සසර දුකට භේද නැත
ගල්බොඩ
ඤාණිස්සර නා හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සුඛො බුද්ධානං උප්පාදො
සුඛා සද්ධම්ම දේසනා
සුඛා සංඝස්ස සාමග්ගි
සමග්ගානං තපො සුඛා (ධම්මපදය – බුද්ධ වග්ගය)
බුදුවරුන්ගේ උපත සැපයකි. ධර්ම දේශනය සැපයකි. සංඝයාගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ
තපස සැපයකි.
පින්වත්නි,
නවම් පුර පසළොස්වක පොහොය වසරේ දෙවන පොහොය දින එළැඹේ.බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ
සන්නිපාතය, සැරියුත් මුගලන් දෑගසව්වන් ලෙස පත් කිරීම, ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව
සිදු කිරීමද නවම් පොහෝ දිනක සිදු වූ වැදගත් සිදුවීම්ය. තුනුරුවනට ගරු කිරීමක් ලෙස
කොළඹ ගංගාරාමයේ නවම් පෙරහර සිදු කරනුයේද එබැවිනි.
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටියදී එක් දිනක් පන්සියයක් භික්ෂූහු උවටැන්
ශාලාවේ වැඩ සිටිද්දී ඇවැත්නි, මෙලොව සැපනම් කුමක්දැයි කථාවක් ඇති කළහ. කෙනෙක්
රාජ්‍ය සැප සමාන සුවයක් නැතැයි කීහ. කෙනෙක් කම්සුව ආදිය සමාන සුවයක් නැතැයි පැවසූහ.
බුදුහු ඒ භික්ෂූන් සිටි තැනට වැඩම කර පළමුව සිදුවූ කථාව පිළිබඳව විමසා දැන් කුමක්
පවසම්ද? මේ සියලු සැප සසර දුකට පිළිපන් ඒවාය. බුද්ධෝත්පාදය, ධර්මය ඇසීම සංඝ සමගිය,
සතුටු සාමිචී බව සැප යැයි වදාරා ඉහත ගාථා දෙසූහ.
බුදුරදුන් පහළ වනවිට මහජනතාව රාග කාන්තාරයෙන් එතෙර කරති. මේ නිසා බුදු උපත
සැපයක්මයි. ධර්ම දේශනය ජාති, ජරා, මරණාදි දුක්ඛයන්ගෙන් මිදීමට හේතු වේ. එහෙයින් දම්
දෙසුම සුවයක් වේ. සාමග්ගි යනු සම චිත්තයයි. සමඟි වූවන්ගේ එකඟ වූ සමාහිත වූ සිත නිසා
බුද්ධ වචනය ඉගෙනීමට ධුතංග දැරීමට ශ්‍රමණ ධර්ම කිරීමට හැකිවේ. එහෙයින් සමගි සංඝයාගේ
තපස සැපයක් යැයි වදාළහ.
ඒ නිසාම බුදුරජාණන් වහන්සේ විසින් යම් සේ භික්ෂූන් සමගිව රැස්වේද? සමගිව විසිරයේද,
සංඝකරණීය කරන්නේද වැඩි දියුණුවක්ම ඇතිවේ. පරිහානියක් ඇති නොවේ යැයිද වදාළහ.
සමවායො ඒව සාධූ (සමගියම යහපති). සමග්ගා හොථ මා විවදථ (සමගිවන්න විවාද නොකරන්න)
යනුවෙන් බුදුරජාණන් වහන්සේ උපදෙස් දී ඇත. අසමගියේ ආදීනව මෙන්ම සමගියේ ආනිශංසද බොහෝ
දේශනාවල බෞද්ධ කථාවල උගන්වා ඇත. සමගියෙන් හා සතුටින් විවාද නොකර කිරි සහ ජලය මෙන්
පෑහී එකමුතුව එකිනෙකා දෙස පි‍්‍රය ඇසින් බලමින් ජීවත්වීම බුදුරජාණන් වහන්සේ අගය කර
තිබේ.
බෞද්ධ ඉගැන්වීම් අනුව එබඳු සාමයක්, සමගියක්, සහජීවනයක් ඇතිවීමට නම් හානිකර ආකල්ප
බැහැර කර යහපත් ආකල්පයන් දියුණු කරගත යුතුය. ආගම, ජාතිය, කුලය වැනි කරුණු මුල්කොට
එකිනෙකා වෛරයෙන්, නොසතුටින් බැලීම සුදුසු නැත. බුදුහු තමන් වෙතැ පැමිණි වෙනත් මත
දැරූවන් සුහදව පිළිගෙන දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. ඔවුන්ගේ මතවල අඩුපාඩු පෙන්වා දුන්
මුත් සුහදත්වය නැතිකර නො ගත්හ. අන්‍ය ආගමික ආරාමවලට පවා වැඩම කොට සුහදව සාකච්ඡා
කළහ.
බුදුදහම අනුව සසර දුකට ජාතියක්, ආගමක් හෝ කුලයක් නැත. සියලුම සත්ත්වයෝ උපදිති. ලෙඩ
රෝගවලින් පීඩා විඳිති. මහලු වී මිය යති. චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්ෂණය, හේතුඵල
ධර්මය සියලු දෙනාටම පොදුය. පංචදුෂ්චරිතය කවර ජාතියකට, ආගමකට හෝ මිනිසුනට අවැඩක්
පිණිසම පවතී. බුදුදහම උගන්වන දානය, පි‍්‍රය වචන කථා කිරීම, අර්ථ චර්යාව,
සමානාත්මතාව ජාතික ආගමික සමගිය සහජීවනය ගොඩනඟා ගැනීමට හේතුවේ. ශ්‍රී ලාංකේය බෞද්ධයෝ
අන්‍යාගමිකයෝ අන්‍ය ජාතිකයන් සමඟ සුහදව ම ජීවත්වූහ. අපිදු මේ පෝදා සහජීවනය සඳහා
කටයුතු කිරීමට අදිටන් කර ගනිමු.
තෙරුවන් සරණයි |