Print this Article


තමන්ට නොපෙනෙන තමන්ගේ වරද...

තමන්ට නොපෙනෙන තමන්ගේ වරද...

මෙලොව යම් කෙනෙක් සිටින්නේ නම් ඔහුට වැඩි වශයෙන් පෙනෙන්නේ අනුන්ගේ වැරැදිය. තමාගේ වරද දකින්නේ අතලොස්සකි. කෙනෙකුට අනුන්ගේ වැරැදි දැකීම පහසුය. සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින්නේ අනුන්ගේ ශරීරයේ ඇති කූඹියා පවා දැකිය හැකිමුත් තමාගේ ඇහේ සිටින අලියෙක් වුවද නොදකින බවය. මෙයින් කියවෙන්නේ අනුන්ගේ සුළු වරද වුවද කෙනෙක් මහා ලොකු දෙයක් සේ සිතා ඒ පිළිබඳ නිතර නිතර මෙනෙහි කිරීමය. එහෙත් තමාගේ විශාල වරදක් වුවද ඒ පිළිබඳ කල්පනා නොකරමින් කටයුතු කරයි. නිතර අනුන්ගේ වරද සොයන්නා ඒ වරද දහයියා පොළන්නාක් මෙන් නැවත නැවත ඒවා පෙන්වා දීමට උත්සාහ දරයි. ඒ බව බුදුරජාණන් වහන්සේගේ දේශනාවකින් මනාව පැහැදිලි වේ.

සුදස්සං වජ්ජං අඤ්ඥේසං
අත්තනො පන දුද්දසං
පරේසං හි සෝ වජ්ජාති ඔපුනාති යථාභූසං
අත්තනො පන ඡාදෙති කළිං ව කිතවා සඨෝ

අනුන්ගේ වරද මැනවින් දැකිය හැකි ය. තමාගේ වරද දැකිය නොහැකිය. එය සඟවා තබා ගනී. ගස්වල අතු කොළවලින් විලි වසාගෙන සිටින සතුන් මරමින් ජීවත් වන වැද්දා තමාගේ මහත් වූ දෝසය තිබිය දී අන් අයගේ දෝෂයක්ම දකී. අන් අයගේ සුළු වරද දුටුවහොත් නැවත නැවත පෙන්වා දෙයි. මෙණ්ඩක සිටාණන් තමන්ගේ ජීවිතය පිළිබඳ නොසොයා අන් අයගේ ජීවිත ගැන සෙවීමට ඉමහත් ඇබ්බැහිකමක් දැක්වූවෙකි. එහි ඇති නිසරුකාරී තත්ත්වය පිළිබඳ කරුණු බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් පෙන්වා දුන් අවස්ථාවක් ලෙස මෙය පෙන්වාදිය හැකිය. මේ පිළිබඳ උපහාසාත්මක අයුරින් පෙන්වා දෙන කව් සිළුමිණ කතුවරයා

තමා වරදස නොදිස්නේ -
මෙරමා දොස් දිස්නේ
නුවන් පැහැර නහමත් –
තමා මුත් නොදැක්කේ කිම්

යනුවෙන් තමන්ගේ වරද බිඳකදු නොදැක අනුන්ගේ වැරදි සොයන්නා ඇස් ඇර පිටත බැලූ කල තමා මිසක වෙන කවුරුන් දකින්නේ ද යනුවෙන් පවසා තිබේ.

යම් කෙනෙක් මෙසේ අනුන්ගේ වැරදි සොයමින් ඒවා දැක ඔවුන්ට ගරහති. ඇතැම් විට සමච්චල් කරති. නැතහොත් සිනාසෙති. අසීමිතව ඒ දේ විවේචනය කරති. බුදුදහමට අනුව මෙවැනි පුද්ගලයින් කිසියම් මානසික ඌනතාවකින් පෙළෙන්නෝ වෙති. නැතහොත් එසේ වැරදි සොයන කෙනා තුළ කිසියම් අඩුපාඩුවක් තිබිය හැකිය. තමාගේ අඩුව පිරිමසාලන්නට දරන වෑයමක් ලෙස මෙය පෙන්වා දිය හැකි ය.

පිරිපුන්, බහුශ්‍රැත, දැන උගත්, වරද නිවරද දන්නා පුද්ගලයා කිසි විටෙකත් අනුන්ගේ දොස් සොයන්නේ නැත. ඒ තමන්ගේ ජීවිතය තුළින් පරිපූර්ණ වූ නිසා ය.

වර්තමාන සමාජය තුළ ද මෙවැනි වැරදි සොයා අසීමිත වින්දනයක් ලබන පුද්ගලයින් බහුල වශයෙන් දැකිය හැකිය. නමුත් එම පුද්ගලයා සමාජයේ අප්‍රමාණ අප්‍රසාදයට පත්වන්නේ යැයි ඇතැම් විට ඔහුවත් නොදනී. පිළිකුල් සහගත මෙවැනි පුද්ගලයින් අවඥාවට ලක් වන්නේ නිරායාශයෙනි. බුදුරදුන් නිතරම දේශනා කළේ අන් අය පිළිබඳ සොයනවාට වඩා තමන් ගැන සෙවීම වඩා වැදගත් වන බවය.

වැරදි මාර්ගයේ නොගොස් අධ්‍යාත්මික ගුණ ධර්ම වඩා වර්ධනය කර ගැනීම තමා විසින්ම කළ යුතු ය. ඕනෑම අවස්ථාවක දී තමන්ට පිහිටට පවතින්නේ තමන් විසින් කරන ලද දේ පමණි.

තමා විසින් යම් පාපී ක්‍රියාවක් සිදු කරන්නේ නම් ඒ තුළින් තමාගේ විනාශය ඇතිවනවා මිසක් අන් අයට ඉන් හානියක් කළ නොහැකි ය. (අත්තාහි අත්තනො නාථො කොහි නාථො පරො සියා) භද්දවග්ගිය කුමාරවරු කප්පායි වනයේ දී කාන්තාවන් සොයා ගිය අවස්ථාවේ අනුන් ගැන සොයනවාට වඩා තමන් ගැන සෙවීමට පමණක් සිත නැඹුරු වියයුතු බව පෙන්වාදීමෙන් පසු, සසුනේ පැවිදිව රහත් බව ලබා නිවන් පසක් කර ගැනීමට හැකි වූ නිසා ඵලදායී තත්ත්වයක් ළඟා කරගත්හ.

වැරැදි ක්‍රියා ඉස්මතු වන්නේ රාගය, ද්වේශය, මෝහය, තරහව, වෛරය, ක්‍රෝධය වැනි කෙලෙස් ධර්මයන් සිත් තුළට ඇතුළුවීම නිසාය. එබැවින් බුදුරදුන් දේශනා කළේ මෙවැනි කෙලෙස් ධර්මයන් තම සිතට ඇතුළුවීමට ඉඩ නොදී මැනවින් ආරක්ෂා කළ යුතුය යන්නය. යම්සේ පිටත පවුරු වළල්ලකින් ආරක්ෂා කරන නගරයක් මෙන් තමන්ගේ සිත ද මැනවින් ආරක්ෂා සංවිධානය කළ යුතු ය. එය කළ හැක්කේ තමාට පමණි.

වරක් බුදුරදුන් වෙත පැමිණි කොසොල් මහරජතුමා ප්‍රකාශ කළේ තමන්ට බොහෝ ආරක්ෂාව ඇති බවය. තම මාළිගාව ප්‍රාකාරයකින් වටකොට ඇත. පිටත පවුරු වළල්ලේ මෙන් ම ඇතුළත ද ඇත්, අස්, රිය පාබල යන සිව්රඟ සේනාව සිටී. සෑම දොරක් සමීපයේ මුරකාවල් යොදා ඇත. එහෙත් බුදුරජාණන් වහන්ස මට කිසිම ආරක්ෂාවක් නැතැයි ප්‍රකාශ කරයි. ඒ තමාගේ අධ්‍යාත්මය තුළින් තමා ආරක්ෂා වී නැති නිසා ය.

ඒ අනුව කෙනෙක් කොපමණ ආරක්ෂා සහිතව සිටියත් තම ආධ්‍යාත්මය නිවැරැදි නැතිනම් එය තමාගේ ආරක්ෂාවක් යැයි කෙනෙකුට කිව නොහැකිය. කෙනෙක් වරදක් කළ විට ඒ පිළිබඳ දන්නේ තමා පමණි. අන් අයගෙන් කොපමණ සඟවා සිටියත් තමාගෙන් කිසිවිටෙක සැඟවිය නොහැක. වරද කරන තැනැත්තා නිතර සිටින්නේ බියෙන් හා තැති ගැනීමෙනි. අන් අයට හිංසා පීඩා කරන කෙනෙක් තමාටත් කොයි අවස්ථාවක දී වුවද ඔවුන්ගෙන් හිංසාවක් පීඩාවක් වේදෝහෝයි සිතමින් සිටි. එබැවින් වරද කරන තැනැත්තාට කිසි ආරක්ෂාවක් නොමැත. එවැන්නන්ට මෙලොව වශයෙන් ජීවිත නැතිවීමට පවා සිදුවන අතර පරලොව අපායගාමී වීමට ද එය හේතුවක් වේ.

කෙනෙක් තමාගේ වරද දැක ඊට නිසි පිළියම් යොදන්නේ නැතිනම් එයින් තමාගේ විනාශයම සිදුකර ගනී. වරද වරදක් සේ මෙන්ම නිවරද නිවරද සේ දකින සම්‍යක් දෘෂ්ටික පුද්ගලයා මරණින් මතු සුගතියෙහි උපදින බව බුද්ධ දේශනාවයි.

වජ්ජඤ්ච වජ්ජතො ඤත්වා - අවජ්ජඤ්ච අවජ්ජතො
සම්මාදිට්ඨි සමාදාන - සත්තා ගච්ඡන්ති සුග්ගතිං

බුදුන් වහන්සේ දෙසූ දහම තුළ අඩංගු වී ඇති දස අකුසල ධර්මයන් මනාව දැන හැඳිනගෙන ඒවායින් දුරුවී කටයුතු කිරීම වැරැද්ද වැරැද්දක් සේ දැකීමය. උන්වහන්සේගේම දේශනාව තුළ ඇතුළත් දස පුණ්‍යක්‍රියාවන්හි යෙදී කටයුතු කිරීම නිවැරැද්ද නිවැරැද්දක් සේ දැකීමයි. ඒ අනුව සෑම දෙනා තමන්ගේ දුර්වලතා අකා මකා දමා මනා විමංසනයකින් යුක්තව කල්පනා කොට අන් අයගේ නුගුණ නොසොයා තමාගේ අගුණ අඩුපාඩු කෙරෙහි අවධානය යොමු කොට ඉන් මිදීමට කටයුතු කළ යුතු ය. එයින් මේ ඝෝර වූ සංසාරයෙන් එතෙරව නිවන් අවබෝධ කර ගැනීමේ මඟ පහසු කරන්නේ ය.