UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හෙළ ගොවිතැනේ අවිහිංසාව

හෙළ ගොවිතැනේ අවිහිංසාව

" අප ගොඩ නැගෙනුයේ කිසිදු ණයක් නොමැති බරක් නොමැති ජාතියක් වශයෙනි. ඒ සඳහා පෙරහුරුව ලැබෙන්නේ බෞද්ධ ආගමික හා සංස්කෘතික හැඩයෙනි. පැරැන්මෝ තම ජීවිතය කොට ගත්තේ ඉතාම සරල සාධක කීපයකි."

මේ ගසේ බොහෝ පැණි දොඩම් තියේ
පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු
නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතී
වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපි

දුරා අතීතයේ සිට ඉතා ජනප්‍රිය වු මේ කවිය මා ඉතා පුංචිම සංදියේ කට පාඩම් වු කවි දෙක තුන අතර විය. විශේෂයෙන් ම එවකට ඉතා ලස්සන රස වෑහෙන කවියක් වු නමුත් මෙහි ගැඹුරු අර්ථය පිළිබඳ අවධානය තිබුණේ නැත. බෞද්ධ දර්ශනය තුළ කියවෙන අල්පේච්ඡතාවය - අල්පකෘත්‍ය බව, සරල බව, මනාව ඉගැන්වෙන මේ කවියෙන් අපගේ ජීවන වෘත්තාන්තය පෙළගස්වනවා මෙන්ම මිනිසාගේ සහ ලෝක පැවැත්ම උදෙසා ඉතා හොඳ මඟ පෙන්වීමක් කර තිබේ.

අප ගොඩ නැගෙනුයේ කිසිදු ණයක් නොමැති බරක් නොමැති ජාතියක් වශයෙනි. ඒ සඳහා පෙරහුරුව ලැබෙන්නේ බෞද්ධ ආගමික හා සංස්කෘතික හැඩයෙනි. පැරැන්මෝ තම ජීවිතය කොට ගත්තේ ඉතාම සරල සාධක කීපයකි. එහෙයින් ණයක් නොමැති, බරක් නොමැති සමාජ පසුබිමක් ලාංකීය ජන ජීවිතය තුළ විය. මිනිසාගේ පරම යුතුකම මිනිසාට හා පෙනෙන නොපෙනෙන ජීවී - අජීවී වස්තුන් වෙත සේවය කිරීම කොට සැලකූ පැරැන්නෝ මේ මහා පොළොවට පවා බරක් නොමැතිව ජීවත් වූහ. ඒ තුළ ගොඩ නැගුණේ අධ්‍යාත්මික ජිවිතයක්, අධ්‍යාත්මික පරිසරයක්, අධ්‍යාත්මික රටක් ය. අපේ මී මුත්තෝ පාරම්පරික කෘෂි කර්මාන්තය තුළ ඒ වූ ලෝකෝත්තර පදනම අනුව කටයුතු කළ අතර නවීන කෘෂිකර්මාන්තය මත ගොඩ නැගුණු නූතන සමාජය සමඟ අපේ කෘෂි පැවැත්ම පමණක් නොව ඒ මනුෂ්‍ය පදනම පවා අපට අහිමි විය. මානව දයාව - කරුණාව - මෛත්‍රිය, සියලු සත්ත්වයන් සුවපත් වේවා, “සබ්බේ සත්තා භවන්තු සුඛි තත්ථා” යන්න ගොඩ නැගුණු බෞද්ධ සමාජය තුළ ඇති වී තිබූ සියලු කර්මාන්ත ධාර්මික පදනම මත ගොඩ නැගුණු ඒවා විය. විශේෂයෙන් බුදු දහමේ ආභාෂය ලබා ගත් සමාජය බාහු බලය යොදා දහඩිය වගුරවා ධාර්මිකව උපයාගත් දේ දෙලොව දියුණුවට හේතු වන බව දැඩිව විශ්වාස කළහ. මේ අනුව ගොවිතැන අවිහිංසාවාදී කර්මාන්තයක් වශයෙන් දුර අතීතයේ සිට පැවැතගෙන ආහ. එහෙයින් සමස්ත ජීවී - අජීවී වස්තුන් උදෙසාම පැවැත්ම තහවුරු වු බව නොරහසකි. මේ සඳහා විශේෂ අවස්ථා කීපයක් ගොවින් විසින් යොදා ගත්හ.

කන්නයට වගා කිරම සහ එහි විද්‍යාව

කල් යල් බලා ගොවිතැන් කිරීම යනු අවිහංසාවාදී ක්‍රියා පිළිවෙතේ විශේෂ අවස්ථාවකි. එනම් කන්නෙට - කයියට - කලාවට ගොවිතැන් කිරීම තුළින් පූර්ණ වශයෙන් කෘමින්ගේ උවදුර මැඩලීමට හැකි විය. පැරණි ගොවියාට කන්නය පිළිබඳ හොඳ වැටහීමක් තිබුණි. ඡ්‍යොතීර් විද්‍යාව තුළ පෙන්වා දෙන චන්ද්‍ර මාස ක්‍රමය තුළින් වර්ෂා රටාවන් හා වාතය, සුලඟ, ජලය ආදිය පිළිබඳ හොඳ නිර්ණයක් ගත හැකි වේ. වර්ෂාපතනයට ඉතා හොඳ කාල රාමුවක් ඇත. ඒ කාල රාමුව තුළ ගොවිතැන් කිරීමට ගොවියා වග බලා ගත්හ. ඕනෑම කෘෂි නිෂ්පාදනයකට ජලය ප්‍රධාන සාධකය වේ. අපට ජලය ලැබෙන්නේ මෝසම් වැසි වලිනි. මේ වර්ෂා ජලයෙන් වර්ෂය පුරාවට සියලු ශාක සිය ජීවන චක්‍රය සපුරා ගනී. කන්න වගා ක්‍රමය පදනම් වූයේ වර්ෂාව මුල් කරගෙනය. ජල කළමනාකරණය තුළින් කෘමීන්ගේ පාලනය ඉතා ලෙහෙසියෙන් මැඩ පවත්වා ගත හැකි වේ. මේ අනුව කන්නේට - කයියට - කලාවට ගොවිතැන් කිරීම තුලින් අවිහිංසාවාදී ගොවි බිමක් බිහි වේ.

ජෛව විවිධත්වය මත පාලනය

ප්‍රධාන වශයෙන් ගොවි බිමට හානි කරන සතුන් පාලනය කිරීම පරිසරය තුළින් ම සිදු වේ. පැරණි ගොවියා මේ සඳහා ගොවි බිම සූදානමි කර තැබූහ. ගොවි බිමේ හානි කරන සතුන් හත් පංගුවකි. මෙම හත් පංගුව පාලනය සඳහා හිතකර විසිහත් පංගුවක් කෘමින් කුඹුරේ නිරන්තර කාර්යයක යෙදී සිටිති. යම් පරිසරයක කෘමීන් ගහණය යම් සමතුලිතභාවයක පවතී නම්, ජීවියාගේ ස්වාභාවික සතුරන්ද එම පරිසරයේ ජීවත් වීම ඉතා වැදගත් වේ. මෙම ස්වාභාවික මිතුරන් ආරක්ෂා කිරිම වෙනුවෙන් කුඹුරු තුළ නොයෙක් ක්‍රමවේද පැරැන්නෝ භාවිතා කළහ. ඒ අතර පොල්පිති සිටු විම, කණු ගැසීම, පොල් ලෙලි ගැසීම ආදිය විශේෂයෙන් දැකිය හැකිය. කෘමින් පාලනයේදී ප්‍රධාන කොටස් තුනක් දක්නට ලැබේ. විලෝපිකයන්, පරපෝෂිතයින් රෝගකාරකයින් වශයෙනි. මේ ආකාරයට සමස්ත පද්ධතියම ජෛව විවිධත්වය අනුව කුඹුරේ ක්‍රියාකාරිත්වය පාලනය වේ. මෙමඟින් අවිහිංසාවාදී ගොවියෙකු බිහි වේ. එහෙත් නූතනයේ ඇතැම් ගොවියා යනු දඩයක්කාරයෙකුටත් වඩා භයානක පාප කර්ම සිදු කරනු ලබන පුද්ගලයෙකි. කෘමිනාශක ගොවිතැන වෙත යෙදීමෙන් සමස්ත ජීවි පද්ධතියම විනාශ වනවා පමණක් නොව පස, වාතය, ජලය පවා විනාශ වී මිනිසාගේ පැවැත්ම සඳහාද බලපානු ලබයි. අවිහිංසාවාදී කර්මාන්තයක් වශයෙන් ගොවිතැන තවදුරටත් ආරක්ෂා වීමට ජෛව විවිධත්ව ක්‍රියාකාරීත්වයට ඉඩ දිය යුතු නොවේද? එසේම ජෛව භෞතික ශක්තිය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී බිම සැකසීම නිසි පරිදි සිදු කළ යුතුවේ. මඩ ගොවිතැනේ දී ඉතා ක්‍රමවත් බිම් සැකසීමක් සිදු නොවුවහොත් ක්ෂුද්‍ර ජීවින් විශාල ප්‍රමාණයක් සමුල ඝාතනය වේ. එමඟින් පොහොර නිශ්පාදනය භූමිය තුළ ඇණහිටියි. එසේ වුවහොත් කුඹුර සරු කිරීමට රසායනික පොහොර යෙදීමට සිදු වේ. එමගින් සම්පූර්ණ වශයෙන් ක්ෂුද්‍ර ජීවීන් විනාශ වී කුඹුර නිසරු බිමක් බවට පත් වී ක්ෂුද්‍ර ජීවීන් මියැදුණු සොහොන් බිමක් වීමෙන් අවිහිංසාවාදී පදනම එමඟින්ම විනාශයට පත්වේ.

සම්ප්‍රදායන් එක්කර ගැනිම

“කවුඩ කෙවිඩානේ පරඩැල් මහ කොකානේ දිය ගැරඬියානේ රකිම් දුම්බර මහ විදානේ” අහසේ පක්ෂියෝද, උඩුගුවනේ විලෝපික සතුන් ආහාරයට ගැනේ. ගොයමේ මැදි කොටසේ දී පත්‍ර, කඳ, ආශ්‍රිත සතුන් කොකුන් වැනි සතුන් ආහාරයට ගනී. එසේම ජෛව තුලනය පාලනය කරන සතා දියගැරඬියා ය. දියගැරඬියා විසින් ගෙම්බන් වැනි සතුන් ආහාරයට ගනී. මේ ආකාරයට ගොයමේ සමතුලිතභාවය ආරක්ෂා වීමෙන් හා ගොවියාගේ ගොවිතැනේ ක්‍රියාකාරීත්වයෙන් මහ විදානේ රැකෙන බව ඉහත පැරණි කවිය තුළින් පැහැදිළි කෙරේ. හෙළ ගොවිතැනේ චාරිත්‍ර - වාරිත්‍ර ඉතාම සංවිධිතව හා ඒ ඒ පත්තුවලට වෙන් වෙන් වශයෙන් දැකිය හැකිය. ඔවුන්ගේ චාරිත්‍ර - වාරිත්‍ර ඉතාම සම්ප්‍රදායානුකූල, අවිහිංසාවාදී න්‍යායන් වල පිහිටා පරම්පරාවෙන් පරම්පරාවට දායාද වශයෙන් උරුම කර දී ඇති බව විමර්ශනාත්මකව බලන කල පැහැදිලි වේ. නැකත් බැලිම් - භාරහාර වීම් තුළ විද්‍යාත්මක පසුබිමක් ඇති බව හෙළ ගොවිතැනේ ක්‍රියාකාරකම් තුළින් මනාවට පැහැදිලි වේ. නැකත යනු වේලාවයි. වේලාවට, එසේත් නොමැති නම් කල් යල් බලා ගොවිතැන් කිරීමෙන් වැස්ස, සුළං, සෘතු ආදියේ බලපෑම ක්‍රමානුකූලව යොදා ගැනීමෙන්ම කෘමීන්ගේ පාලනය සිදු වේ. වර්ෂාව නොමැති වියළී ගිය ගොවි බිම් වැසි වැටීමත් සමඟ සක්‍රීය තත්වයට පත් වේ. බීජ පැළෑටි රෝපණය වේ. වියළී ගිය පාරිසරික පද්ධතිය සක්‍රීය වීමෙන් කෘමීන් නැවත පණගැන්වී ඔවුන්ගේ ආහාර සොයා යෑම ආරම්භ වේ. ඒ සමඟම කෘමි භක්ෂක සතුන්ද වැඩි වේ. එයට හේතුව කටුස්සා, මකුඵවා, මැඬියා ආදී සතුන්ගේ ප්‍රජනනය වැඩි වේ. මේ මුලික චක්‍රයට ගැලපෙන සේ භෝග වගා කිරීමෙන් කෘමින්ගෙන් වන හානි අවම කර ගැනිමට හැකි වේ. ඒසේම වැස්ස සමගම නයිට්‍රජන් පොළොවට ලැබිමත්, පසේ ජීව කොටස්වල ක්‍රියාකාරීත්වය වැඩි වීමත් නිතැතින්ම සිදු වේ. මේ අනුව නැකත් බැලීම පරිසර විද්‍යානුකූල ක්‍රමවේදයට අනුගත වන්නේ මේ ක්‍රම විකාශනයට අනුවයි. භාරහාර වීම තුළද මෙවැනි විද්‍යානුකූල පසුබිමක් දැකගත හැකි වේ. පැරණි ගොවියා කිරිබත් ගොටු සාදා දේව කන්නලව් කර එම බත් තම කුඹුරු පිටිවලට ගොස් දැමීම සිදු කරනු ලබයි. එමගින් සිදු වන්නේ කුඹුරේ ඇති මෙම බත් ගොටු නෙත ගැටුනු පක්ෂීන් කුඹුරට පාත් වී ඒවා අනුභව කිරීමට පටන්ගත් පසු ඔවුන්ගේ නෙත දෙවනුව ගැටෙනුයේ කුඹුරේ සිටින පණුවන් හා කෘමීන් දෙසටය. ඒ ක්‍රියාවලියේ අවසානය කුඹුර මෙම පක්ෂීන්ගේ ආහාර ගන්නා භූමීයක් වෙමිනි. එමගින්ද කෘමි පාලනය සිදු වේ. භාරහාර ක්‍රමවේදය තවත් ක්‍රමයකි. කොළ අතු භාර කර එය කුඹුරු වෙත ගෙන ගොස් සිටුවීම ආදි නොයෙක් භාරවීම්ද පැරණි ගොවිතැනේ විශේෂයෙන් දැකගත හැකිවිය. ගොවියා පස් පව් වලින් බැහැර වු ධාර්මිකත්වය මත පදනම් කෙනෙකු වීමේ අභිලාෂය ඔවුන් සතුව තිබූ ප්‍රධානම අරමුණ විය. එම කාර්යය තුළින් සිදු වූයේ අවිහිංසාවාදී ගොවිතැනට ගොවියා පත්වීමයි.

මෙම ලිපියේ තවත් කොටසක් නවම් අවඅටවක පෝදා (පෙබරවාරි 18) පත්‍රයේ පළවේ

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා අපරභාග 07.30 ට ලබයි. 11 වන දා සෙනසුරාදා පූර්ව භාග 06.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 10 වන දා සිකුරාදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 18 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]