පරම දුර්ලභ
ක්ෂණ සම්පත්තිය
පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
වටිනා මනුෂ්‍ය ජීවිතයකට උරුමකම් ලද අපට මහත් වූ දුර්ලභ අවස්ථාවක් දැන් උදාවී
තිබෙනවා. බොහෝ දෙනෙකුට මේ මනුෂ්‍ය ජීවිතය දුර්ලභයි කියා තේරෙන්නේ නැහැ. ඔවුන්
සිිතාගෙන ඉන්නේ නැවත නැවතත් මේ මනුෂ්‍ය ජීවිතයම අපට ලැබේවි කියා කෙසේවත් එය එසේ
වන්නේ නැහැ.
දුර්ලභ මිනිසත් බව ලැබීම
බුදුරජාණන් වහන්සේ “මනුෂ්‍ය චුති” සුත්‍රයේ දී වදාළා මහණෙනි, මනුෂ්‍ය ලෝකයේ ජීවත්
වන අය අතරින් බොහෝම ස්වල්ප දෙනයි මිය ගියාට පසු නැවත මනුෂ්‍ය ලෝකයේ උපදින්නේ.
උපමාවක් ලෙස එකරුණ පෙන්වා වදාළ භාග්‍යවතුන් වහන්සේ නියසිලට පස් ස්වල්පයක් ගෙන අසනවා
“මහණෙනි, මේ තථාගතයන් වහන්සේගේ නියසිල මත පිහිටි පස්ද වැඩි. නැතිනම් මහපොළොවේ තිබෙන
පස්ද වැඩි” කියලා. ඉතින් ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ
පිළිතුරු දුන්නේ ස්වාමිනි
භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ නියසිල මත කෙතරම් ස්වල්පයක්ද පස්
තිබෙන්නේ. සංසන්දනය කළ විට මහපොළොවේ තිබෙන පස්මයි වැඩි. මහපොළොවේ තිබෙන පස්
ප්‍රමාණය තථාගතයන් වහන්සේගේ නියසිලේ තිබෙන පස් ප්‍රමාණය මෙන් සිය ගුණයක්, දහස්
ගුණයක් ලක්ෂ කෝටි ගුණයක්ය කියා ප්‍රමාණ කරන්න බැහැ. මහපොළොවේ තිබෙන පස්මයි වැඩි.
ඉතින් ඒ වෙලාවේ සියල්ල දන්නා,දක්නා වූ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වදාළා “එසේනම්
මහණෙනි දැනගන්න. මනුෂ්‍ය ලෝකයේ ජීවත් වන මිනිසුන් අතරින් මැරුණාට පස්සේ නැවත මනුලොව
උපත ලබන්නේ මේ නියසිලට ගත් පස් ස්වල්පය වගේ බොහෝම ටික දෙනයි. සංසන්දනය කළ විට
මහපොළොවේ ඇති පස් ප්‍රමාණය මෙන් මිනිසුන් ප්‍රමාණයක් මනුලොවින් චුත වූ විට නැවත
උපදින්නේ සතර අපායේ. මෙකරුණ අප කැමැති වුණත්, අකැමැති වුණත් පිළිගත්තත් නො
පිළිගත්තත් එය තමයි මනුලොව වෙසෙන බොහෝ දෙනෙකුගේ සැබෑම ඉරණම.
නිතර යන එන – මහගෙදර
ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළා බොහෝ දෙනෙක් උපදින මේ සතර අපාය සංසාර ගත
සත්ත්වයාගේ මහගෙදර වගේ කියලා. ඒක උපමාවක්. මහගෙදර කියන්නේ අප ඉපදුන, බොහෝ කාලයක්
ජීවත්වන ස්ථානය. පුංචි කාලයේ අප පාසල් ගියත් පාසල අවසන් වූ පසු නැවත එන්නේ ගෙදරට.
සෙල්ලමට ගියත්, රැකියාවට ගියත්, විනෝද ගමන් ගියත්, පිටරටකට ගියත් ආපසු එන්නේ අප
බොහෝ කාලයක් ගත කළ මහගෙදරට. සාමාන්‍ය ජීවිතයේදී මහගෙදරට එනවා වගේ බුදුරජාණන් වහන්සේ
පෙන්වා වදාළා සංසාරගත සත්ත්වයාටත් මහ ගෙදරක් තිබෙනවා. සංසාරගත සත්ත්වයාගේ මහගෙදර
වන්නේ සතර අපාය. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව අප සුළු කලකටයි මනුස්ස ලෝකයක
දිව්‍ය ලෝකයක, බ්‍රහ්ම ලෝකයක උපතක් කරා යන්නේ. එතැනින් ආයුෂ ගෙවී චුත වූ විගස බොහෝ
දෙනෙකු උපදින්නේ සතර අපායේ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ සතර අපාය සංසාරගත සත්ත්වයාගේ
මහගෙදර වශයෙන් වදාළේ.
කණ කැස්බෑවා
විය සිදුරෙන් අහස බැලීම
දැන හෝ නොදැන කෙනෙක් සතර අපායේ වැටුණොත් එයින් නිදහස් වෙලා නැවත සුගතියකට ඒ කියන්නේ
නැවත මනුෂ්‍ය ලෝකයක, දිව්‍ය ලෝකයක උපත ලබනවා යන කාරණය ඉතාමත් දුර්ලභයි. “ජිග්ගල
සූත්‍රයේ” දී සුගතියේ ඉපදීමේ දුර්ලභ බව ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.
“පින්වත් මහණෙනි, මේ මහා පෘථිවියෙහි පොළොවක් නොමැතිව සාගරය පමණක් තිබෙනවා කියා
සිතන්න. මේ මහා සාගරයෙහි එක සිදුරක් ඇති වියගහක් පාවෙනවා. වියගහ කියන්නේ නගුලෙහි
පාවිච්චි කරන ලී කඳකට. ඔබ වියගහ දැක නැත්නම් හිතන්න සිදුරක් තිබෙන ලී කෑල්ලක්
සාගරයෙහි පාවෙනවා කියලා. ඉතින් මේ වියගස උතුරින් හමන සුළඟට දකුණට ගසාගෙන යනවා. ඔය
අතර නැඟෙනහිරින් සුළඟක් හැමුවොත් බටහිරට ගසාගෙන යනවා. එකතැන තියෙන්නේ නැහැ. පොළොවක්
නොමැති නිසා වෙරළකට ගොඩ ගසන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා මහෙණිනි සාගරයෙහිම
පත්ලෙහි එක ඇසක් නොපෙනෙන කණ කැස්බෑවෙක් වාසය කරනව. මේ කණ කැස්බෑවා දිය මතුපිටට
පැමිණෙන්නේ අවුරුදු සියයකට වතාවක් . දිය මතුපිටට එනවිට අහඹු ලෙස සාගරයේ පාවෙන
වියගහත්, කණ කැස්බෑවත් එකට මුණ ගැසී ඒ වියගසේ විය සිදුර තුළින් කැස්බෑවා අහස බලනවා
කියන සිද්ධිය සිදුවෙන්න පුළුවන් දෙයක්ද? භාග්‍යවතුන් වහන්ස, බොහෝ කාලයක් ගතවී වුවද
කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා යන කරුණ සිදුවන්නට පුළුවනි. නමුත් මහණෙනි, සතර
අපායේ වැටුණා වූ සත්ත්වයෙක් නැවත සුගතියකට පැමිණෙනවා යන කාරණය ඒ තරම් ඉක්මනට සිදු
නොවන්නකි.
ක්ෂණ සම්පත්තිය මුණ ගැසීම
ඔබ කල්පනා කර බලන්න මේ මොහොතේ අප කෙතරම් වාසනාවන්ත පිරිසක්ද කියලා. කණ කැස්බෑවා විය
සිදුරෙන් අහස බලනවාටත් වඩා දුර්ලභ අවස්ථාවක් ලෙස මනුෂ්‍ය ජීවිතයක් අපට උරුමවෙලා
තිබෙනවා. ඒ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම අප තේරුම් ගත යුතුයි.
ඒ විතරක් නොවෙයි සසරට වැටුණ සත්ත්වයෙක් හට සුලභව මුණ නොගැසෙන ඉතාමත් දුර්ලභ තවත්
වාසනාවක්, භාග්‍යයක් අපට මුණගැසී තිබෙනවා. ඒ බුදුරජානන් වහන්සේගේ ධර්මය අවබෝධ
කරගන්නට ඇති හැකියාව. මේ ලෝකයේ ශ්‍රී සද්ධර්මය ඇසූ අයට වඩා නොඇසූ අයමයි වැඩි.
භාග්‍යවතුන් වහන්සේ අක්ඛණ සූත්‍රයේදී වදාළා
* මහණෙනි, ථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙක් දහම් දෙසන කල්හි යම් පුද්ගලයෙක්
නිරයේ ඉපදී ඇත්නම් ඔහුට ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව අහිමියි.
* තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු දහම් දෙසන කල්හි යම් පුද්ගලයෙක් තිරිසන්
ලෝකයේ ඉපදී සිටීනම් ඔහුට ද ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව අහිමියි.
* තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු දහම් දෙසන කල්හි යම් පුද්ගලයෙක් පේ‍්‍රත
ලෝකයේ ඉපදී සිටීනම් ඔහුට ද ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව අහිමියි.
* තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු දහම් දෙසන කල්හි යම් පුද්ගලයෙක් දීර්ඝ ආයුෂ
ඇති අසඤ්ඤී ලෝකයේ ඉපදී සිටීනම් ඔහුටද ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව අහිමියි.
* තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු දහම් දෙසන කල්හී යම් පුද්ගලයෙක් ඈත
අතිශයින්ම අඥාන මිලේච්ඡ මිනිසුන් වසන ප්‍රත්‍යන්ත ජනපදයක ඉපදී සිටීනම් ඔහුටද ශ්‍රී
සද්ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව අහිමියි.
*තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු දහම් දෙසන කල්හි යම් පුද්ගලයෙක් නියත
මිත්‍යා දෘෂ්ඨික බැසගෙන සිටීනම් මධ්‍යස්ථ සිතින් ධර්මයට ඇහුම්කම් නොදෙයි නම් ඔහුටද
ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව අහිමියි.
* තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු දහම් දෙසන කල්හි යම් පුද්ගයෙක් මන්ද
බුද්ධිකව, ප්‍රඥාවෙන් තොරව ඉපිද සිටීනම් ඔහුටද ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව
අහිමියි.
* යම් පුද්ගලයෙක් අතිශය ප්‍රඥා සම්පන්නව වහා වැටහෙන සුළු නුවණ ඇතිව උපදින්නේ වුවද
ඔහු ජීවිත්වන කාලය අබුද්ධෝත්පාද කාලයක් නම් ඔහුට ද ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමේ
අවස්ථාව අහිමියි.
එසේ නම් බලන්න අප මේ මොහොතේ නිරයෙන්, තිරිසන් ලෝකයෙන්, පේ‍්‍රත ලෝකයේ, අසඤ්ඤී
තලයෙන්, ම්ලෙච්ඡ දේශයෙන්, නියත මිථ්‍යා දෘෂ්ඨියෙන් අංගවික ල බවින්, අබුද්ධෝත්පාද
කාලයෙන් මිදී මනුෂ්‍ය ජීවිතයක් ලබලා බුද්ධ ශාසනය මුණගැහිලා (බුදුරජානන් වහන්සේගේ
අනුශාසනාවන් අසන්න ලැබිලා) ධර්මය අවබෝධ කළහැකි අය ලෙස ඉපදී සිටිනවා. දුර්ලභ මනුෂ්‍ය
ජීවිතයත් ධර්මය අවබෝධ කළහැකි අවස්ථාවත් යන දෙක එකට මුණගැසීම බුදුරජාණන් වහන්සේ
වදාළේ ක්ෂණ සම්පත්තිය ලෙසයි. මේ ක්ෂණ සම්පත්තිය සංසාරගත පුද්ගලයෙකුට මුණගැසෙන්නේ
පරම දුර්ලභවයි. නමුත් ලෝකය දෙස බලන විට අපට පෙනීයන්නේ මේ පරම දුර්ලභ ක්ෂණ
සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ලබා ගන්නා පිරිස ඉතාමත් අල්ප බවයි.
ඒ නිසා දුර්ලභ මනුෂ්‍ය ජීවිතයත් මුණගැසුණු අවස්ථාවේ නිමක් නැති ආසාවන් පසුපස
දිවයන්නේ නැතිව ගෞතම ශාසනයේ සැබෑම පිළිසරණ ලබන්නට අදිටන් කර ගනිමු.
- නයනා නිල්මිණි |