ලෝලත්වයෙන් මිදෙමු චඉන්ද්‍රිය දමනය කර ගනිමු
කොළඹ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය
පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි
"ලෝලත්වය සහජ මනෝභාවයක් වුවද දැඩි ලෝලත්වය විනාශයට හේතුවක් වේ."
පරවියෙකු හා කපුටෙකුගේ අතීත කථාවක් ඇසුරෙන් ආහාරයට ගිජු වූ භික්ෂුවක් අරබයා 42 වන
කපෝත ජාතකය දේශනා කර තිබේ. බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝසතාණන්
වහන්සේ පරවි යෝනියෙහි උපන්නේය. එකල බරණැස් වැසි ජනයා පින් කරගැනීමේ අරමුණෙන්
කුරුල්ලන්ගේ පහසුව පිණිස තැනින් තැන කුඩා කූඩු එල්ලා තැබූහ.
බරණැස් නුවර සිටාණන්ගේ අරක්කැමියා ද තම මුළු තැන් ගෙය සමීපයෙහි එක් කූඩුවක් එල්ලා
තැබීය. බෝසත් පරවියා එහි වාසය කළ අතර දිනපතා ගොදුරු සොයා ගොස් සවස් කල එහි පැමිණ
වාසය කළේය. දිනක් එක්තරා කපුටෙක් ඒ අසලින් පියාසර කරන්නේ මුළුතැන් ගෙයි පිසින ලද
ආහාරවල සුවඳ ආඝ්‍රණය කොට එහි ලෝභ උපදවා ගත්තේය. අනතුරුව එම රසවත් ආහාර ලබා ගන්නේ
කෙසේදැයි නුදුරු තැනක හිඳ පරීක්ෂා කරන්නේ සවස් කාලයෙහි බෝසත් පරවියා පැමිණ කූඩුවට
ඇතුල්වනු දැක ඌ සමග මිත්‍ර වී මෙම රසවත් ආහාර ලබාගත හැකි යැයි වටහා ගත්තේය. පසු දින
බෝසත් පරවියා ගොදුරු සොයමින් යන අවස්ථාවෙහි උගේ පිටු පසින් පියාසර කළේ ය. කපුටාගේ
මෙම හැසිරීම දුටු බෝසත් පරවියා කවර හේතුවක් නිසා තමා පිටුපස පැමිණේදැයි විමසා
සිටියේය. එයට පිළිවදන් දුන් කපුටා, තමා පරවියාගේ හැසිරීම පිළිබඳ ප්‍රසාදයකින් සිටින
බවත් එවැනි උතුම් හැසිරීමක් තිබෙන ඔබට උපස්ථාන කරමින් ඔබ සමඟ වාසය කිරීමට කැමැති
බවත් ප්‍රකාශ කළේය. බෝසත් පරවියා කපුටාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එහෙත් කපුටා
එයින් නොනැවතී එසේ නම් ඔබ සමඟ එක්ව ගොදුරු සොයා යන්නට අවසර දෙන්නේ දැයි විමසා
සිටියේ ය. බෝසත් පරවියා එයට එකඟතාව පළ කළ අතර කපුටා, පරවියා සමඟ ගොදුරු සොයා අනුභව
කරමින් රාත්‍රී කාලයෙහි එකම කූඩුවෙහි වාසය කළේ ය. ගොදුරු සොයා යන ගමනේදී කපුටා ගොම
පි¼ඬක් පෙරලා එහි ඇති පණුවන් හා කුරුමිණියන් ඇතිතාක් අනුභව කොට කුස පුරවාගෙන පරවියා
වෙත පැමිණ කියා සිටියේ ඔබ බොහෝ වේලාවක් ආහාර ගන්නා බවත් එසේ නොකර භෝජනයෙහි පමණ දැන
කටයුතු කිරීම වැදගත් බවත්ය. ටික දිනක් ඇවෑමෙන් කපුටා තම අදහස ක්‍රියාත්මක කිරීමට
කල්පනා කළේය. සුපුරුදු පරිදි එක් දිනක උදැසන ආහාර සොයා යාමට පරවියා විසින් කැඳවූ
අවස්ථාවෙහි කපුටා පවසා සිටියේ තමන් උදරාබාධයකින් පෙළෙන හෙයින් අද දින ආහාර සොයා
යාමට නොපැමිණෙන බවයි. කපුටාගේ සහජ කුසගින්න හා ආහාර ගැනීමේ අසාමාන්‍ය පුරුද්ද දන්නා
බෝසත් පරවියා එය කපුටාගේ කූට උපායක් බව අවබෝධකරගත් අතර කපුටන්ට කිසි දිනෙකත්
උදරාබාධයක් නොවැළදෙන බවත්, තුන් යම් රාත්‍රියෙහි එක් යාමයකදී කුස ගින්න දරාගැනීමට
නොහැකිව සිහි මූර්ඡා වන බවත්, මෙය මස් කෑමට ඇති කැමැත්ත නිසා සිදුකරන ව්‍යාජ
හැසිරීමක් බවත් එසේ නොකර තමන් සමඟ ගොදුරු සොයා යාමට පැමිණෙන ලෙසත් දන්වා සිටියේය.
එහෙත් කපුටා පවසා සිටියේ උදරාබාධය නිසා පැමිණිය නොහැකි බවයි. ව්‍යාජ ලෙඩක් පෙන්වා
කූඩුවේ නතර වූ කපුටා අරක්කැමියා පිළිබඳ පරීක්ෂාවෙන් සිටියේය. මේ අතර ආහාර පිළියෙල
කළ අරක්කැමියා ආහාර බඳුන්වල උණුසුම මදක් අඩුවන තෙක් අඩක් වසා මුළුතැන් ගෙයින්
බැහැරට ගොස් දහඩිය පිසමින් එළිමහනෙහි රැඳී සිටියේය. මෙය දුටු කපුටා තම උපක්‍රමය
ක්‍රියාත්මක කිරීමට සුදුසු වේලාව එය බව දැන මුළුතැන්ගෙට පියාසර කොට එහි අඩක් වසා
ඇති එක් ආහාර බඳුනක පියන මත සිටගත්තේ ය. කුඩා මස් කැබැල්ලකින් සෑහීමකට පත් නොවී
විශාල මස් කැබැල්ලක් ගෙන ගොස් කූඩුවේ වැතිර රසවිඳිමියි සිතා විශාල මස් කැබැල්ලක්
ඩැහැ ගැනීමට සූදානම් විය.
එැසැනින් එම බඳුනෙහි පියන සෙළවුන අතර අරක්කැමියාට එම ශබ්දය ඇසී වහා මුළු තැන්ගෙය
කරා පැමිණියේ ය. කපුටා දුටු අරක්කැමියා කෝපයට පත්ව දොර කවුළු වසා ඌ අල්ලාගෙන තටු
ගලවා ඉඟුරු මිරිස් දුරු ආදී කුළු බඩු ගෙන දිය කොට එහි ගිල්වා කුණු භාජනයට දැමීය.
සවස් කාලයේ කූඩුව කරා පැමිණි බෝසත් පරවියා වේදනාවෙන් පෙළෙන කපුටා දුටු අතර සියල්ල ඌ
සිතූ පරිදි සිදු වී තිබෙන බව වටහා ගත්තේ ය. අනතුරුව කපුටා අමතා, “ඔබගේ ගිජු කම නිසා
මේසා විශාල විපතකට පත්වූයේ වේදැයි” පවසා ඉතා ඉක්මනින් එම ස්ථානය අතහැර පළා ගියේ ය.
වේදනාවට පත් කපුටා ටික වේලාවකින් මරණයට පත් විය. ලොල් බව නිසා විනාශයට පත් වූ
එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අරබයා දේශනා කොට වදාළ මෙම ජාතක කථාවෙන් ප්‍රධාන වශයෙන්
පෙන්වා දෙන්නේ නුවණැතියන්ගේ උපදෙස් නොපිළිපදින තැනැත්තා විනාශයට පත්වන බවයි.
ලෝලත්වය සහජ මනෝභාවයක් වුවද දැඩි ලෝලත්වය විනාශයට හේතුවක් වේ. ආහාරයට ගිජු වී අගෝචර
තැනකට ගොස් කපුටා තම ජීවිතය විනාශ කරගත්තාක් මෙන් ඇතැම් පුද්ගලයන් ද අපත්‍ය ආහාර
නිතර පරිභෝජනය කිරීමෙන් ජීවිතය විනාශ නොවුණත් ඒ හා සමාන දුකකට හා වේදනාවකට පත්ව ඇති
අවස්ථා කොතෙකුත් අසන්නට ලැබේ. ආහාරපාන කෙරෙහි පමණක් නොව මතට මෙන්ම ලිංගික කාමය
කෙරෙහි ලොල් වීමෙන් ද ජීවිතය අඳුරුකරගත් පුද්ගලයන් රැසක් දක්නට ලැබේ. අපගේ ඇසුර පතා
එන්නන්ගේ විවිධ අභිලාස හා බලාපොරොත්තු තිබිය හැකිය. ඇතැමෙක් අවංකව අප ගැන කල්පනා
කොට ඇසුරට එන අතර බහුතරයක් තම පටු අවශ්‍යතා වෙනුවෙන් ඇසුරු කරන අවස්ථා සුලභය. කපුටා
පරවියාගේ ඇසුර බලාපොරොත්තු වූයේ තම පටු අරමුණ වෙනුවෙන්ය. කපටි අවස්ථාවාදී
පුද්ගලයාගේ ගති ලක්ෂණ කපුටාගේ චරිතයෙන් මැනවින් නිරූපණය වේ. කපටි පුද්ගලයා අන් අය
වර්ණනා කරන්නේ අවස්ථාවාදී අරමුණෙන්ය. පරවියා කෙරෙහි පැවති කපුටාගේ ප්‍රසාදය ද අවංක
එකක් නොවේ. එය ව්‍යාජ ප්‍රසාදයකි. බෝසත් පරවියාගේ බුද්ධිමත් බව නිසා කපුටාගේ කපටි
අවස්ථාවාදී හැසිරීම පිළිබඳ නිසි අවබෝධයක් තිබුණි. එනිසා ඔහුගේ කූට උපක්‍රමවලට හසු
නොවී අනතුරෙන් බේරීමට ඌට හැකි විය. එහෙත් බොහෝ දෙනෙකුට එවැනි කපටි අවස්ථාවාදී
පුද්ගලයන්ගේ නියම ස්වරූපය දත හැකිවන්නේ කරදරයේ වැටීමෙන් අනතුරුව ය. අවස්ථාවාදී
පුද්ගලයන්ගේ ව්‍යාජ වර්ණනා හා ප්‍රසංශා කෙරෙහි විශ්වාසය තැබූ වැදගත් පුද්ගලයන් පසු
කලෙක සමාජ අපවාදවලට ලක් වූ අවස්ථා කොතෙකුත් අසන්නට ලැබේ. බොහෝ තරුණ පිරිස්
අවස්ථාවාදී පුද්ගලයන්ගේ ව්‍යාජ ආදරය හා සෙනෙහස කෙරෙහි ආසක්ත වී අධ්‍යාපනය, තරුණ
ජීවිතය මෙන්ම දෙමාපියන්ගේ බලාපොරොත්තු ද විනාශ කරගත් අවස්ථා නිතර අසන්නට ලැබේ. තමාට
නොගැලපෙන අවස්ථාවාදී පුද්ගලයන් ලංකර ගැනීමෙන් තමාට හිමි වටිනාකම් ද නැතිකරගැනීමට
සිදුවන බව පරවියාට තම වාසස්ථානය අතහැර යාමට සිදුවීමෙන් පැහැදිලි වේ. එසේම
නුවණැතියන්ගේ අවවාද අනුශාසනා නොපිළිපදින තැනැත්තාගේ ජීවිතයේ ඛේදනීය අවසානය කපුටාට
තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමෙන් ප්‍රකට වේ.
කපටි සදාචාර වාදියෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථාවක් ලෙස කපුටා විසින් පරවියාට
ආහාර සම්බන්ධයෙන් දෙන උපදෙස්වලින් පැහැදිලි වේ. කුස පුරා පණුවන් අනුභව කළ කපුටා
පරවියාට ආහාරයෙහි පමණ දැනීම සම්බන්ධයෙන් දෙන අවවාදය තමා සම්මතෙහි පිහිටා කරන ලද්දක්
නොවේ. එය කුහක පිළිවෙතකි. විවිධ වැරදි කරමින් සාධු සම්මත පුද්ගලයන් සේ පෙනි
සිටිමින් අන්‍යයන්ට උපදෙස් සපයන ඇතැම් පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වීම අවශ්‍ය වේ. අන්
අයට අවවාද කිරී
මට පෙර තමා පරමාදර්ශී විය යුතුය යන්න බුදුසමයේ පිළිගැනීමයි. කපෝත
ජාතකයේ සමස්ත පරමාදර්ශය වන්නේ ලෝලත්වයෙන් මිදී ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව
නුවණැතියන්ගේ උපදෙස් පිළිපැදීමේ වැදගත් කමයි.
|