UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධනය සැනසීමට මිස වැනසීමට නොවේ

ධනය සැනසීමට මිස වැනසීමට නොවේ

සියලු යුතුකම් ඉටු කිරීමට හා ජීවිතය පී‍්‍රතිමත්ව ගත කිරීමට හැකිවනුයේ ධනය නිවැරැදිව උපයා ඇතිනම් පමණි. ඒ සඳහා අනලස්ව ධනය ඉපයීම අත්‍යවශ්‍ය වේ. ධනය නිසාම හෝ ධනය සපයන නිසාම හෝ ධනය සඳහාම වෙහෙසෙන, ඒ මතම ගැලී සිටින පුද්ගලයා උසස් පුද්ගලයකු ලෙසින් බෞද්ධ ආර්ථික චින්තනය තුළ නොපිළිගනියි.

ධනයේ උසස්කම අර්ථවත් වනුයේ ධනය ධාර්මිකව ඉපයීම හා උපයන ලද ධනය ක්‍රමවත්ව අර්ථාන්විතව මෙහෙයවන ආකාරය මතය. ධනය තුළින් තමා නසාගන්නකු නොවිය යුතු ය. ඇතැම්හු වස්තු තණ්හාවෙන් අධික ලෙස පෙළෙන අතර නිරතුරුවම එම සිතිවිලිවලින් සිත දූෂිත කරගනී. ධනය නිසාම සිය කායික මානසික සැපය විනාශ කර ගනී. එ නිසා ධනය වැදගත් වූවත් ධනය ම පුද්ගලයාගේ විනාශයට එක් හේතුවක් බවට ද පත් වන බව පැහැදිලි කරුණකි. ධනය යනු ආර්ථික මිම්මකි. ඒ මත සිය විශ්වාසය නොතැබිය යුතු ය. ධනයෙන් මත් නොවිය යුතු ය. ධනය ඇත යන්නෙන් මත්වන්නා (ධනම්මත්ථි) මෝඩයකු බව (ඉතිබාලො විහඤ්ඤති) බුදුරදුන් විසින් පෙන්වා දී ඇත. මිනිසුන් ධනයෙන් මත් වේ නම් එය පිරිහීමට හේතුවක් බව බුදුරජාණන් වහන්සේ විසින් පරාභව සූත්‍රයේ දී දේශනා කොට තිබේ. (තං පරාභවතෝ මුඛං) ධනය දෙලොව දියුණුවට යොදාගන්නේ කෙසේද යන්න හා ධනයෙන් මිනිසා පිරිහෙන්නේ කෙසේද යන කරුණ ද බුදුදහමින් දැඩිව අවධාරණය කොට ඇත.

ධනය සෙවීම පිණිස යම් කැපකිරීමක් අවශ්‍ය වේ. ශ්‍රමය හා ධනය යන සාධක නිෂ්පාදනය හා බද්ධව පවතියි. එමෙන්ම ඉපයීම පරිභෝජනය මෙන්ම ආයෝජනය ද ආර්ථික කළමනාකරණයේ වැදගත් සිද්ධාන්තයකි. සෑම ආදායම් ඒකකයකින්ම භාගයක් නැවත නිෂ්පාදන කාර්යය සඳහා ආයෝජනය කළ යුතු බව ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබේ.

නිෂ්පාදනයට යොදන ප්‍රාග් ධනය නිරතුරුවම පෝෂණය කරමින් ඉදිරියට යාම බෞද්ධ ආර්ථික චින්තනයේ නිර්දිෂ්ට ඉතා වැදගත් සිද්ධාන්තයකි. ධාර්මික ධනය යනු නොපසුබට වීර්යෙන් හා උත්සාහයෙන් දෑතේ දෙපයේ බලයෙන් දහදිය වැගිරීමෙන් උපයාගත් දේ ය. බලෙන් ලබාගත් අන් ශ්‍රමයෙන් උපදවන ලද ධනය දැහැමි නොවේ. ධන ලාභය හා ශ්‍රමය අතර දැහැමි පිළිවෙතක් අනුගමනය කිරීමට බුදුදහම නිරතුරුව උපදෙස් ලබා දී ඇත. කෘෂිකර්මය, වෙළෙඳාම, පශුපාලනය, රාජ්‍ය සේවය, ශිල්ප කලාව වැනි කර්මාන්ත දැහැමි ධන මූලෝපායන මාර්ග සේ පෙන්වා දී ඇත. අනුන් නැසීමට ගන්නා අවි ආයුධ වෙළෙඳාම, වහල් වෙළෙඳාම, මස් පිණිස සතුන් ඇතිකිරීම හා විකිණීම, මත්පැන් මත්ද්‍රව්‍ය විකිණීම, වස විෂ වෙළෙඳාම යන පඤ්ච වෙළඳාමෙන් මෙන්ම තුලාකූට, මානකූට යන හොරට කිරීම්, හොරට මැණීම් ආදිය අධාර්මික වෙළෙඳාම් ගණයේ ලා සැලකෙන බැවින් ධනය ඉපයීමේ දී මෙවන් ක්‍රියාවන්ගෙන් වැළකිය යුතු වේ.

යොවුන් වියෙහි දී ධනය නොසොයන්නා මසුන්නොමැති වියළී ගිය විලෙක වෙසෙන මහළු කොකෙකු ලෙසින් පසු තැවීමකට පත්වන බවද දේශනාවන්හි සඳහන්ව තිබේ. තමාට පැවරෙන හා තමා විසින් යෙදෙන කර්මාන්තය කෙරෙහි මෙන්ම ලබන වැටුප කෙරෙහි ද අප අවධානය යොමු කළ යුතු ය. නිසි ශ්‍රමය වැය නොකොට අයුතු ලෙසින් ධනය ඉපයීම යහපත් නොවේ. තමාගේ කාර්යය ගැන තෘප්තිමත්වීම හා තම වැටුපට සරිලන ලෙසින් තම ශ්‍රමය වැය කොට ඇත යන හැඟීමෙන් සෑහීමකට පත්විය යුතු ය. එය සතුටකි. එසේ උපයන ධනය ඵල සහිතය. එසේ උපයන දෙයින් තමාට සතුටක් භුක්තිවිඳිය හැකිය. එසේ නොවන අවස්ථාවන්හි එම ධනයම තමා වෙත දුක ගෙන එනු ඇත. තුඹසක් බඳින වේයෙකු ලෙසින් ටිකින් ටික ධනය එකතු කර ගත යුතු ය.

එසේම ධනය සෙවීමේ දී සිය සේවක සේවිකාවන්ගේ සහායද අත්‍යවශ්‍ය අංගයක් වේ. සේවකයන්ගේ අයිතීන් මෙන්ම ඔවුන්ගේ ශ්‍රමය ඇගයුමට ලක් කරමින් කටයුතු කිරීම සේව්‍යාගේ යුතුකමකි. ඔවුන්ගේ සුරක්ෂිතතාවය ගැනද අවධානය යොමු කිරීමෙන් සතුටින් තැබීමෙන් විශ්වසනීයත්වයකින් යුතුව ඔවුන්ගේ ශ්‍රමය ලබාගත හැකි ය. එමෙන්ම එමඟින් සිය ව්‍යාපාර කටයුතු මනාව හා විධිමත්ව ඉදිරියට ගෙන යාමක් ද වේ. සිඟාලෝවාද සූත්‍රයේ දී සේවක සේවිකාවන් සම්බන්ධයෙන් කළයුතුවන යුතුකම් කවරේද යන්න මනාව පෙන්වා දී ඇත.

ධනය සෙවීම මෙන්ම ධන පරිභෝජනය කිරීමද මනා සැලැස්මක් මත කළ යුතු ය. පුද්ගලයෙකු ධනය සොයන්නේ තමන්ගේ මෙන්ම අනුනගේ ද ප්‍රයෝජනයටය. පුද්ගලයාට වඩා ධනය මුල් තැන්හි ලා සැලකීම බෞද්ධ ආර්ථික චින්තනයට එකඟ නොවන්නකි. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දීඝජානුකෝලීය පුත්‍රයාට ධනය හා සම්බන්ධ කරුණු හතරක් පැහැදිලි කර දී ඇත. පුද්ගලයකු තමාගේ දෑතේ හා දෙපයේ වීර්යෙන් සොයා ගන්නා ලද ධනය දෙස බලන විට මහත් සතුටක් විඳියි. එසේ ලැබූ ධනය තමාද භුක්ති විඳිමින් නැත්තවුනට ද ලබා දෙමින් සතුටක් විඳියි. ධනය ඇති කල්හි කිසිවකුට ණයක් නොවී ධනය පරිහරණය කිරීම තුළින් සතුටක් ලද හැකි අතර ඒ අනුව කායික මානසික හා වාචසික වූත් නිවැරදි දිවියක් ගත කරමින් සැප විඳිය හැකි බව ද කියයි. මෙම කරුණු හතර ධනය තුළින් පුද්ගලයකු වින්දනය කරන සැපත හතරක් සේ පෙන්වා දෙන අතර පුද්ගල චර්යාව ද ඊට සමගාමීව වර්ධනය වීමක් අදහස් කෙරේ.

ණය ගැනීම හෝ ණය මත යැපීම මිනිසාට සහනයක් ඇති කරවන්නක් සේ බුදුදහම අවධාරණය නොකරයි. එය සතුටකට වඩා ජීවිතයකට දුක් එළඹෙන හේතුවක් සේ පෙන්වයි.

අය වැය සමව දැන ප්‍රඥාවෙන් යුතුව ආර්ථික කළමණාකරණය කළ යුතුව ඇත. සමජීවිකතාව ගැන පුද්ගලයකු නිතර සිතන්නේ නම් දිවිය සමබරව ගෙන යා හැකි ය. ඉණ සූත්‍රයේ දී බුදුරදුන් විසින් මෙසේ දේශනා කොට තිබේ. එනම් යමෙකු භෝගයන්ගේ අය, වැය දැන, ඉතා ඉහළ නොවූ ඉතා හීන නොවූ සමදිවි පැවැත්මක් හොබවන්නේ මෙසේ දකියි. මගේ අය වැය ඉක්මවා සිටියි. මගේ අය වැය ඉක්මවන්නේ ද නැත. තරාදිය අත ඇති පුද්ගලයකු බඩු කිරන්නාක් මෙන් අඩු වැඩි බව දැන දැන ගෙන සිය කාර්යය කරයි. එමෙන්ම අල්ප වූ අය ඇත්තෙක් ඉහළ දිවි පැවැත්මක් ගෙවයි ද ඔහු දිවුල් කන්නෙක් බඳු යැයි පෙන්වයි. එමෙන්ම ඉතා ඉහළ ආදායමක් ඇත්තෙකු ඉතා දුෂ්කර දිවියක් නොකා නොබි ගෙවන්නේ ද ඔහු අනාථව මියයන්නෙකු ලෙස ද පෙන්වා දෙයි. අය – වැය දෙක සමව ගෙවන්නාගේ ජීවිතය සමජීවිකතාවයට අයත්වන අතර ඉන් තමාට තෘප්තියක් ලද හැකි අතරම ණයකරුවකු නොවී ජීවත්වීමට හැකි වේ.

ධනය මිනිසාගේ ස්වාමියෙක් නොවේ. ධනය මිනිසාගේ සේවකයෙකි. ධන කාමය පුද්ගලයාට මෙන්ම සමාජයට ද අහිතකරය. එබැවින් ධනය පරිහරණය කළ යුතු වනුයේ ධනය, ධනය උදෙසාය යන සංකල්පය මත සිට නොව ධනය මිනිසාගේ පැවැත්ම උදෙසා උපස්ථම්භක වන එක ඒකකයක්ය යන්න මත පිහිටාගෙනය.

මිනිස් අවශ්‍යතා අසීමිතය. අසීමිත අවශ්‍යතා ඇති මිනිසා සුළු ධනයකින් තෘප්ත කළ නොහැකිය. බොහෝ අය තමා ලබන ආදායමට වඩා වියදම් කරනු ලබන අතර ඒ තුළින් ණයකරුවන් වෙති. එක්කෝ සිය ධනයෙන් සෑහීමකට පත් නොවී මනසින් දුක් විඳින අතර ධනය ඇති අය දෙස බලමින් ඊර්ෂ්‍යා සහගත දෘෂ්ටියෙන් තව තවත් තම මානසිකත්වය දූෂිතත්වයට පත් කර ගනිති. බුදුදහමින් උගන්වන මධ්‍යස්ථ ප්‍රතිපදාවට අනුරූපව ධනය ද නිසි පරිදි හා කළමනාකාරීත්වයක් මත මෙහෙය වනු ලබන්නේ නම් ආර්ථීකය පදනම් කරගෙන ඇතිවනු ලබන බොහෝ ප්‍රශ්න අවම කර ගත හැකි අතරම සරල දිවි පැවැත්ම, කායික මානසික සැහැල්ලු බවකට පුද්ගලයා පත් කරයි.

පරිභෝජනය මෙන්ම සංරක්ෂණය ද ධනය නිසි පරිදි උපයෝගී කර ගැනීමේ අත්‍යවශ්‍ය අංගයක් වේ. තමා විසින් දුකසේ උපයන ලද ධනය එක් වීටම පරිභෝජනය කොට අවසන් කළ නොහැකිය. එබැවින් කලක් තබා ගනිමින් පරිභෝජනය හෝ ඉන් අර්ථවත් ඵලයක් ලබා ගැනීම පිණිස එහි සංරක්ෂණයක් කිරීමට අත්‍යවශ්‍ය වේ. එමෙන්ම තැන්පත් කොට නිසි පරිදි භුක්ති විඳිය යුතුවේ. තමා ලබන ධනයෙන් එක් කොටසක් ආපදාවක් පැමිණි විට ප්‍රයෝජනයට ගැනීම පිණිස තැන්පත් කොට සුරක්ෂිත කළ යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇත. ධනයේ පරමාර්ථය තමාගේ ජීවිතයේ මෙන්ම අන් අයගේ ජීවිත සුරක්ෂිත බවට පත් කිරීමය. තමාට මෙන්ම සමාජයේ අන් අයට ද විපත් ඇති වූ විට එම විපත්වලින් මිදීම පිණිස තැන්පත් ධනය අවශ්‍යය.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා අපරභාග 07.30 ට ලබයි. 11 වන දා සෙනසුරාදා පූර්ව භාග 06.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 10 වන දා සිකුරාදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 18 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]