Print this Article


සැබෑ සිල්වතෙක් වන්නට නම්...

සැබෑ සිල්වතෙක් වන්නට නම්...

"බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය ප්‍රතිපත්තිය මුල් කොටගත් දර්ශනයකි. ප්‍රතිපත්තිය නම් ධර්මයට අනුව පිළිවෙත් පිරීමය. දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වටහාගෙන අනුගමනය කිරීමය. දස කුසල් පිළිවෙත අවබෝධ කර ඒ අනුව චරිතය හැඩගස්වා ගැනීමය. එය මෙලොව ජීවිතය මෙන්ම පරලොව ද යහපත් කර ගැනීමට ද උපකාරී වේ. "

“වත්තංන පරිපුරෙන්තො -
සීලං න පරිපූරති”

වත් පිළිවෙත් නොකරන පුද්ගලයාගේ සිල් නොපිරේ යැයි දහමේ සඳහන් වේ. වත් පිළිවෙත් නම් ආචාර සමාචාර, හැසිරීම් ආදියයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු මානව හිතවාදී ලෙස මෙහෙය වීමයි. තෙරුවන් සරණ ගිය බෞද්ධයා ඒ මාවතේ ගමන් කරන්නෙකි. ඔහුගේ ක්‍රියාකාරකම්වලින්, හැසිරීමෙන් ඉස්මතු වන්නේ බොදු පිළිවෙත මිස අන් පිළිවෙතක් නොවේ.

බෞද්ධ සමාජයක් එවැනි මානව හිතවාදී මිනිසුන්ගෙන් පිරිපුන් විය යුතු ය. ඔවුන්ගේ ගමන බිමන, කතා බහ ආදී සියලු ක්‍රියාකාරකම්හි පමණක් නොවේ. සිතුම් පැතුම්, ආකල්පයන්හිද සිල් සුවඳ මුසු වී තිබිය යුතු වේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය ප්‍රතිපත්තිය මුල් කොටගත් දර්ශනයකි. ප්‍රතිපත්තිය නම් ධර්මයට අනුව පිළිවෙත් පිරීමය. දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වටහාගෙන අනුගමනය කිරීමය. දස කුසල් පිළිවෙත අවබෝධ කර ඒ අනුව චරිතය හැඩගස්වා ගැනීමය. එය මෙලොව ජීවිතය මෙන්ම පරලොව ද යහපත් කර ගැනීමට උපකාරී වේ.

ඉපදීම, වයස්ගත වීම, ලෙඩවීම, මිය යාම ආදී දුක් සහිත ස්වභාවයන්ගෙන් පීඩා විඳින්නේ අසහනයට පත් වන්නේ එක් ජන කණ්ඩායමක් පමණක් නොවේ. එය සියලු ලෝක සත්ත්වයාටම පොදු ධර්මතාවකි. ඒ දුක් සහිත සංසාර ගමනේ සිතන්නට ශක්තිය ඇති මිනිසා, මනසින් උසස් මිනිසා සුචරිතවත් කිරීම සඳහා ය, බුදුරජාණන් වහන්සේ පංචශීල ප්‍රතිපදාව අනුදැන වදාළේ. එය එක් කුලයකට, ජාතියකට, දේශයකට පමණක් සීමා වූ ධර්මයක් නොවේ. සමස්ත මානව සංහතියටම පොදු වූවකි. ලොකු, කුඩා, දුප්පත් පොහොසත් කිසිදු භේදයකින් තොරව සෑම පුද්ගලයකුටම අනුගමනය කළ හැකි ධර්මතාවකි. පංචශීලයේ ශක්තිය හා ගුණය පිළිබඳ, එහි ආනිශංස පිළිබඳ නැවත සිතා බැලීම, හා ක්‍රියාවේ යෙදවීම කාලීන අවශ්‍යතාවකි. අපචාරයන්හි වර්ධනය, සදාචාර පිරිහීම අවම කර ගැනීමේ පහසුම මඟ එයයි.

පස් පවින් වැළකීම පමණක්, පංචශීල ප්‍රතිපදාවේ දී විස්තර නොකෙරේ. සතුන් මැරීමෙන්, සොරකමෙන්, වැරැදි කාම සේවනයෙන්, බොරුවෙන් සුරාවෙන් වැළකී සිටිනවා සේම ඊට අදාළ තවත් කරුණු රාශියක් පිළිබඳව අවධානය යොමු කළ යුතු ය. පළමු සිල් පදය සම්පූර්ණ වීමට නම් ලොව වෙසෙන සියලු ප්‍රාණීන් කෙරෙහි දයානුකම්පිත විය යුතු වේ. සියලු දඬුවම් සහිත ක්‍රියාවන්ගෙන් දුරුවිය යුතු අතර සියලු අවි ආයුධ බිම තැබිය යුතු වේ. පවට ලජ්ජා විය යුතු වේ. පවට බිය විය යුතු වේ. සියලු සතුන් වෙත පතළ කරුණා මෛත්‍රී ගුණයෙන් හදවත පිරිපුන් විය යුතු වේ.

තමන්ගේ අඩුපාඩු කොතෙක් වුවද ඒවා සුළු කොට සිතා අනුන් වැරැදි සෙවීම වගේම අනුන් හදන්නට, හසුරුවන්නට පෙළඹීම සමාජයේ ඇතැම් අයගේ පුරුද්දකි. එහෙත් විය යුතු පළමුව තමන් නිවැරැදි වීමය. සැබෑ බෞද්ධයා එලෙසය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දස කුසල පටිපදාව තමන්ගේ ජීවිතයට ආදර්ශයක් කරගත යුතු ය. පළමුව සුළු සුළු වෙනස්කම් හුරුපුරුදු කොට එය වඩාත් වර්ධනය කරගත යුතු ය. එවිට තමන් නිවැරැදි වී ක්‍රමයෙන් සමාජයේ විශාල වෙනසක් ඇති කිරීමට පුළුවන.

සදාචාරය සුරැකෙන ලෙස හැසිරීම් හසුරුවා ගන්නට උනන්දු නොවන්නේ නම් එතැන සීලයේ පළුද්දක් ඇති වේ. ඇතැම්විට අප නොසිතා හෝ සිතාමතාම කරන ක්‍රියාවක් තවත් කෙනෙකුට හිරිහැරයක් කරදරයක් වීමට ඉඩ තිබේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ අප යම් ක්‍රියාවක් කරනවා නම් ඒ පිළිබඳව වඩාත් හොඳින් විමසිලිමත් වන ලෙසයි. තමන්ට අහිත, අනුන්ටද අහිත දෙයින් වැළැකී ‘අත්ථ හිත’ ‘පර හිත’ තමන්ට හිත, අනුන්ට ද හිත පිණිස වන ක්‍රියාවන්හි නිරතවන ලෙසයි. තමන් සමඟ ජීවත්වන අයට පහසුවක් ලැබෙන ලෙස ජීවත් වන්නට දන්නේ නැතිනම් සීලයේ කඩවීමක් සිදුවේ. සදාචාරය ඉක්මවා යාමක් වේ.

සුළු වරදත් නොඉවසීම ගැටුම් නිර්මාණයේ ආරම්භයයි. අම්ම තාත්තගේ, දූ දරුවන්ගේ, හිත මිතුරන්ගේ ආදී තම සමීපතමයන්ගේ පමණක් නොව මහ මඟ, බස් රථයක, දුම්රියක ගමන් කරනා විට අසළ සිටින පුද්ගලයාගේ සුළු අත් වැරැද්දක් හෝ ඉවසීමට නොහැකි නම් එතැන සීලය තිබේ යැයි කිව හැකිද?

“ඛන්ති පරමං තපො තිථික්කා’

ඉවසීම උතුම් තපසක් වන බවයි ධර්මයේ විස්තර කෙරෙන්නේ. ඉවසීම ඇති තැන වැරැදි සිදුවීමට ඇති ඉඩ අවමය. බෞද්ධ සමාජයක වැරැදි විය නොහැකි ය. එවැනි සමාජයක ආරම්භය පවුල තුළින් නිර්මාණය කළ හැකි ය. එහිදී අම්මට, තාත්තට පැවරෙන වගකීම සුවිශාලය. ජීවිතය ප්‍රශ්නකාරී වීමට පුළුවන. එහෙත් පුංචි දරුවන් ඉදිරියේ මව්පියන් තමන්ගේ සීමාව ඉක්මවා ඔවුනොවුන් අඬ දබර කර ගන්නවා නම්, ඉවසන්නට දන්නේ නැති නම් දරුවන්ද ඉවසන්නේ නැත. දරුවන්ගේ චින්තනය දියුණු වන ලෙස තමන්ගේ හැසිරීම් හා ක්‍රියාකාරකම් හසුරුවන්නට මවුපියන් වගකීමෙන් කටයුතු කළ යුතු ය. පොත පතේ දැනුම ලබාදීමෙන්, පොත් වණපොත් කිරීමෙන් දරුවා උගතෙක් වන්නට පුළුවන. එහෙත් ගුණධර්ම නොහඳුනන්නේ නම් හේ හොඳ මිනිසෙක් වන්නේ නැත. අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වන්නේ හොඳ මිනිසකු බිහි කිරීමය. අධ්‍යාපනය දෙන ගුරුවරු එය හොඳින් ධාරණය කරගත යුතු ය. ගුණ ධර්ම කියා දෙන්නට, ‘බුද්ධ ධර්මය’ පෙළපොත මා හැඟි උපකාරයකි. එහෙත් එය බුද්ධ ධර්මය පොතට පමණක් සීමා කළ යුතු නොවේ. ඉතිහාසය පිළිබඳ ඉගැන්වීම් කළත්, භූගෝල විද්‍යාව, සෞඛ්‍ය අධ්‍යාපනය, පුරවැසි අධ්‍යාපනය ආදී කවර විෂයකදී වුවද මානුෂීය ධර්ම ඉගැන්වීම අපහසු නොවේ. යාන්ත්‍රික නොවන අධ්‍යාපනයක් තුළ එම සාරධර්ම දරුවාට හුරු කරවීමට දෙවිවරුන්වන් ගුරුවරුන්ට අපහසු කරුණක් වන්නේ නැත.

සාරධර්ම ඉගැන්වීමෙහි ලා මවුපියන්ගේද වගකීම සුවිශේෂී ය. ගෙදර බුදු පහන දල්වන්නේ නැතිනම්, අම්මා තාත්තා දරුවන් හා සමඟ එක්ව බුදුන් වඳින්නේ නැති නම් දරුවන් තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයක්, භක්තියක් වර්ධනය කිරීම අපහසුය. එය දහම් පාසලේ දී පමණක් කළ හැකි දෙයක් නොවේ.

ආගමානුකූලව හැදෙන දරුවා වැඩෙන්නේ මනා පෞරුෂයක්ද සමඟිනි. පාසලේ දී දහම් පාසලේ දී මෙන්ම ගෙදරදී එවැනි පරිසරයක් නිර්මාණය වීම අත්‍යවශ්‍යය.

ලෙඩ දුක් සහිත කාලයන්හි අපල උපද්‍රව නිසා එසේ වූයේ යැයි බොහෝ දෙනෙක් තවත් මානසිකව ඇද වැටෙති. අපල සඵල කරගන්නට නම් යහපත් මානසිකත්වයක් ඇවැසිය. ඒ සඳහා විනයක්, ශික්ෂණයත් ඇති කර ගත යුතු ය. යහගුණ වර්ධනය කර ගනිමින් කිසිවෙකුට හිංසා පීඩාවක් නොවන ජීවන පැවැත්මක් ඇතිකර ගත යුතු ය. පවුලට, ගමට, රටට ආශිර්වාදයක් වන්නේ වැඩදායක වන්නේ එවැනි පුද්ගලයාය.