UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහ සඟ ගණ මහ ගුණ කඳ

මහ සඟ ගණ මහ ගුණ කඳ

" අපේ බුදුරජාණන් වහන්සේ විසින් ආහුණෙය්‍ය” කියලා සූත්‍රයක් දේශනා කර තිබෙනවා. ආහුණෙය්‍ය යන වචනයේ තේරුම වන්නේ සැදැහැති දායක කාරකාදීන් විසින් ඈත දුරබැහැර සිට පවා රැගෙනවිත් පිරිනමනු ලබන සිවුපසය පිළිගැනීමට භික්ෂූන් වහන්සේ සුදුසුවන බවයි."

පින්වත, ඔබ බෞද්ධයෙක්දැයි ඔබෙන් කවුරු හෝ විමසුවහොත් ඔබ ඇත්තටම බෞද්ධ දෙමවුපියන්ගෙන් පැවැත එන අයෙකු නම් එක් වරම දෙන පිළිතුර වනුයේ ‘ඔව් මම බෞද්ධයෙක්’ යන්න විය යුතු යි. ඇත්තටම බෞද්ධයෙක් වීමේ මූලික අදහස වන්නේ අපේ දෙමවුපියන් නිසා අප බෞද්ධ වීම නොවෙයි.

තෙරුවන් පිළිබඳ විමසන කොට අදහස් කරන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන මේ රත්නත්‍රයයි. අද බුදුරජාණන් වහන්සේ සැබවින්ම ජීවමාන වන්නේ නැහැ. උන්වහන්සේ පිරිනිවී ගොස් බොහොම කල්. ධර්මය කියා අප අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයයි. ඉතින් මේ ධර්මය බුදුරජාණන් වහන්සේ වැඩ සිටි අවධියේ සිට ආනන්ද ආදී මහා ශ්‍රාවකයන් වහන්සේලා විසින් සිත්හි දරාගෙන පළමුවෙනි ධර්ම සංගායනාවෙන් පසු ඒ ඒ කොටස් වෙන් වෙන් වශයෙන් එක් එක් ප්‍රධාන සංඝ නේතෘන් වහන්සේලාට හා උන්වහන්සේලා විසින් පරපුරෙන් පරපුරට පවත්වාගෙන යාමට සලස්වා තිබෙනවා. ඉතින් මේ ධර්මය සිත් හි දරාගෙන ඇවිත් මාතලේ අලුවිහාරයේ දී සමස්ත ත්‍රිපිටකය ම පුස්කොළ පොත්වල ලියා පවත්වාගෙන ඇවිත් තිබෙනවා. අද මේ ඔබ අප ජීවත්වන යුගය වන විට මේ බුද්ධ දේශන ධර්මය විවිධ භාෂාවන්ටද පරිවර්තනය කර එසේත් නැතිනම් ඒ ඒ රටවල අක්ෂරමාලාවෙන් ලියා දහම්පොත්පත් වශයෙන් භාවිත කරනවා. දැන් බුද්ධ, ධම්ම, සංඝ කියන මේ රත්න තුනෙන් ම එකම ජීවමාන රත්නය බවට පත්ව තිබෙන්නේ සංඝරත්නයයි. එයින් අදහස් කරන වැදගත් සත්‍යයක් තිබෙනවා. හැබෑවට ම ඒ කාර්යය අද වුවත් වැඩ වාසය කරන මේ උතුම් සංඝ රත්නයෙන් අඩුවක් නැතිව ඉටු වන බව. මොකක් ද? මේ තෙරුවන ම ජීවමාන කර දීම.

තෙරුවන් සරණ යාම කියා අදහස් කරන්නේ මේ රත්න තුනට වන්දනා කරමින්, බුද්ධ පූජාවන් පවත්වමින්. ධර්මපුස්තකයන්ට පවා සුවඳදුම් පූජා කරමින් ගාථාවන් කියා වන්දනා කරමින් ආමිසමය පූජාවන්ට පමණක් යොමු වීම නොවේ. ඊට වඩා විශාල අර්ථයක් මෙහි තිබෙනවා. ඒ තමා බුදුරජාණන් වහන්සේ ජීවමාන කර ගැනීම, ධර්මය ජීවමාන කරගැනීම හා සංඝ රත්නය ජීවමාන කර ගැනීම. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන් දහම් මඟ කුමක්ද? යන මේ කරුණ පිළිබඳ ශ්‍රද්ධාවෙන් මෙන්ම සිහිනුවණින් කරුණු සොයා විමසා අන්ධ භක්තියෙන් නොව සිතීමෙන් විමසීමෙන් ඒ පිළිබඳ සොයා බලා විමසා පිළිගෙන ඒ අනුව තමන්ගේ දිවිපැවැත්ම සකසා ගැනීමයි. එවිටයි තෙරුවනම ජීවමාන වන්නේ.

අපේ බුදුරජාණන් වහන්සේ විසින් ආහුණෙය්‍ය” කියලා සූත්‍රයක් දේශනා කර තිබෙනවා. ආහුණෙය්‍ය යන වචනයේ තේරුම වන්නේ සැදැහැති දායක කාරකාදීන් විසින් ඈත දුරබැහැර සිට පවා රැගෙනවිත් පිරිනමනු ලබන සිවුපසය පිළිගැනීමට භික්ෂූන් වහන්සේ සුදුසුවන බවයි. ඒ සමඟම මෙම භික්ෂූන් වහන්සේ පිළිබඳ ගුණ කීපයක් තවදුරටත් ප්‍රකාශ වෙනවා. ‘පාහුණෙය්‍ය’ එනම් ආගන්තුකව යම් යම් ස්ථානවලට වැඩමවා එවැනි තැන්වලදී පිළිගන්වනු ලබන දානය පිළිගැනීමටද උන්වහන්සේලා සුදුසුවන බවයි. තවදුරටත් කියවෙනවා, ‘දක්ඛිණෙය්‍ය’ කියා මේ කියන වචනයෙන් පරලොව සුවය පතා දායකයන් විසින් පිළිගන්වනු ලබන දානය ලැබීමට උන්වහන්සේලා සුදුසු බව. ඒ වගේම තමා දොහොත් මුදුන් දී සැදැහැතියන් විසින් කරනු ලබන වන්දනාමානයට ද සුදුසුවන බව. මේ කරුණු දිහා බලනවිට උන්වහන්සේ නිසා බොහෝ සැදැහැති දායක දායිකාවන්ට වැඩි වැඩියෙන් පින්සිදු කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ පින්කෙතකට සමාන කරලා බුදුරජාණන් වහන්සේ සංඝ රත්නයේ ගුණ පෙන්වා දී තිබෙනවා. මෙහිදී අප විසින් පැහැදිලිව තේරුම් ගත යුත්තේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ආර්ය මහා සංඝරත්නයේ ගුණ පිළිවෙළක් බවයි. ‘ආර්ය’ යන වචනයෙන් අදහස් කරන්නේ මුලින් කියවුණු තත්ත්වයේ පින්කෙතක් බවට පත්වන්නට එම භික්ෂූන් වහන්සේ අවම වශයෙන් සෝවාන් ඵලයට පත්, ආර්ය තත්ත්වයේ ගැනෙන අයෙකු විය යුතු බවයි.

ආර්ය තත්ත්වයෙහි ලා ගැනෙන භික්ෂූන් වහන්සේ පිළිබඳ තවදුරටත් කරුණු අටක් විස්තර වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. උන්වහන්සේ සතු පළමුවැනි ම ගුණධර්මය වන්නේ සිල්වත් බවයි. තවත් ආකාරයකින් ප්‍රකාශ කරනවා නම් උන්වහන්සේගේ සීලය පිළිබඳ තවත් අයෙකු විසින් අභියෝග කළ නොහැකි ආකාරයෙන් අති පාරිශුද්ධභාවයට පත් ප්‍රාතිමෝක්ෂ සංවරශීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සන්නිශි‍්‍රත ශීලය, ආජීව පාරිශුද්ධි ශීලය යන මේ සතර සංවරශීලයෙන්ම යුක්ත වීමයි. මෙයින් පැහැදිලි කර දෙන්නේ භික්ෂුවගේ සීලය සිදුරු ඇති තැනක් දැකිය නොහැකි ආකාරයෙන් උන්වහන්සේ සිල් ගුණයෙන් සපිරි බවයි. අනූන බවයි. දෙවනුව උන්වහන්සේ ‘බහුශ්‍රැත’ විය යුතුයි. බහුශ්‍රැත බව නම් ඥානයේ පිරිපුන් බවයි. ලෝකයේ පරම සත්‍යය වන අනිත්‍යය මනාව වටහාගැනීමේ ශක්තිය ඇතිව සිටින භික්ෂුරත්නයෙකි. එපමණක් නොව ඒ දැනුම අතිශයින් පිරිපුන් වූවක් ද වෙනවා. මෙහිදී උන්වහන්සේ ධර්මධර වෙනත් උත්තමයන්ගේ ඇසුර ලබා ඒ පිළිබඳ මනා පරිචයක් ඇති අයෙකු වන බවයි. මෙයින් විස්තර වන්නේ, ඒ වගේ ම උන්වහන්සේ මනා දැක්මක් ඇතිව වාසය කරන භික්ෂුවක් වෙනවා. කිසියම් ආකාරයකින් උන්වහන්සේ වැරදි දැක්මක් ඇති කර ගන්නේ නැහැ. තම ඥානය මෙහෙයවා ලොව දෙස බැලීමේ ශක්තියක් ඇතිව ක්‍රියා කරනවා. ඉතා සියුම් ලෙස තම දැක්ම පිරිසුදු කර ගෙන සිටිනවා. එපමණක් නොව උන්වහන්සේ කල්‍යාණ මිත්‍රයෙකු බවට පත් වෙනවා. කිසිවෙකුට වෙනසක් නැහැ. හැම දෙනාටම හොඳ නරක කියා දෙමින් වැඩ අවැඩ පෙන්වා දෙමින් සමාජය නිවැරදි කිරීමේ දැවැන්න පරිශ්‍රමයක යෙදී සිටින උතුමෙක්. ඒ වගේ ම උන්වහන්සේ වටා කලණමිතුරන් එක්රැස් වෙනවා. උන්වහන්සේ ජීවත්වන්නෙත්, කල්‍යාණමිත්‍ර සමාගමක සාමාජිකයෙකු වශයෙනුයි. ඒ වගේම තමා කල්‍යාණ ධර්මවලින් කවදාවත් පිටපැනීමක් නැහැ.

උන්වහන්සේ කිසිවිටකත් වැරැදි දෘෂ්ටි මතවාද වලට එකඟ වන්නේ නැහැ. නිවැරැදි සම්‍යක් දර්ශනයෙන් ලෝකයේ පැවැත්ම දෙස බලනවා. එපමණක් නොවේ උන්වහන්සේ ශක්තිමත් වෙනවා, පෙර ජීවිත ගත කළ තත්ත්වය දැන ගැනීමේ නුවණ ලබා ගැනුමට මෙයට කියනවා පූර්වේ නිවාසානුස්මෘති ඥානය කියලා. ඒ අනුව විවිධ පෙර භවයන්හි ඉපදෙමින් මැරෙමින් ගත කරපු ආකාරය දැන ගැනීමේ නුවණයි. ඒ වගේම තවත් උසස් මානසික තත්ත්වයක් වන මිනිස් ඇසින් දැකිය නොහැකි වන තරමින් අතිමානුෂීය තත්ත්වයෙහි ගැනෙන කර්මානුරූපව පරලොව ගිය සත්ත්වයන් විවිධ භවයන්හි උපදින මැරෙන සත්ත්වයන් දැක ගැනීමේ නුවණ ත් මෙවැනි ආර්ය උත්තමයෙකුට ඇති වෙනවා. අවසාන වශයෙන් අප සසර බැඳ තබන ප්‍රධාන හේතුව අප විසින් රැස්කර ගන්නා ආශ්‍රව ධර්මයන්, මේවාටමය කෙලෙස් කියන්නේ, කුසල අකුසල සිතිවිලි පහළ වන්නේ මෙම ආශ්‍රව හෙවත් කෙලෙස් ඇති පුහුදුන් සත්වයාටයි. මෙම ආශ්‍රව ධර්ම තවදුරටත් විස්තර වෙනවා. කාමාසව, භවාසව, දිට්ඨාසව හා අවජ්ජාසව වශයෙන්, ඉතින් මේ පුහුදුන් අප නිතර දෙවේලේ මේ ආශ්‍රව ධර්මයන්ගෙන් පෙළෙමින් තමා කාලය ගත කරන්නේ. ඉතින් මෙම ආර්ය තත්ත්වයට පත් භික්ෂූන් වහන්සේට එම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ලැබෙන ආශ්‍රවයක්කර ඥානය ද පහළ වෙනවා. දැන් පින්වත, ඔබට මැනවින් ම වැටහෙනවා ඇති ආහුණෙය්‍ය කියන මේ ගුණයෙන් යුක්තවන භික්ෂූන් වහන්සේ මොන මට්ටමේ ඉහළ මානසික සංවර්ධනයක් ඇතිව ශීලාදී ගුණයෙන් පිරිපුන් අයෙක් ද? කියන මේ කාරණය.

තෙරුවන් සරණයි.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා අපරභාග 07.30 ට ලබයි. 11 වන දා සෙනසුරාදා පූර්ව භාග 06.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 10 වන දා සිකුරාදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 18 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]