Print this Article


 තථාගත ධර්මය රාග විරාගය පිණිසයි

 තථාගත ධර්මය රාග විරාගය පිණිසයි

"බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ සත්ත්වයා දුකෙන් මුදවාගනු පිණිසයි. සත්ත්වයා දුකට පත්වුණේ මේ පඤ්චස්කන්ධය නිසා නම්, ආසාව, රාගය නිසානම් ඒ පංචසකන්ධයට ඇති රාගය නැතිකර ගැනීම සඳහා, පඤ්චස්කන්ධය ඒ තුළ විරාගය ඇතිකර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කොට තිබෙන්නේ. ඒ ධර්ම දේශනාවල හරය මූලික ඉලක්කය වන්නේ මේ කියන රාගය හෙවත් ආශාව නැතිකර ගැනීමයි. "

අපගේ තථාගතයන් වහන්සේගේ ධර්මය කුමක් සඳහාද කියා යම් කෙනෙක් ප්‍රශ්න කළොත් කියන්න තිබෙන සරලම පිළිතුර වන්නේ රාග විරාගය පිණිස බවයි. රාග කියන්නේ කැමැත්ත, ආශාව. විරාගය කියන්නේ කැමැත්ත ආශාව දුරු කිරීම. නැත්නම් කැමැත්ත, ආශාව නැතිකර දැමීමයි.

වෙනත් ආකාරයකින් කියනවානම් මේ ලෝකයේ ජීවත්වෙන අප සියලු දෙනා මූලිකව ලැබුණු ගොඩවල් පහක් තිබෙනවා. එය පඤ්චස්කන්ධය කියා හඳුන්වනවා. මිනිසුන්, බ්‍රහ්මයෝ, දෙවියෝ, පේ‍්‍රතයෝ, පිචාසයෝ, තිරිසන්නු මේ සියලු දෙනාටම මේ පඤ්ස්කන්ධය තිබෙනවා. මේ පඤ්චස්කන්ධයට ඇති කැමැත්තට රාගය කියා කියන්න පුළුවන්. මේ පඤ්චස්කධයට ඇති කැමැත්ත නිසා පඤ්චස්කන්ධයක් ලැබෙන ආකාරයට සත්ත්වයා කර්ම රැස්කර ගන්නවා. එවිට කර්මානුරූපව පඤ්චස්කන්ධයක් ලැබෙනවා. එසේ ලැබුණ විට ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුක්වලට ගොදුරු වෙන්න සිදුවෙනවා. සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා කියා කිව්වේ ඒකයි. සැකෙවින් කියනවා නම් මේ පඤ්ච උපාධානස්කන්ධයම දුකයි. මෙතැනදී ජාති කියා කිව්වේ පඤ්චස්කන්ධයේ පහළ වීමයි. ජරා කියන්නේ එය කැඩී බිඳී යාම, ව්‍යාධි කියන්නේ ලෙඩ රෝගවලට ගොදුරුවීම, මරණ කියන්නේ පඤ්චස්කන්ධය බිඳීයාම. මේ සියලුම දේ දුකට හේතුවක්. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ සත්ත්වයා දුකෙන් මුදවාගනු පිණිසයි. සත්ත්වයා දුකට පත්වුණේ මේ පඤ්චස්කන්ධය නිසානම්, ආසාව, රාගය නිසානම් ඒ පංචසකන්ධයට ඇති රාගය නැතිකර ගැනීම සඳහා, පඤ්චස්කන්ධය ඒ තුළ විරාගය ඇතිකර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කොට තිබෙන්නේ. ඒ ධර්ම දේශනාවල හරය මූලික ඉලක්කය වන්නේ මේ කියන රාගය හෙවත් ආශාව නැතිකර ගැනීමයි.

මහමුහුදේ ජලය කොතැනින් ගෙන බැලුුවත් එකම රසයි තිබෙන්නේ. ඒ ලුණු රසය. ඒ වගේ විරාගික දැක්මක් ඇති තථාගතයන් වහන්සේගේ දහමේ කොතැනින් ගත්තත් එය එකම රසයකින් යුක්තයි. ඒ විමුක්ති රසය. එසේනම් මේ පඤ්චස්කන්ධයෙන් ඈත්වෙන, මිදෙන ක්‍රමයයි තථාගතයන් වහන්සේ සෑම තැනකදීම දේශනාකොට තිබෙන්නේ. ඒ ක්‍රමය පැහැදිලි කළ දේශනාව තමයි බුද්ධ දේශනාව.

ඒ දේශනාව සැකෙවින් ගත්තොත් සීල, සමාධි, ප්‍රඥා ලෙස කොටස් කරන්න පුළුවන්. තවත් සරලව කියනවානම් දාන, සීල, භාවනා ලෙස කොටස් කරන්න පුළුවන්. මේ සීල, සමාධි, ප්‍රඥා වැඩීම තුළත් දාන, සීල, භාවනා වැඩීම තුළත් සිදුවන්නේ රාගය විරාගයට පත්වීමයි.

තථාගතයන් වහන්සේ වදාළ මේ ශ්‍රී සද්ධර්මය තුළ දානයට ප්‍රමුඛස්ථානයක් දී තිබෙනවා. දසරාජ ධර්ම, දසපුණ්‍ය ක්‍රියා, සතර සංග්‍රහ වස්තු, දස පාරමිතා මේ සෑම දෙයකදීම දානය ප්‍රමුඛ වී තිබෙනවා. දානය ප්‍රමුඛ වන්නේ ඇයි? මේ කියන හැම දෙයකම මුලින්ම සඳහන් කොට තිබෙන්නේ එහි ප්‍රධානකම සලකා ගන්නවාට වඩා එහි තවත් විශේෂත්වයක් තිබෙනවා. ඒ අනෙක් හැම ක්‍රියාවකටම වඩා පහසු ක්‍රියාව දානය නිසයි.

අත්හැරීමේ ප්‍රාථමික අවස්ථාව දානයයි

දානය කියන වචනය අප මෙසේ අර්ථවත් කර ගනිමු. මේ අතහැරීමට බුදුදහමේ වචන දෙකක් සඳහන් කරනවා. ඒ දානය සහ පරිත්‍යාගය. කෙනෙක් සිතන්න පුළුවන් මේ දෙකෙන් පරිත්‍යාගය කියන දේ දන් දෙනවාට වඩා ලෙහෙසියි කියා. එයට හේතුව අපේ සමාජ සම්මතයක් තිබෙනවා යමක් පරිත්‍යාග කරන්නේ දුගී මගී යාචකයන්ට, සමිති සමාගම්වලට ආදිය කියා. දාන කිව්වාම ස්වාමින් වහන්සේට වෙනත් පූජනීය අයකුට දෙන දේ දානය කියා සිතනවා. නමුත් මෙහි ඊට වඩා ගැඹුරු අර්ථයක් තිබෙන්නේ.

මේ කියන දානය සහ පරිත්‍යාගය වචන දෙකෙන් ගැඹුරු අර්ථය ඇත්තේ පරිත්‍යාගය තුළයි. දානය තුළ නොවේ. දානය කියන්නේ අතහැරීමේ ප්‍රාථමික අවස්ථාවයි. සරල අවස්ථාව. බුදුදහම සෑමවිටම සරල තැනින් ගැඹුර කරා යන දහමක්. ඒ නිසා සීල, සමාධි, ප්‍රඥා හෝ දාන, සීල, භාවනා නැත්නම් දස රාජ ධර්ම, දස පාරමී හැම තැනකමදීම දානය මුලට දමා තිබෙන්නේ අනෙක් තැන්වලට වඩා එය සරල නිසා. තථාගතයන් වහන්සේ වදාළා දානය කියන දේ මූලික අදහස සිව්පසය අත හැරීමයි. ගිහියෙකුගේ පහසු සුඛ විහරණය සඳහා උපකාර කරන සිව්පසයක්

තිබෙනවානේ. ඇඳුම් පැළඳුම්, ආහාර පාන , ගේදොර බෙහෙත් එයට අයත්. පැවිදි උතුමන්ටනම් , චීවර,පිණ්ඩපාත, සේනාසන, ගිලන්පසයි. මේ සියල්ල අතහැරීම දානයයි.

පඤ්චස්කන්ධයේ කැමැත්ත
අතහැරීම – පරිත්‍යාගයයි

පරිත්‍යාගය කියන්නේ මොකක්ද? පරිත්‍යාගය කියන්නේ පඤ්චස්කන්ධයට ඇති උපාදානය හෙවත් කැමැත්ත අතහැරීමයි. එසේනම් සිව්පසයට ඇති කැමැත්ත අතහරින්න බැරි අයට පඤ්චස්කන්ධයට ඇති කැමැත්ත කෙසේවත් අත හරින්න බැහැ. ඒ නිසා අනුපිළිවෙල අගයන මේ දහම තුළ දානය පුරුදු කරන්න බැරි පුද්ගලයාට පරිත්‍යාගය කෙසේවත් පුරුදු කරන්න බැහැ. අනුපිළිවෙල ක්‍රමයට අනුව මුලින්ම තිබෙන දානය පුරුදු කිරීම තුළිනුයි. සිව්පසය අතහැරීම , ඒවාට තිබෙන බැඳීම, ආශාව අතහැරීම කළහැකි වන්නේ ඒ තුළිණුයි. ඒ වගේම පඤ්චස්කන්ධයට තිබෙන බැඳීම, උපාදානය, ආශාව අතහැරීම පරිත්‍යාගය කියන්නේ.

චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇති දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය විස්තර කරද්දී යො තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධෝ තස්සායෙව කියන්නේ මේ පඤ්චස්කන්ධයට තිබෙන තණ්හාවේ අසේසවිරාග නිරෝධෝ ශේෂයක් නැතිව සම්පූර්ණයෙන්ම අතහැරීම, ඒ තණ්හාව නිරුද්ධ කර දැමීම, චාගෝ පරිත්‍යාග කරනවාද පටිනිස්සග්ගෝ නිස්සර්ජනයක්, මුදාහැරීමක් සිදු කරනවාද, මුත්ති මිදීමක් සිදුවෙනවාද, අනාලයෝ පඤ්චස්කන්ධයට නොඇලී සිටිනවාද එයයි දුක නැති කිරීම කියන්නේ. මෙහිදී දානෝ කියන වචනය යොදා නැහැ. ඒ නිසා අප තේරුම් ගතයුතුයි දුක්ඛ නිරෝධයට ප්‍රධාන උපකාරය වන්නේ පඤ්චස්කන්ධයට තිබෙන ආශාව අතහැරීම කියන අදහසින් චාග කියන වචනය මෙහිදී යොදා තිබෙනවා. ඒ නිසා දානයෙන් පටන් ගෙන පරිත්‍යාගය දක්වා යන දර්ශනයකුයි භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීම තුළ තිබෙන්නේ.

මහත්ඵල සහ මහානිශංස

ඒ වගේම තථාගතයන් වහන්සේ විසින් දානය පූජා කිරීම සම්බන්ධයෙන් කරුණු කාරණා අපට කියාදී තිබෙනවා. දානය පූජාකිරීමේ පරමාර්ථ දෙකක් දක්වන්න පුළුවන්. ඒ මහත්ඵල ලෙස සහ මහානිශංස ලෙස. මහත්ඵල කියන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි අරහත් මාර්ගඵලවලට. “මහානිශංස” කියන්නේ එයින් මෙහා ලෞකික ජීවිත සාර්ථක කර ගැනීම සඳහා උපකාර වන දෙයයි. නමුත් අප භාවිතා කරන්නේ එය එකවර මහත්ඵල මහානිශංස කියායි.

ඕනෑම අන්‍ය ආගමිකයෙකුට වුවත් මහානිශංස ලබා ගතහැකි ආකාරයට දානයක් පූජා කරන්න පුළුවන්. නමුත් මහත්ඵල ආනිශංස දෙකම ලබාගත හැකි ආකාරයට දානයක් පූජා කළහැකි වන්නේ බෞද්ධයන්ට පමණයි. බෞද්ධයා ඕනෑම දෙයක් අතහැරිය යුත්තේ නිවන ඉලක්ක කොටගෙනයි. සිව්පසය හෝ අතහරිනවා නම් එයා ලෞකික බලාපොරොත්තුවලින් තොරව ලෝකෝත්තර මාර්ගඵල අපේක්ෂාවෙන් මේ අතහැරීම සිදුකළ යුතුයි. මාර්ගඵල ලබාගැනීම සඳහා හේතුවන ප්‍රාථමික ක්‍රියාවක්ය කියා දැනගෙන අතහරිනවා නම්, සම්මාදිට්ඨියේ පිහිටා දෘෂ්ඨි සම්පන්නව අතහරිනවා නම් ඒ අතහැරීම නිවනට උපකාරි වෙයි.

එසේ නැත්නම් සාමාන්‍ය පුද්ගලයෙකුට ලැබෙන ආකාරයට දානයේ ආනිශංස ලෙස භවභෝග සම්පත් අප ප්‍රාර්ථනා කළත් නොකළත් එසේම ලැබෙන බව තථාගතයන් වහන්සේ අවධාරණය කොට වදාළා.