Print this Article


පාපයේ සාපයෙන් අපායේ සෝකයෙන්

පාපයේ සාපයෙන් අපායේ සෝකයෙන්

සැරියුත් මහරහතන් වහන්සේ විසින් ධනංජානි බමුණාගෙන් නැවතත් මෙසේ ප්‍රශ්න කරනවා. ධනංජානි කියන්න, මෙලොව යම් කෙනෙක් දැසි දස් කම්කරුවන් වෙනුවෙන් අධර්මයේ හැසිරෙනවා නම් නපුරු ලෙස හැසිරෙනවා නම් මරණය හා සමඟ නිරපල්ලන් විසින් ඒ අධර්මයේ හැසිරුණු නපුරු, නරක ලෙස හැසිරුණු පුද්ගලයා නිරයට ඇදගෙන යන විට මේ දැසි දස් කම්කරුවන් වෙනුවෙන් මම අධර්මයේ හැසිරුණෙමි. කෲර ලෙස නපුරු ලෙස හැසිරුණෙමි.

ඒ නිසා මා නිරයට නොගනිත්වායි පැවසුවත්, ඒ දැසි දස් කම්කරුවන් විසින් මේ අය අප නිසා අධර්මයේ හැසිරුණා, නපුරු ලෙස හැසිරුණා, මේ නිසා නිරයට ඇදගෙන යන්න එපා යැයි පැවසුවත් එය එසේ වෙයිද? සැරියුත් තෙරණුවන් වහන්ස, එසේ නොවන්නේය. මේ පුද්ගලයා හඬා වැළපී කෑ ගසද්දීම නිරපල්ලන් විසින් නිරයට අරගෙන යන බව ඉතා පැහැදිළියි.නැවතත් සැරියුත් තෙරණුවන් වහන්සේ මෙසේ ප්‍රශ්න කරනවා. ධනංජානි ඔබට කුමක් ද සිතෙන්නේ. මෙලොව යම් කෙනෙක් මැති ඇමැතිවරුන්, හිත මිතුරන් වෙනුවෙන් අධර්මයේ හැසිරෙනවා නම්, විෂමචාරීව හැසිරෙනවා නම් ඒ අය ඒ අධර්මයේ හැසිරීම නිසා නිරයට ඇදගෙන යන විට මම මේ පව් සිද්ධ කළේ අධර්මයේ හැසිරුණේ, මේ හිතමිතුරන් නිසා යැයි සඳහන් කළත්, ඒ හිත මිතුරන් විසින් මේ අය මේ වැරැදි දේ සිද්ධ කළේ අධර්මයේ හැසිරුණේ අප නිසා යැයි පැවසුවත්, නිරපල්ලන්ගෙන් සමාවක් ලැබෙයි ද? ඔහු නිරයෙන් ගලවා තබයි ද? එසේ නොවන්නේය, නිරපල්ලන් විසින් ඔහු නිරයට ම ඇදගෙන යන්නේය.

වර්තමාන පරිසරයෙහි යම් කෙනෙක් යහළු යෙහෙළියන් නිසා, තමාට වඩා ඉහළින් සිටින පිරිස යැයි රටක්, පළාතක් පාලනය කරන අය වෙනුවෙන් පස්පව්වල යෙදී සිටින බවක් පෙනේ. ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම, බොරුකීම විශේෂයෙන් වේගයෙන් පැතිරීගෙන යන සුරාවට මත්ද්‍රව්‍යයන්ට හුරුවීම් ආදී වශයෙන් මේවා ගැන සඳහන් කළත් ඒ පාපකාරී ජීවිතයේ ඵලයන් ලෙස නිරයෙන් ගැලවීමක් නම් නොවන්නේය. යහළු හිත මිතුරන් නිසා හෝ යම් අයෙක් වෙනුවෙන් යම් වූ පාපී ක්‍රියාවන් සිදු කළත්, තමා ගිලන්වන විට තමා දිරාගෙන යන විට මරණ මංචකයේ වැතිරී සිටින විට ඒ අයගෙන් තිබෙන පිහිට කුමක් ද? යම් විටක යම් මාත්‍ර උපකාරයක් කළත් එය තාවකාලිකම වන්නේය. මරණ මංචකයේ වැතිරී සිටින පුද්ගලයාගේ සිතට නැගෙන තමා කළ පස් පව් මතක් වන විට ඉන් ඇතිවන දැවෙන තැවෙන පිළිස්සෙන මානසික ස්වභාවයෙන් ගළවා ගැනීමට ඒ යහළු හිතමිතුරන්ට හැකියාවක් පවතියි ද? ඔවුන් විසින් ඔබ අමතක කොට දමනු ඇත. ඒ ලෝක ස්වභාවයයි. ඔබ විසින් පාපයේ යෙදුණු අන් අයත් අමතක කොට දමනු ඇත. පාපී පුද්ගලයන් මතකයේ තබා ගැනීම තමන්ට ම මානසික කරදරයකි. එකතු වී පාප කර්මවල යෙදෙන පුද්ගලයෝ ඒ පාප කර්මයේ යෙදෙන අවස්ථාවේ පමණක් ඔවුනොවුන් සම්බන්ධව සිට ඉන් පසුව හැකිතාක්දුරට උත්සාහ කරන්නේ වෙන්ව කටයුතු කිරීමටයි. එයට හේතුව පාපයෙන් ලැබෙන විපාකය මෙලොව හෝ පරලොව වශයෙන් බෙදාගැනීමට කිසිවකුත් කැමැති නොවීමයි. මේ පිළිබඳව මනාසේ සද්පුරුෂ ජනයා විසින් කල්පනා කොටගත යුතුමයි.

සැරියුත් තෙරණුවන් වහන්සේ නැවතත් ප්‍රශ්න කරති. ධනංජානි කියන්න කුමක් ද ඔබ මේ ගැන සිතන්නෙ. මෙලොව යම් කෙනෙක් ඥාතීන් වෙනුවෙන් හෝ පස්පව් දස අකුසල් කිරීම නම් අධර්මයේ හැසිරෙනවා නම්, විෂම වූ චරිත පැවැත්මක් ඇති කර ගන්නවා නම් ඒ පැවැත්ම නිසා නිරපල්ලන් විසින් නිරයට ඇදගෙන යන වෙලාවේ මම මේ සියල්ල සිද්ධ කළේ මේ ඥාතීන් වෙනුවෙන් යැයි පැවසුවත් ඒ ඥාතීන් විසින් මේ වැරැදි මේ පුද්ගලයා විසින් කරනු ලැබූයේ තමන් නිසා යැයි පැවසුවත් ඒ වැරැදි කළ පුද්ගලයාට ගැලවීමක් තිබෙයි ද? නිරපල්ලන්ගෙන් ගැලවීමක් පවතියි ද? නිරයට දැමීමෙන් බැහැරවීමක් පවතියි ද? එසේ නොවන්නේමය. ඒ පුද්ගලයා හඬත්දී, වැළපෙද්දීම, කෑගසද්දීම නිරපල්ලන් විසින් ඔහු නිරයට දමන්නේ ය.

සැරියුත් මහ රහතුන් වහන්සේ මේ ලෙසින් ආගන්තුකයන් වෙනුවෙන් අධර්මයේ හැසිරීම පිළිබඳවත් ඒ වගේ ම මිය ගිය ඥාතීන් වෙනුවෙන් කියා යාග හෝම කිරීම් වශයෙන් හෝ මිය ගිය ඥාතීන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම් වශයෙන් හෝ වෙනයම් සිරිත් විරිත් කිරීම් ආදී වශයෙන් හෝ පැවසීම් අවස්ථාව හෝ ඒ වගේ ම දෙවියන් වෙනුවෙන් හෝ ආගමික චාරිත්‍ර වෙනුවෙන් හෝ වැරැද්දේ යෙදෙනවා යැයි සඳහන් කළත් නිරයේ වැටීමෙන් නිරපල්ලන්ගෙන් බේරීමක් පවතියි ද? විශේෂයෙන් ම දෙවියන් වෙනුවෙන් අධර්මයේ හැසිරීමෙන් මරණ මංචකයේ වැතිරී සිටින ඒ පාපකාරී පුද්ගලයාට දෙවියන්ගෙන් ලැබෙන පිහිට කුමක් ද? දෙවියන් වෙනුවෙන් බිලි පූජා පවත්වන අය දෙවියන් වෙනුවෙන් යැයි කියා විවිධ චාරිත්‍ර වාරිත්‍ර කරන්නට සොරකම් කරමින් කටයුතු කරන අයට පවා නිරපල්ලන්ගෙන් සමාවක් නොලැබෙන බව මේ ධර්ම කතාවෙන් පැහැදිළි වන්නේ ය.

මේ පුද්ගලයා මේ විෂමචාරීව අධර්මයේ හැසිරුණේ අප නිසා යැයි පවසන්නට එම දෙවියන් ඉදිරිපත් වූවත් දෙවියන්ගේ වචනයට නිරපල්ලන් විසින් සවන් නොදෙන්නේ ය. ඒ නිසා ආගමික චාරිත්‍ර වෙනුවෙන් හෝ දෙවියන් වෙනුවෙන් හෝ ප්‍රාණඝාත, සොරකම් ආදී පස්පව්වලට යොමු නොවීම මේ ධර්ම කතාවෙන් වඩාත් ම මතුකොට දක්වන්නේ ය.කිසිදු ආගමික චාරිත්‍රයක් වෙනුවෙන් සිත කය වචනය යන තුන් දොර අධර්මයට යොමු නොකළ යුතු බව බුද්ධ ශ්‍රාවක, ශ්‍රාවිකාවන් විසින් වඩාත් ම සිත්හි දරා ගත යුතු වන්නේ ය. දෙවියන්ගෙන් යම් දෙයක් බලාපොරොත්තුවෙන්, තවත් කෙනෙකුට වෛර කිරීම්, පළිගැසීම්, නපුරුකම් කිරීම් ආදී දුෂ්චරිතයන්ට විෂමචාරී චරිතයන්ට යොමුවීමත්, හැසිරීම්වලට යොමුවීමත් නුවණින් කල්පනාකොට බලන්න. කෙනෙකු වෛරීව දෙවියන් ඉදිරියේ පොල් ගැසීම, දෙහි කැපීම ආදී වශයෙන් කටයුතු කිරීම මොනතරම් අකුසල චේතනාවක් දැයි නුවණින් කල්පනා කළොත් ඔබට මේ ගැටලුව විසඳාගත හැකි වන්නේ ය. තමාගේ සිතෙහි දූෂ්‍යවන යම් වූ ද පාපී සිතිවිල්ලක් ඇතිවන්නේ නම් ඒ කෙසේවත් නොඉවසිය යුතු බවත් එය බැහැර කළ යුතු බවත් ඉවත් කළ යුතු බවත් නැවත එවැනි පාපී සිතිවිල්ලක් හට නොගන්නා තත්ත්වයට පත් කරගත යුතු බවත් ධර්ම කතාව වන්නේ ය.

උප්පන්නං කාම විතක්කං
නාධිවාසේති පජහති විනෝදේති
බ්‍යන්ති කරෝති අනභාවං ගමේති
උප්පන්නං ව්‍යාපාද විතක්කං
නාධිවාසේති පජහති විනෝදේති
බ්‍යන්ති කරෝති අනභාවං ගමේති
උප්පන්නං විහිංසා විතක්කං
නාධිවාසේති පජහති විනෝදේති
බ්‍යන්ති කරෝති අනභාවං ගමේති

ඉපදුනා වූ එනම් තම සිතේ හටගත් දැඩි ආශාවෙන් යුක්ත කාම සිතිවිල්ල හෝ උපන්නා වූ ව්‍යාපාද හෙවත් තරහ සිතිවිල්ල හෝ උපන්නා වූ අනුන්ට කරදර කිරීමේ හෝ හිංසා සහගත සිතිවිල්ල හෝ සිතෙහි වැඩෙන්නට නොදිය යුතු බව එනම් නොඉවසිය යුතු බව සඳහන් වේ. එය බැහැර කළ යුතු වන්නේය. එය ගලවා දැමිය යුතු වන්නේ ය. එය ඉවත් කළ යුතු වන්නේ ය. නැවත සිතෙහි නො ඉපදිනා ආකාරයට සිත ශක්තිමත් කර ගත යුතු බවට පත් කරගත යුතු වන්නේ ය යනු එහි අදහසයි. එහෙම නම් දෙවියන් වෙනුවෙන් වූවද, රජුන් හෝ රටක් පාලනය කරන අය වෙනුවෙන් වූව ද අධර්මචාරීව හෝ විෂමචාරීව නොහැසිරිය යුතු බව ධර්ම කතාවේ ඉතාම හොඳින් පැහැදිලි වන්නේ ය. යම් කෙනෙක් එසේ අධර්මචාරීව හැසිරීමෙන් තමන්ට බොහෝ දුක්ඛ, දෝමනස්සයන්ට පැමිණීමත් අර තමන් තවත් අය වෙනුවෙන් කැප වුණා කියන තැනින් තමන්ට පසු කලෙක ලැබුණු ඵලය පිළිබඳවත් නුවණින් සිතා බලන්න. අධර්මයේ හැසිරීමෙන් ලැබෙන පංචස්තාපය විනා වෙන කිසිවක් ඉතිරි නැති බව සම්‍යක් දෘෂ්ඨියෙන් යුක්තව කර්මය හා ඵලය පිළිබඳ අවබෝධයෙන් යුක්තවම තේරුම් ගත යුතු වන්නේ ය. බොහෝ දෙනා තම තමන්ගේ ලාභ ප්‍රයෝජන පිණිස තවත් පිරිසක් අධර්මයට නතු කරගෙන අධර්මයෙන් තම බොහෝ සම්පත් රැක ගැනීමට උත්සාහ කරන බවත්, තමා විසින් ම තමාගේ ජීවිතයටත් තමන් ඇසුරු කරන පවුල් පරිසරය පටන් සියලු දෙනාටමත් යහපත පිණිස ධර්මයේ ම හැසිරිය යුතු බව මේ ධනංජානි බමුණාගේ කතාවෙන් පැහැදිලි වන්නේය. සැරියුත් මහරහතන් වහන්සේ විසින් පැහැදිලි කොට දේශනා කරන්නේ ද එම අදහසයි.

සැරියුත් මහ රහතන් වහන්සේ නැවතත් මෙසේ ප්‍රශ්න කරනවා. ධනංජානි ඔබට කුමක් ද හැඟෙන්නේ, එනම් මෙලොව යම් කෙනෙක් කය පිනවන්න කියා, කය වඩන්න කියා අධර්මයේ හැසිරෙනවා නම්, විෂම චාරීව හැසිරෙනවා නම් නිරපල්ලන්ගෙන් ගැලවීමක් ඔහුට තියෙනවාද? ඒ අධර්මයේ හැසිරීම නිසා තමන්ගේ කය පිනවීම, ජීවිතය පැවැත්වීම, කුසගින්න නැතිවීම ආදී වශයෙන් සඳහන් කොට පාප කර්ම කිරීම නිසා නිරයට ඇදගෙන යන විට ඔහුට ගැලවීමක් තිබෙනවාද? මම මේ සියල්ලම සිද්ධ කළේ මගේ ජීවිතය පවත්ව ගන්න, ජීවත්වන්න කියා සඳහන් කළත් ඒ නිසා මා නිරයට ගන්නට එපා කියා සඳහන් කළත් ඔහුට ගැලවීමක් තිබෙනවාද? ඔහුට කිසිසේත්ම නිරයේ වැටීමෙන් ගැලවීමක් නොවන්නේමය. නිරපල්ලෝ ඔහු නිරයට ම රැගෙන යන්නේ ය.ධනංජානි බ්‍රාහ්මණයා මෙසේ ද සඳහන් කරනවා. සැරියුත් තෙරණුවන් වහන්ස මට වැටහෙනවා මොනතරම් ඒ පුද්ගලයා හැඬුවත්, වැළපුණත්, කෑ ගැසුවත් නිරපල්ලන් විසින් ඔහු නිරයටම රැගෙන යනවා.