Print this Article


අපමණ කල් අපමණ දුක් විඳින්නෝ

අපමණ කල් අපමණ දුක් විඳින්නෝ

අගක් මුලක් නොපෙනෙන සසර වූ කලී කාන්තාරයකි. නිිරුදකයකි. ඒ නිරුදක සසරේ ගමන් කිරීම විවිධ උපද්‍රවයන්ට තෝතැන්නකි. සොරුන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන් විවිධ ගැහැට ගෙන දෙන්නෙකි. එමෙන්ම සසර වූ කලී මහා සාගරයකි. එහි අගක් මුලක් නොපෙනේ. සසර නමැති සැඩ පහරට හසුවූවන්ට එතෙරක් හෝ මෙතෙරක් නැත. ඇතැමෙක් මේ සැඩ පහරට හසුවී අපමණ දුකකට පත් වෙති. සැඩ පහරේ බිය ජනක සුළු තත්ත්වය වටහා ගන්නෝ මුළු වීර්යයම යොදා සසරින් එතෙර වෙති. ඒ සඳහා උත්සුක වෙති. උනන්දු වෙති. ඒ සසර කතරින් එතෙර වීමට උත්සුක වූවෝ පෙරුම් දම් පුරති.

පෙරුම් පිරීම යනු බුද්ධත්වය හෙවත් අවබෝධය ඇති කර ගැනීම පිණිස ආත්මයක් හෙවත් භවයක් පාසා පින් දහම් පිරීමයි. ඒ පින් දහම් පිරීම මෙන්ම කුසල ධර්ම වැඩිමෙන් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ සසරින් එතෙර විය හැකි ය. ඒ තුන්තරා බෝධිය නම් බුද්ධත්වය, පසේ බුද්ධත්වය, අර්හත්වයට පත්වීමයි. ඒ තත්ත්වය උදාකර නොගන්නාතාක් සත්වයා ඉපදෙමින් මියයමින් අපමණ දුකකට පත්වෙති.

පිනට නැඹුරු වූවෝ සුගති භව ලබති. පවට නැඹුරු වූවෝ දුගති භව ලබති. මෙහි සුගති භව නම් දිව්‍ය ලෝක සය, මනුෂ්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය යන යහපත් ස්ථානයක ඉපදීමයි. එසේ වුවද මනුෂ්‍ය හා දිව්‍ය ලෝකවල අහේතුක ප්‍රතිසන්ධිය ලබන පුද්ගලයා ජාති අන්ධ, ජාති බිහිර, අංග විකල ආදී හීන ආත්ම ලබා අපමණ දුකකට මුහුණ දෙයි. සුගති අහේතුක වශයෙන් දක්වන්නේ ලෝභ, ද්වේෂ, මෝහ මුල් කොට ප්‍රතිසන්ධිය ලබන තැනැත්තායි.

අකුසල කර්මයන්ගේ විපාක වශයෙන් උපදින දුක් සහිත ස්ථාන හඳුන්වන්නේ දුගතිය නමිනි. ඒ දුගති ස්ථාන ලෙස අපාය, තිරිසන් යෝනිය, ප්‍රේත ලෝකය, අසුර නිකාය ආදී අභව්‍ය තැන්හි ලබන ස්ථානයි. මෙවැනි තැනක උපත ලැබූවකුට කිසිදා සැප කියා දෙයක් විඳිය නොහැකි අතර දුකම උරුමය. මේ සසරේ ස්වභාවයයි. එය තේරුම් ගත්තෝ වහ වහා කෙලෙස්වලින් මිදීමට උත්සුක වෙති.

මෙතැන් සිට අප සිත් තුළ ඇති ක්ලේශයෝ මොනවාදැයි හඳුනා ගනිමු. මිනිස් සිත යම්කිසි ධර්මයකින් කිළිටිවේද ඒවා ක්ලේශ ධර්මයන් ලෙස හඳුන්වයි. ක්ලේශයෝ දස දෙනෙක් ගැන සඳහන් වේ. ඒ ක්ලේසයෝ දස නම් ලෝභ, දෝස, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, ථීන මිද්ධ, අහිරික හා අනොත්තප්පයයි.

මේවා එකිනෙක විමසා බැලීමෙන් අප තුළ පවත්නා ක්ලේශයන්ගේ සැබෑ තත්ත්වය වටහා ගත හැකිය. ලෝභ නමින් හඳුන්වන්නේ ඉඳුරන් මඟින් ගනු ලබන රූප ශබ්දාදී අරමුණුවල ඇලීමට කරුණු වන ධර්මයි. සිතෙහි ලෝභය නොමැති නම් සිත අරමුණු වල ඇලෙන්නේ නැත.

සිත අරමුණුවල ඇලෙනුයේ ලෝභය ඇතිවිටය. වානරයන් මරන්නන් එම වානරයන් මැරීම සඳහා ලෑල්ලකට ලාටු ගා තැන තැන දමති. වානරයන් ඒවා පිරික්සන්නට අත තබති. ඇලවෙති. පා තබති. ඇලවෙති. හිස තබති. ඇලවෙති දැන් වානරයන් පස් පොළකින් ඇලී සිටී. වැද්දෝ පැමිණ පහසුවෙන් වානරයන් අල්ලා ගෙන මරා කති. එමෙන්ම සත්ත්වයාද ලෝභය නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කාම වස්තුන්හි ඇස, කන, නාසය, දිව, ශරීරය යන පස් තැනින් ඇලි බැඳී තදබදව ගොස් මාර පාසයට අසුව අපමණ දුක් විඳින්නෝය.

රූපාදී අරමුණු නිසා සිතෙහි පහළ වන සැඩ ස්වභාවය දෝස නම් වේ. එනම් අරමුණු නිසා සිතෙහි ඇතිවෙන දූෂිත භාවයයි. ගස් බෙනයක වසන නයෙකුට මෙය උපමා කොට ඇත. ගස් සිදුරෙහි වසන නයෙකුට යමෙක් දඬු මුඟුරු කැට කැබලිති ආදී වූ යමකින් පහර දුන් විට එයින් බැහැරට එන නයා කෝපයෙන් පැන පැන දෂ්ඨ කරන්නේ ය. එම විෂ තුළින් ඔහු ජීවිතක්ෂයට පවා පත් වන්නේ ය. එබැවින් මේ සැඩ ගතිය යමෙකු තුළ පවතී නම් යකඩයෙන් උපන් මළ යකඩයම විනාශ කරන්නාසේ, දූෂිතවූ සිත් ඇත්තා ඒ දූෂිත භාවයෙන්ම විනාශයට පමුණුවන්නේ ය.

අරමුණුවල මුලා බවට පත් කරවන, අරමුණ තතු වසාලන ලක්ෂණය නම් මෝහයයි. මහ අන්ධකාරයක සිටින්නෙකුට ඇසට කිසිවක් නොපෙනෙන්නේ යම්සේද එසේම මෝහයෙන් අන්ධ වූ මිනිසාට මේ දේ හරිය, මේ දේ වැරදිය, මෙය කළ යුතු ය. මෙය නොකළ යුතු ය. මෙය පවය, මෙය පිනය, මෙය අකුසලය, මෙය කුසලය යනුවෙන් යුක්ති අයුක්ති විනිශ්චයෙහි යෙදීමේ හැකියාවක් නැත. මෙවැනි පුද්ගලයා දුකෙහි තතු නොදකී.

මම මේ ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මට වඩා ශ්‍රේෂ්ඨයෙක් මේ ලොව නැත. යනාදී වශයෙන් තමා උසස් කොට අන් අය පහත් කොට සැලකීමේ ලක්ෂණය මානයයි. එය උඩඟුකම මුල් කොටම පවතින්නකි.

සිතෙහි නගින, සිතෙහි පහළවන බුද්ධාදී අට තැන්හි ඇතිවෙන සැකය විචිකිච්ඡාවයි. අරමුණු නිශ්චය කොට ගත නොහැකි බව යමක් නිසා ඇතිවන්නේද එය විචිකිච්ඡාවයි. ඒ ඒ ධර්මයන් පිළිබඳ තතු සොයන්නා විඩාවට පමුණුවන්නේ ද මේ නිසාය. එවැනි අයෙකුට පිළියම් කිරීමට නොහැකිය. එයට ප්‍රතිකාරයක් නොමැති නිසාම විචිකිච්ඡාව යයි කියති. මන්ද සැකය ලකුණු කොට ඇති සිතට නුවණ නමැති බෙහෙතින් ප්‍රයෝජනයක් නොමැති බැවිනි. මෙවැනි තැනැත්තා බුදුරදුන් කෙරෙහි, ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි, ශික්ෂාව කෙරෙහි, පෙර අත්බව කෙරෙහි, මතු අත්බව කෙරෙහි, පෙර මතු අත් බව කෙරෙහි, ප්‍රතිත්‍යසමුත්පන්න ධර්ම කෙරෙහි ඇති වන සැකය විචිකිච්ඡාවයි.

මග නොදත් මිනිසෙක් දෙමංහන්දියට පැමිණියේද මේ මග යා යුතුද අනිත් මඟ යා යුතුදැයි යා යුතු නොයායුතු මඟ තීරණය කොට නොහැක්කාසේ විචිකිච්ඡාවටද අරමුණු තීරණය කරගන්නට නොපිළිවන. එබැවින් විචිකිච්ඡාව ඒකාන්තයෙන්ම අකුසලයෙකි.

සිතෙහි නොසන්සුන්බව, සිත නිරතුරුව සැලෙන බව හඳුන්වන්නේ උද්ධච්ච නාමයෙනි. අලු ගොඩකට ගලක් විසිකළ විට අලු විසිරී යන්නාසේ චිත්ත චෛතසික ධර්මයන්ගේ නොසන්සුන්කම මෙයින් අදහස් කරයි. මෙවැනි සිතකට පැහැදිලි අරමුණක් කරා යා නොහැකිය.

පව් කිරීමට ලජ්ජා නොවන්නේ, ලජ්ජා නැතිකම හඳුන්වන්නේ අහිරික නමිනි. පවට පිළිකුල් නොකිරීම මෙහි ලක්ෂණයයි.

පව් කිරීමට බය නැතිකම අනොත්තප්පයයි. දැල් වූ තෙල් පහනෙහි පහන් සිළු දුටු පළගැටියා එහි එළියෙන් මුළාවී පහන් වැටියට වැටී විනාශයට පත්වන්නා සේ පව් කම් කිරීමට බිය නොවූ පුද්ගලයා සතුන් මැරීම් ආදී පව්කම් සැප පිණිස, හිත පිණිස හේතු යයි සිතා පව්කම් කිරීමට බිය නොමැති කම නිසා පාපයෙහි නිරත වෙයි. දුසිරිතෙහිම යෙදෙයි. පළගැටියාට වූ දේම මෙවැනි පුද්ගලයන්ට සිදුවන බව ඔහු නොදනියි. නොසිතයි.

ඉහත සඳහන් කළ කෙලෙස් ධර්මයන්ගෙන් පිරුණු සිතද අපිරිසුදු වේ. කෙලෙස් කසටින් පිරුණු සිත අපායාදී දුගතියටම මං පාදයි. කෙලෙස් මලින් දූෂිත සිත ආත්මාර්ථය පරාර්ථය යන උභයාර්ථයම නොදකියි. දස කුසල කර්ම පථයෙන් මතු ධ්‍යාන විදර්ශනා මාර්ගඵල යන උසස් ගුණයන් කිසි ලෙසකින්වත් නොලබන්නේ ය.