උතුම් අගසව් පැතුම සපල කළ නවම් පොහෝදා
අලුතැපොල ගණේකන්ද
පුරාණ රජමහා විහාරාධිපති
කැලණිය විශ්වවිද්‍යාලයේ, නූතන භාෂා අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය, රාජකීය පණ්ඩිත
නැදලගමුවේ ධම්මදින්න හිමි
නවම් මස උදා විය. සාරිපුත්ත හෙවත් උපතිස්ස හා මොග්ගල්ලාන හෙවත් කෝලිත යන යහළුවෝ
දෙදෙනා බුදුරජාණන් වහන්සේ දැකීමට වේලුවනාරාම විහාරයට පැමිණියහ. ඒ දෙදෙනා දුර දීම
දුටු බුදුරජාණන් වහන්සේ,
“මහණෙනි, අර එන උපතිස්ස හා කෝලිත යන යාළුවෝ දෙන්නා මගේ අගසව් යුවළ වෙති.” යනුවෙන්
වදාළ සේක.
උපතිස්ස හා කෝලිත යන යහළුවෝ දෙදෙනා බොහෝ සේ සැප විඳි දෙපොළකි. වසරක් පාසා කඳු
මුදුනක පවත්වන විනෝද ක්‍රීඩාවන් බහුල ගිරග්ගසමජ්ජ නම් වූ උත්සවය පිළිබඳ කලකිරුණු මේ
දෙදෙනා සියලු ගිහි සැපත අතැර දමා සංජය නම් පරිබ්‍රාජකයා වෙතට ගොස් පැවිදි වී සිටි
නමුත් එයින් තෘප්තියක් නොලැබූහ.
“අප දෙදෙනාගෙන් කවරෙකු හෝ නිවන් පසක් කර ගත්තොත් අනිකාට අනිවාර්යයෙන්ම දන්වමු” යි
මේ දෙදෙනා කතාකරගෙන සිටියෝය.
මේ අතර පස්වග මහණුන්ගෙන් වඩාත් තරුණ අස්සජි මහරහතන් වහන්සේ රජගහනුවර පිඬු සිඟා
වඩිනු දුටු උපතිස්ස අස්සජි හිමියන් තුළ තිබුණු නිවුණු ගති දැක,
“මේ නම් ඒකාන්තයෙන්ම රහතන් වහන්සේ නමක හෝ රහත් මඟට පිළිපන් උතුමෙකු විය යුතුය.
මුන්වහන්සේ වෙත ගොස් තොරතුරු විමසිය යුතුය. නමුත් පිණ්ඩපාත වේලාව නුසුදුසුයි. සිතා
දන් වළඳනකම් සිට , “ඔබ ඉතා ප්‍රසන්නය. ශෝභනය. ඔබ කවුරු වෙනුවෙන් පැවිදි වූයේ දැ’යි
ඇසීය. ඒ භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වූයේයැයි අසා
උන්වහන්සේගේ ධර්මය දේශනා කරන්නැයි ආරාධනා කරනු ලැබූ අස්සජි මහ රහතන් වහන්සේ මෙසේ
දෙසූ සේක.
‘යේ ධම්මා හේතුප්පභවා
තේසං හේතු තථාගතෝ ආහ
තේසංච යෝ නිරෝධෝ
ඒවං වාදි මහා සමණෝ”
මෙහි තේරුම නම්
”හේතුවකින් හටගන්නා යම් ස්වභාවයක් තිබේද ඒවාට හේතු තථාගතයන් වහන්සේ දෙසූහ. එසේම
ඒවායේ නිවීමද දෙසති. ඒ මහා ශ්‍රමණයන් වහන්සේ මෙසේ දෙසන උත්තමයෙකි. (මහා වග්ග පාලි –
මහා ඛන්ධකො)
ගාථාවේ මුල් පද දෙක ඇසූ කෙණෙහිම සෝවාන් මාර්ග ඵල ප්‍රත්‍යක්ෂ කළ උපතිස්ස බුදුරදුන්
වේලුවනයේ වැඩ සිටින බව දැන සිය මිතුරා වන කෝලිත වෙත ගොස් මෙම ගාථාවම ප්‍රකාශ කළ
කල්හි ඔහුද සෝවාන් වූයෙන් දෙසිය පනහක් වූ පිරිසක් ද සමඟ බුදුරදුන් දැකීමට
වේලුවනාරාමයට ගියහ.
බුදුරජාණන් වහන්සේ ඔවුන්ට දුරදීම ආමන්ත්‍රණය කළ සේක.
“මහණෙනි, මෙහෙට එන්න, ධර්මය මැනවින් දෙසන ලදී. දුක්ඛ මූලයන් දුරු කිරීම පිණිස මාර්ග
බ්‍රහ්මචරියාව සම්පූර්ණ කරන්න.”
මේ වනාහි සැරියුත් මුගලන් දෙනම හා පැමිණි අන් පිරිසගේ මහණ උපසදම්පදාව විය. මුගලන්
හාමුදුරුවන් වත්ස ජනපදයේ භගුරට සුංසුමාරගිරියේ භේසකලා වනයේ වැඩ සිටි විට බුදුරදුන්
දීඝනඛ පරිබ්‍රාජකයාට දෙසූ වේදනා පරිග්‍රහ සූත්‍රය අසා රහත් වූහ.
මෙදින නවම් මස පුර පසළොස්වක පොහෝ දාය. උරුවෙල් කාශ්‍යප මහා රහතන් වහන්සේ ඇතුළු
පිරිවර භික්ෂූන් වහන්සේ දහසක්ද සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ ඇතුළු පිරිවර
භික්ෂූන් වහන්සේ දෙසිය පනහක්ද සහිත භික්ෂූන් වහන්සේ එක් දහස් දෙසිය පනහක් මෙදින
වේලුවනාරාමයට රැස්වූහ. මේ අවස්ථාවේදි සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ අග්‍රශ්‍රාවක
තනතුරුවලට පත් කළ බුදුරජාණන් වහන්සේ උන් වහන්සේලාගේ අතීත ප්‍රාර්ථනා ගෙන හැර පා
වදාළ සේක.
සැරියුත්, මුගලන් මහරහතුන් දෙපොළ පෙර අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී සරද
හා සිරිවර්ධන නම් මහත් ධන ඇති මිතුරු සිටුවරු දෙපොළක් වූහ. ඒ බුදුරදුන් අගසව්
තනතුරු පත් කරණු දැක, මේ දෙපොළ ද මහ දන් පවත්වා අනෝමදස්සී බුදුරදුන්ගේ සසුනෙහි
පැවිදිව නියත විවරණ ලබා අප ගෞතම බුදුසසුනෙහි පැවිදිව අග්‍රශාවක තනතුරු ලැබු බව අප
බුදුරජාණන් වහන්සේ වදාළ සේක. තවද උන්වහන්සේ වදාළේ ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානය හා
ධර්මසේනාධිපති ධූරයද සැරියුත් මහ රහතන් වහන්සේට ලබා දෙන බව හා ඍද්ධිමතුන් අතර
අග්‍රස්ථානය මුගලන් මහරහතන් වහන්සේට ලබා දෙන බවය.
මෙ දිනම එනම් සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලාට තනතුරු ප්‍රදානය කළ එම නවම්
පොහෝදාම බුදුරජාණන් වහන්සේ “ඕවාද ප්‍රාතිමෝක්ෂය” හෙවත් “අවවාද කිරීම” මුල්කරගත්
පිරිසුදු වීම දේශනා කළ සේක. පෙර වැඩ විසූ සත්බුදුවරුන් විසින්ද දේශනා කරන ලද “ඕවාද”
ප්‍රාතිමෝක්ෂය ප්‍රධාන වශයෙන් ගාථා තුනකි. එනම් “සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස
උපසම්පදා
සචිත්ත පරියෝදපනං – ඒ තං බුද්ධානසාසනං”
(සියලු පව් නොකිරීමද, කුසල්, ඉපදවීමද තම සිත පිරිසුදු කිරීමද යන මේවා සියලු
බුදුවරුන්ගේ අනුශාසනා වේ)
“ඛන්තී පරමං තපෝ තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතෝ පරූප ඝාතී
සමණෝ හෝති පරං විහේඨයන්තෝ”
(ඉවසීම උතුම්ම තපස යි. බුදුවරු නිවන උතුම් යැයි වදාරති. අනුන්ට හිංසා කරන තැනැත්තා
පැවිද්දෙක් නොවේ)
‘අනුපවාදෝ අනූපඝාතෝ – පාතිමෝක්ඛේච සංවරෝ
මත්තඤ්ඤුතා ච භත්තස්මිං – පන්තං ච සයනාසතං
අධිචිත්තේ ච ආයෝගෝ – ඒතං බුද්ධාන සාසනං”
(නිගා කොට කතා නොකිරීමද, හිංසා නොකිරීමද, ප්‍රාතිමෝක්ෂයෙහි සංවරවීමද, ආහාරයෙහි පමණ
දන්නා බවද, විවේකස්ථානය වූ සේනාසනයේ ඇලීමද, සමවතෙහි නිතර යෙදීමද බුදුවරුන්ගේ
අනුශාසනා වේ) (ධම්මපදය – බුද්ධ වග්ග, 5,6,7 ගාථා)
මෙලෙස ගෞතම බුද්ධ ශාසනයේ මහ රහත් භික්ෂූන් වහන්සේ එක් දහස් දෙසිය පනහක් රැස් වී
අගසව් තනතුරු ප්‍රදානය කිරීමෙන් අනතුරුව ඇතැම් භික්ෂූන්ගේ සංවරකම ආරක්ෂාකර ගැනීම
පිණිස එම අවස්ථාවේදීම බුදුරජාණන් වහන්සේ අවවාද ප්‍රාතිමෝක්ෂයද දෙසා වදාළ හෙයින් මෙම
පොහෝදා සසුනේ මුල්ම මහා සංඝ සම්මේලනය පැවැත්වූ දා ලෙස ඉතිහාස ගත වී තිබේ.
බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හලේද අද වන් නවම් පොහෝ දිනකය. පිරිනිවන් පෑමට
තෙමසකට පෙර එනම් නවම් පොහෝ දින සවස් භාගයේ අප තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ
චාපාල චෛත්‍යය නම් ස්ථානයට වැඩම කොට වැඩ සිටි සේක. සතර ඍද්ධිපාද වැඩූ උත්තමයෙකුට
කැමැති නම් කල්පයක් හෝ ඊට වැඩි කාලයක් සිටිය හැකි බව ආනන්ද තෙරුන්ට දෙසුවත්,
වසවර්ති මාරයා ආනන්ද තෙරුන්ට නපුරු අරමුණක් දැක්වු බැවින්, එසේ කල්පයක් හෝ ඊට වැඩි
කලක් වැඩ සිටින මෙන් ආරාධනා කිරීමට ආනන්ද තෙරුන්ට අමතක විය.
ඉන් අනතුරුව මාරයා බුදුරදුන් වෙත එළඹ පිරිනිවන් පෑමට ආරාධනා කළේය. එවිට බුදුරදුහු
මෙසේ වදාළහ.
“එම්බා, පව්කාර මාරය, නුඹ මගේ පිරිනිවන්පෑම පිළිබඳ මහන්සි නොවන්න, තථාගතයාණන්
වහන්සේගේ පිරිනිවීම තම නොබෝ කලකින් වන්නේය. මෙතැන් සිට තුන් මසක් ගත වු විට
තථාගතයාණන් වහන්සේ පිරිනිවන් පාන්නේය.”
(මහා පරිනිබ්බාණ සූත්‍රය)
මෙවිට ඉතා බියජනක, ලොමු ඩැහැ ගන්වන සුළු මහා භූමිකම්පාවක්, ඇති විය. අහස ගිගුරුම්
දී විදුලි කොටා අකල් වැසි ඇද වැටුණේය.
මෙවිට බුදුරජාණන් වහන්සේ නවම් පොහෝ දින සවස් භාගයේ මෙම උදාන ගාථාව ප්‍රකාශ කළ සේක.
(එකිනෙකට සමාන හා අසමාන ස්කන්ධ ලෝකය පහල කරවන,භවය නිර්මාණය කරන කර්මය
මුනීන්ද්‍රයාණන් වහන්සේ විසින් මාර්ග ඥානයෙන් දුරු කරන ලදී, විදර්ශනාවේ ඇලුණු,
සමාධියෙන් යුතු උතුමාණන් වහන්සේ තමා තුළ තිබුණු කෙලෙස් සමූහය සන්නාහයක් සිඳින්නාක්
මෙන් විනාශ කරන ලදී)
(මහා පරිනිබ්බාණ සූත්‍රය)
ලංකාවේ එක් සුවිශේෂ බුද්ධෝපහාරයක්වූ කලා මංගල්‍යයක් වන කොළඹ හුණුපිටිය ගංගාරාම
විහාරයේ නවම් පෙරහර ප්‍රදක්ෂිණා කරනු ලබන්නේද මෙම පොහෝ දිනයේදීය. 1979 වසරේ ඇරැඹි
කොළඹ නවම් මහ පෙරහරේ විශේෂත්වය වන්නේ කිසිඳු දේව පිළිමයක් හෝ දේව ආභරණ තැන්පත්
කිරීමක් නොකර බුදුරජාණන් වහන්සේ උදෙසා පමණක්ම කරන පූජාවක් ලෙස මෙම මහෝත්සවය
පැවැත්වීමයි. ඉතා අලංකාර බෞද්ධ සංස්කෘතික මංගල්‍යයක් වන කොළඹ නවම් පෙරහර නවම් මහේ
උතුම් මුනි පුදට පෙළගැසුනු මහා පූජෝපහාරයකි. |