Print this Article


මිතුරු නොවන මිතුරන් හඳුනා ගනිමු

මිතුරු නොවන මිතුරන් හඳුනා ගනිමු

" යම් පුද්ගලයන් කෙරෙහි සද්ධාව නොමැතිද, දුස්සීල වෙයි ද ධර්ම විනය නොදන්නේ වේද, මසුරුකම ඇත්තේ වේද, නුවණ නැත්තේ වේද ඔවුහු පාප මිත්‍රයෝ වෙති. මෙම අමිත්‍රයින් සිංහ ව්‍යාඝ්‍රාදී වන සතුන්ගෙන් වන භය ඇති මාර්ගයක් මෙන් දුරින්ම දුරු කළ යුතු ය."

නමෝතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මංපි සමනුපස්සාමි යෙන අනුප්පන්නාවා අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නාවා කුසලාධම්මා පරිහායන්ති යථා ඉදං භික්ඛවෙ පාප මිත්තතා, පාපමිත්තස්ස භික්ඛවෙ අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති. උප්පන්නා ච කුසලාධම්මා පරිහායන්තී’ ති.

අංගුත්තර නිකායෙහි ඒකක නිපාතයෙහි ඇතුළත් ඉහත දැක් වූ පාඨයෙහි සිංහල අර්ථය නම්, යමක් හේතුකොටගෙන නූපන්නා වූ අකුසල කර්ම උපදින්නේ නම්, උපන්නා වූ කුසල ධර්ම පිරිහෙයි නම් එයට මූලික වන්නේ පාප මිත්‍ර ඇසුර බවයි. පාප මිත්‍රයන් ඇත්තා හට නූපන්නා වූ අකුසල ධර්ම උපදියි. උපන්නා වූ කුසල ධර්ම පිරිහෙයි.

මේ අනුව බැලූ කල පාප මිත්‍ර ඇසුර මිනිසෙකු පරිහානිය කරා යොමු කරවීමට කෙතරම් බලපාන්නේ ද යන්න මනාව පැහැදිලිය. යම් පුද්ගලයන් තුළ සද්ධාව නොමැතිද, දුස්සීල වෙයි ද ධර්ම විනය නොදන්නේ වේද, මසුරුකම ඇත්තේ වේද, නුවණ නැත්තේ වේද ඔවුහු පාප මිත්‍රයෝ වෙති. එවැනි අය හා යම් ඇසුරු කිරීමක් වේද, නිතර ඇසුරු කිරීමක් වේද, මනාව කරන ඇසුරු කිරීමක් වේද, භජනයක් වේද, නිතර කරන භජනයක් වේද, ඔවුන් කෙරෙහි භක්තියක් වේද, සිත, කය හා වචනය යන තිදොරින් ඔවුන් හා නැඹුරුවූ බවක් වේද එය පාප මිත්‍ර ඇසුරයි. මෙවන් පාප මිත්‍රයන් ඇති පුද්ගලයාට නූපන් අකුසල් උපදින අතර උපන් කුසල් පරිහානියට පත් වේ.

මිනිසාගේ ලෞකික සම්පත් විනාශයට හේතුවන කරුණු සයක් බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දී දේශනා කළහ. ‘පාපමිත්තානුයොගො භෝගානං අපාය මුඛං’ යනුවෙන් එහි කියැවෙන පරිදි පාප මිත්‍රයන් හා නැවත නැවත එක්ව කටයුතු කිරීම අපාය මුඛයකි. අපාය මුඛය නම් වස්තු විනාශයට හේතුවන කරුණුයි. සුරා පානයෙහි නැවත නැවත යෙදීම, නොකල්හි වීථි සංචාරයෙහි නැවත නැවත යෙදීම, නෘත්‍යාදිය දැකීම පිණිස නෘත්‍ය ශාලාවෙත නැවත නැවත යාම, දූ කෙළියෙහි නැවත නැවත යෙදීම, අලසභාවෙන් යුක්තවීම යන සෙසු අපාය මුඛ නම් වූ වස්තු විනාශයට හේතුවන කරුණුවලට මෙම පාප මිත්‍ර සේවනය කෙතරම් දුරට සම්බන්ධ වේ දැයි සිතා බැලිය යුතු ය. පාප මිත්‍ර සේවනය සමඟම සෙසු අපාය මුඛයන් අත්වැල් බැඳගෙන පවතින බව ද පැහැදිලි කරුණකි.

පවිටු මිතුරන් ඇසුරු කිරීමෙහි යෙදුණු පුද්ගලයා මෙලොවින් සේම පරලොවින් ද පිරිහෙයි. සුරා පානයෙහි දී පමණක් මිත්‍රවන ‘පාන සඛ’ නම් මිතුරෙකු පිළිබඳව ද තමා ඉදිරියෙහි මිත්‍රය, මිත්‍රය කියමින් මිත්‍රත්වය හඟවමින් තමා නොමැති තැන සතුරු වූ මිතුරෙකු පිළිබඳවද, යම්කිසි කාර්යයක් එළඹි කල්හි පමණක් ලාභ ප්‍රයෝජන තකා, මිතුරුවන පුද්ගලයෙකු පිළිබඳව ද උගන්වා තිබේ.

මෙලොව මිත්‍ර නොවූ හෙවත් පසමිතුරු වූ මිත්‍ර ප්‍රතිරූපකයෝ සිව් දෙනෙක් වෙති. එයින් හිස් අතින් පැමිණ මිතුරාගෙන් යමක් ගෙන යාමට උත්සාහ කරන්නා අඤ්ඤදත්තුහර ලෙසද, වචනයම පමණක් ප්‍රධාන කොට ඇති තැනැත්තා වචීපරම ලෙසද, හොඳ නරක දෙකම එකසිතින් අනුමත කරන්නා අනුප්පියභාණී ලෙස ද පරිහානිය සඳහාම පමණක් සහාය වන්නා අපාය සහාය ලෙස ද දක්වා ඇත. මිතුරු වෙසින් සිටිනා මෙම අමිත්‍රයින් සතරදෙනාම සිංහ ව්‍යාඝ්‍රාදී වන සතුන්ගෙන් වන භය ඇති මාර්ගයක් මෙන් දුරින්ම දුරු කළ යුතු ය.

මිතුරාට උපකාරයක් ම කරන උපකාරක මිත්‍රයා ද, දුක සැප දෙකෙහිදීම සම සිතින් ඇසුරු කරන සමාන සුඛ දුක්ඛ මිත්‍රයාද, අර්ථයක්ම සලසන හෙවත් දෙලොව දියුණුවටම මග කියාදෙන අත්ථක්ඛායි මිත්‍රයා ද අනුකම්පා කරන ස්වභාව ඇති අනුකම්පක මිත්‍රයා ද ඇසුරු කළ යුතු ය.

කාය දුශ්චරිතාදී අකුසල ධර්මයන්හි ඇලුණු පාප මිත්‍රයන් සේවනය නො කළ යුතු ය. පහත් ක්‍රියාවන්හි ඇලුණු අධම පුද්ගලයින් සේවනය නො කළ යුතු ය. බුද්ධාදී උතුමන් කෙරෙහි අපමණ සැදැහැයෙන් යුක්ත වූ හා කාය සුචරිතාදී කුසල කර්මයන්හි ඇලුණු කල්‍යාණ මිත්‍රයන් ම සේවනය කළ යුතු ය. පහත් ක්‍රියාවන්ගෙන් තොර වූ උතුමන් සේවනය කළ යුතු ය. මෙලොව දුසිරිතෙන් තොරව සැනසීමෙන් ජීවත්ව පරලොව ජීවිතය ද සුවපත් කරගත හැකි වන්නේ එසේ ක්‍රියා කිරීම තුළින් ය.