Print this Article


පහන් සිතක කවි

මරණයට අවසරයි

පණ කෙන්ද ඩැහැ ගන්න
වට වෙලා මාරයන්
බැහැ යන්න තව ඉන්න
ඕනෑ සුවහසක් කල්
සිතිවිල්ල හදවතේ
ගුලි වෙලා පැල් බැඳන්
කය කියයි යමු යන්න
දුර්වලයි අප දැන්
දෙඅත් වාරු නොමැත.
දෙපා පණ නැතිය අද
නෙත් දෙකද අඩ අඳය
මතකය ද අමතකය
තවත් ජීවත් වෙන්න
කය එපා කියයි නම්
හදවතේ සිතිවිල්ල
පසෙකලා හුනස්නෙන්
හුස්ම පොද ඉවතලා
හනික එමි කැමැත්තෙන්
එහෙත් ආපසු හැරෙමි
ගෙන යන්න දෙයක් යම්
මලු ඇරිමි නෙත යැවීමි
පින් හිඟයි පව් වැඩියි
ඉතින් කුමක් කරන්නැයි
මතකයට නගා ගමි
සිරි පතුල වැන්දදා
එ පින සිත ගුලි කරන්
පණ කෙන්ද හරින්නම්


මිතුරු වෙස්

වළකා සිනහවන් හසරැල් කනක මුතු
දොඩවා හිමි සමඟ සිත් කකියවන ගතු
සලසා කඳුළු ගලනට ඇස් කෙවෙන රතු
මොනවට දමනවද සුදු රෙදි උරයෙ එතු

මිනිසත් බවෙන් පිරිපුන් මේ මිහිරි ලොවේ
තවකෙකු කපා නම ඉස්මතු කෙරුව දිවේ
සැනසෙනු හැකිද කෙනෙකුට දුක් දෙමින් පවේ
උරුමය ඔබට නිරයෙහි නම් අහිමි නොවේ

කා බී සතකු අහුලා මෙහි හැදෙන ගෙඩී
ජීවත් වුණාවේ මේ තුරු අරණෙ වැඩී
එම්බා මලේ අත්තෙන් බිම නොවැටි කැඩී
හිනැහෙන්නේ කෙලෙස මේ මල සමඟ පොඩී

උපදින බවෙන් බවට මතු සසර පුරා
හමු වී දැන හඳුනගමු බව අඳුර ඉරා
කෙරුවා ඇසුර මිතුරිය ලෙස නොසිට හොරා
එනමුදු අපිත් ජීවත් වෙමු මැරෙන තුරා


හෙළ කුල කුමරියනි

කරලට නැතොත් දෙකකට කොණ්ඩය ගොතලා
අත් බෝරිච්චි හැට්ටෙට මන්තය බැඳලා
රැලි කළ ළමා සාරිය නාබිය වහලා
හෙළ කුල කුමරියනි සැරැදේවා නුඹලා

හැට්ටෙන් පිට පපුව ඉණ තෙක් වැසෙන නියා
අත්දෙක දෙවැලමිට තරමට දිගට තියා
සලු ඇඳි බොලැට තෙක් විලිබිය රැකෙන නියා
හෙළ කුල, කතුන් සමරමු බැති පෙමින් දයා


නමදිමු බැතින් වට්ටාරාම

ගෞතම බුද්ධ රාජධානියෙ අවසාන
රහතන් මලියදෙව් නාහිමි මිණිපාන
වැඩසිටි විහාරය රජමහ අභිමාන
නමදිමු බැතින් වට්ටාරම රජදාන


නික්මීම

ඔබ ලද මේ මිණිස් උපත
මතු එන කප් සුවහසකට
නො ලබන මහ පින් පලයකි
හිස ගිනි ගත් එකෙකු ලෙසට
දහමට හද සිත යොමන්න

තිලකුණු මත විදසුන් දැක
රා දොස් මෝ කුණු දිය සිඳ
පස්කඳ බිම තබා නැගෙනු
අනන්තයේ නිවන් සුවට
සකුණෙකු නුබ සරණ ලෙසින්