහි වුණි.


නොසැලෙති දුකෙහි නො ඇලෙති සැපෙහි පඬිවරු

සබ්බත්ථ වේ සප්පුරිසා වජන්ති
න කාම කාමා ලපයන්ති සන්තෝ
සුඛේන පුට්ඨා අථ වා දුඛේන
න උච්ඡාවචං පණ්ඩිතා දස්සයන්ති

(සිඟන්නන්ගේ දොස් වදාළ පන්සියයක් භික්ෂූන් වහන්සේ අරභයා බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දකි)

වරක් බුදුරජාණන් වහන්සේ වේරඤ්ජ නම් බමුණාගේ ආරාධනාවෙන් පන්සියයක් භික්ෂූන් වහන්සේ සමඟ වේරඤ්ජාවෙහි වස් විසූහ. නමුත් බමුණාට මාරයා ආවේශ වී සිටි හෙයින් දෝ ඔහු භික්ෂූන්ට සංග්‍රහ නොකළේ ය. භික්ෂූන්ට ආහාර හිඟ විය. වස් කාලය නිමවා දෙව්රම් වෙහෙරට වැඩි, දුර්වලව සිටි භික්ෂූන් වහන්සේට සැවැත් නුවර වැස්සෝ දන් දෙන්නට වූහ. එකල පන්සියයක් පමණ සිඟන්නෝ විහාරයෙහිම නැවතී භික්ෂූන් වළඳා ඉතිරි වූ මධුර ආහාර කා නිදා නැගී සිට ගංතොටට ගොස් මහත්සේ හඬ නඟමින් මල්ලව පොර අල්ලමින් ක්‍රීඩා කරන්නට වූහ. විහාරයෙහිම ඇතුළතත් පිටතත් අනාචාර කෙරෙති. දන් සබෙහි රැස් වූ භික්ෂූන් ද ඇවැත්නි, මේ සිඟන්නෝ දුර්භික්ෂ කාලයෙහි වේරඤ්ජාවෙහි දී කිසි විකාරයක් නොකළාහුය. දැන් මධුර ආහාර කා නොයෙක් විකාර කරති. භික්ෂුහු වනාහි වේරඤ්ජාවෙහි දීත් උපශාන්තව විසූ අතර දැනුත් උපශාන්තව වසන සේක්දැයි කතාවක් ඉපදවූ සේක. බුදුන් වහන්සේ මෙම කාරණය මුල්කොට ඉහත ගාථාව දේශනා කළ සේක.

ආදර්ශය –

පැසසුම් හමුවේ උදම් නො වෙන්නත්

නින්දා ගැරහුම් සමව සිතන්නත්

ජය පැරදුම ළඟ නොසැළී ඉන්නත්

සිතට සවිය සම්බුදු දහමයි

සැමටම කරුණා දයාව පාමින්

සුව සම්පත නිරතුරුවම විඳිමින්

දිනෙකදි සසරින් එතෙරට යන්නට

මහා සවිය සම්බුදු දහමයි