Print this Article


බාහිර ආටෝපයෙන් ජීවිතයක් ලස්සන වෙනවාද

බාහිර ආටෝපයෙන් ජීවිතයක් ලස්සන වෙනවාද

අපගේ ජීවිත අභ්‍යන්තරය ලස්සන කරන, සරසන, සුවඳවත් කරන දෙයක් වෙළෙඳපොළෙන් හොයාගන්න පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපට පැහැදිලිව වන්නේ සැබෑම ලස්සන ඇතිවන්නේ බාහිරින් කරන සැරසීම නිසා නොව අපගේ අභ්‍යන්තර ජීවිතයේ ඇති ගුණවත් බව දියුණු කිරීම තුළින් බවයි.බුදුරජාණන් වහන්සේ විසින් මේ ගැන වදාළ සුන්දර දේශනාවක් තිබෙනවා “සිවථිකා සූත්‍රය” නමින්.

සුන්දරව, ලස්සනට ජීවත්වෙන්න අප කවුරුත් කැමැතියි. අපගේ ජීවිත, පවුලේ අයගේ ජීවිත, අපගේ නිවාස අප අවට පරිසරය සුන්දරව තබාගන්න අප ලොකු උත්සාහයක් වෙහෙසක් ගන්නවා.

ඒ වගේම තමන්ගේ මුහුණ අලංකාරයට අද වෙළෙඳ පොළේ නොයෙකුත් දේ තිබෙනවා. ඇඟපත සරසා ගන්නත් නොයෙක් ඇඳුම් ආයිත්තම් තිබෙනවා. ගේ දොර සරසා ගන්නත් වෙළෙඳපොළෙහි අද බොහෝ දේ තිබෙනවා. නමුත් තම තමන්ගේ අභ්‍යන්තර ලෝකය සරසා ගන්න අලංකාර කරගන්න බොහෝ දෙනෙක් වැඩි උත්සාහයක් නොගන්නා බවයි පෙනෙන්නේ. අපගේ ජීවිත අභ්‍යන්තරය ලස්සන කරන, සරසන, සුවඳවත් කරන දෙයක් වෙළෙඳපොළෙන් හොයාගන්න පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපට පැහැදිල වන්නේ සැබෑම ලස්සන ඇතිවන්නේ බාහිරින් කරන සැරසීම නිසා නොව අපගේ අභ්‍යන්තර ජීවිතයේ ඇති ගුණවත් බව දියුණු කිරීම තුළින් බවයි.

බුදුරජාණන් වහන්සේ විසින් මේ ගැන වදාළ සුන්දර දේශනාවක් තිබෙනවා “සිවථිකා සූත්‍රය” නමින්. එහි පැහැදිලි කරන්නේ අපගේ ලෝකය ලස්සන කරගන්නට බාහිර ආටෝපයට වඩා අභ්‍යන්තර ගුණය දියුණුකිරීම කෙතරම් ප්‍රයෝජනවත් වෙනවාද කියායි. අධ්‍යාත්මික ගුණය පිරිහීම නිසා ජීවිතයක ඇතිවන අවලස්සන ස්වභාවය පෙන්වාදීමට බුදුරජාණන් වහන්සේ අමුසොහොනක දකින්නට ඇති ලක්ෂණ උපමාවට ගන්නවා. එහිදී උන්වහන්සේ වදාළා අමුසොහොනේ ලක්ෂණ පහක් තිබෙනවා.

එදා පැවති අමු සොහොන කියන්නේ සාමාන්‍ය අද තිබෙන සුසාන භූමිය වගේ නොවේ. බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ තිබූ සොහොනටයි. අමු සොහොන කියන්නේ. එහි මළසිරුරක් දැවීම හෝ වළ දැමීමක් සිදුවන්නේ නැහැ. රෙදිකඩකින් ඔතා දැමීම පමණයි සිදුවුණේ. එම අමු සොහොනේ ලක්ෂණ නම් අපවිත්‍රයි, බොහෝ දුගඳයි, බොහෝ බිය සහිතයි, දරුණු අමනුෂ්‍යයන් අරක්ගෙන වාසය කරයි, බොහෝ ජනයා වැළපෙන තැනක් වෙයි.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළා යම් කෙනෙක් ගේ ජීවිතය තුළ පුරුදු කළ සීල ගුණයක් නොමැති නම්, ඔහුගේ ජීවිතය කෙතරම් බාහිරින් ලස්සන කරන්න හැදුවත් ඔහු තුළ ඉහත සඳහන් කළ අමු සොහොනේ ලක්ෂණ පහම දක්නට ලැබෙනවා කියා. ඒ ලක්ෂණ එකින් එක මෙසේ විමසමු.

01. අමු සොහොන අපවිත්‍ර වූයේ වෙයි

මෙකල අපට දක්නට නැතිවාට මළමිනියක් කුණුවන තැන කෙතරම් අපිරිසුදු බවක් තිබෙනවාද?. රෑට හිවල්ලු ඇවිත් ඒ මළමිනිය කන්න පටන්ගෙන ඇඟේ කොටස් කඩ කඩා එහෙ මෙහේ විසුරුවා දමනවා. දවල් කාලයේ සුනඛයෝ, උකුස්සෝ, කපුටෝ වගේ සත්තු මේ මළ සිරුරේ අවයව ඇද දමනවා. ඒ මළසිරුරේ කුණු වෙන අවයව එහෙමෙහෙ විසුරුවා දමනවා. සමහර කාලවලදී වසංගත රෝග හැදුනාම මිනිස්සු විශාල ලෙස මිය යනවා. ඒ කාලයට අමුසොහොන කුණුවෙන මළමිනීවලින් පිරී යනවා. එසේනම් අපට තේරෙනවා අමුසොහොන කෙතරම් අපිරිසුදු තැනක්ද කියා.

යම් කෙනෙක් බාහිරව මේ ශරීරය සැරසුවත් ඔහු සතුන් මරණවානම්, සොරකම් කරනවානම්, වැරැදි කාමසේවනයේ යෙදෙනවානම් ඔහු විසින් සිදුකරන කායික ක්‍රියා අපවිත්‍රයි. යමෙක් බොරු කියනවානම් කේලාම් කියනවානම්, පරුෂ වචන කියනවා නම්, හිස් වචන කියනවා නම් ඔහු විසින් කතාකරන වාචසික ක්‍රියා අපවිත්‍රයි. ඒ වගේම යමෙක් අනුන්ගේ දේට ආශා කරනවානම් අනුන්හට දේවේශ කරනවානම්, මිථ්‍යා විශ්වාසයෙන් යුක්තනම් ඔහුගේ මානසික ක්‍රියාද අපවිත්‍රයි. කය, වචනය, සිත අපිරිසුදු පුද්ගලයා කෙසේනම් ලස්සන වෙන්නද? ඔහු කවුරුනම් පි‍්‍රය කරාවිද? මේ කය, වචනය, සිත අපිරිසුදු කෙනාගේ ජීවිතය අමුසොහොනේ අපවිත්‍ර බව වාගේ කියා බුදුරජාණන් වහන්සේ වදාළා.

02. අමුසොහොන දුගඳින් යුක්ත වෙයි

නිවසක වුවත් යම් කුඩා සතෙක් මැරී කුණුවුණොත් කෙතරම් දුගඳක් හමනවාද? මුළු නිවසම ගඳ ගහනවා. එසේනම් අපට හිතන්න පුළුවන් අමු සොහොනක සිරුරු කුණු වන විට කෙතරම් සැර දුර්ගන්ධයක් හමනවාද කියා. මේ දුගඳ සුළඟට ඈතට ඈතට පැතිරෙන්නට පටන් ගන්නවා.

බුදුරජාණන් වහන්සේ වදාළා යම් කෙනෙක් යම් අපිරිසුදු කායික ක්‍රියාවන්ගෙන් යුක්තවේද, අපිරිසුදු වාචසික ක්‍රියාවන්ගෙන් යුක්තවේද අපිරිසුදු මානසික ක්‍රියාවන්ගෙන් යුක්තවේද ඔහු ගැන ලාමක අපකීර්තියක් ගමේ නගරයේ රටේ ලෝකයේ පැතිරෙන්න පටන් ගන්නවා. ඔහුගේ නම කියූ සැණින් මිනිසුන් නින්දා කරනවා. එයට හේතුව ඔහුගේ අපවිත්‍ර කායික,වාචසික, මානසික ක්‍රියා පිළිබඳව ලෝකයේ පැතිරුණ අපකිර්තියයි. මෙම අපකීර්තිය අමුසොහොනේ දුර්ගන්ධය වගේ කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

03. අමුසොහොන බිය සහිතයි

සොහොන කියන වචනය සාමාන්‍ය බිය සහිතයි. මේ බිය නිසා අප අමුසොහොනට යන්නේ නැහැ. අමු සොහොන මඟ හැරෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මේ ලෝකයේ පැවිදි ගිහි දෙපාර්ශවයේම ස්වභාවයෙන්ම යහපත්, සංසිඳුණු, නිවුනු මිනිසුන් ඉන්නවා. ඒ අය කරදරවල පැටලෙන්න කැමැති නැහැ. එනිසාම එම යහපත්, සංසිඳුණු, නිවුණු මිනිසුන් සතුන් මරණ, සොරකම් කරන, වැරැදිකාම සේවනයේ යෙදෙන, බොරු කියන, කේළාම් කියන පරුෂ වචන කියන, සම්ප්‍රප්පලාපයේ යෙදෙන අනුන්ගේ දේට ආස කරන, ද්වේශ කරන, මිථ්‍යා දෘෂ්ටික ළාමක පුද්ගලයන් ඇසුරු කරන්නේ නැහැ. ළාමක පුද්ගලයන් ඇසුරු කරන්නට සද්පුරුෂයා බිය වෙනවා. ඒ සද්්පුරුෂයා කරදරයේ වැටෙන්න අකමැති නිසා. අමු සොහොනට බියෙන් සොහොන මඟහැර යනවා වගේ සද්පුරුෂයන් ළාමක කෙනාට බියෙන් ආශ්‍රය අතහැර යනවා.

04. අමු සොහොනට දරුණු යකුන් අරක් ගැනීම

අප පුංචි කාලයේ සිට අසා තිබෙනවා සොහොනේ යකුන් සිටිනවා කියා. ඒක ඇත්ත. අමු සොහොනේ සැඬ යක්ෂයන්, අමනුෂ්‍යයන් අරක් ගන්නවා. වාසය කරනවා. යමෙක් අපිරිසුදු කායික ක්‍රියාවෙන්, අපිරිසුදු වචනයෙන්, අපිරිසුදු සිතින් යුක්ත වෙනවා නම් ඔහුගේ ජීවිතයත් සැඬ යකුන් අරක් ගත් අමුසොහොන වගේ වෙනවා කියා බුදුරජාණන් වහන්සේ වදාළා. ළාමක පවිටුකම්වලින් යුතු කෙනාගේ ජීවිතයට අරක්ගන්නා අමනුෂ්‍යයන් කවුද කියා අප බලමු. මාළු අල්ලන කෙනා ඇසුරට නිරන්තරයෙන් එන්නේ එයට කැමැති අයයි. සල්ලාලකම් කරන පුද්ගලයා වටා එකතුවන්නේ සල්ලාලයෝමයි. බේබදු මිනිසා ඇසුරු කිරීම ඔහුගේ නිවසට එන්නේ බේබද්දෝමයි. මේ ආකාරයට අමුසොහොනක ඇසුරු කරගෙන යකුන් අරක් ගන්නවා සේ ළාමක පුද්ගලයා ඇසුරු කරගෙන ඔහු වටා අරක් ගන්නේ ළාමක පුද්ගලයෝමයි. අසද්පුරුෂයන්ගේ ආශ්‍රයට වැටුණු පුද්ගලයාට යහපතේ යෙදීම ඉතා අසීරුයි.

05. අමු සොහොන බොහෝ දෙනාගේ වැළපීම් සහිත වුයේ වෙයි

ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ ලෙස අමුසොහොන බොහෝ වැළපීම් ඇති තැනක් කියා. ඒ මොකද? .තමන්ගේ මව වේවා, පියා වේවා, සහෝදර සහෝදරියන් වේවා බිරිඳ වේවා, ස්වාමියා වේවා, දරුවන් වේවා මළ පසු අමුසොහොනට ගෙනවිත් දමන ඤාතීන් හිතමිතුරන් හඬමින්, වැළපෙමින් සොහොනෙහි විලාප දෙනවා. හැඬු කඳුළින් සොහොනෙහි කාලය ගත කරනවා.

එනිසා අමුසොහොන නිරන්තරයෙන් විලාප ඇසෙන තැනක් වෙනවා. ඒ වගේම ළාමක ක්‍රියා ඇති පුද්ගලයන් වටා නිරන්තරයෙන් විලාප හඬ ඇසෙනවා. ඊට හේතුව ස්වාමියා දුස්සීල නම් බිරිඳ නිරන්තරයෙන් විලාප දෙයි. අනේ මටත් මේ වගේ මනුස්සයෙක් එක්ක ඉන්න වුණානේ කියා. බිරිඳ දුස්සීල නම්, ස්වාමිපුරුෂයා විලාප දෙනවා. ළමයි දුස්සීල නම් දෙමවුපියන් හැඬු කඳුළින් විලාප දෙනවා. ඒ වගේම දෙමාපියන් දුස්සීල තැන දරුවන් හැඬු කඳුළින් ගත කරනවා. එය හරියට අමුසොහොනේ විලාපය වගේ කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

මේ ආකාරයට තමා තුළ ළාමක දුස්සීල ගති පැවතුම් පවත්වමින් කෙතරම් ලස්සනට බාහිර ආටෝපයෙන් කෙතරම් ලස්සනට ජීවත් වීමට හැදුවත් ඒ ජීවිත ලස්සන නැහැ. හරියට අමු සොහොනක් වගේ. ඇත්තටම යම් ජීවිතයක් ලස්සන වන්නේ සිල්වත් බවත්, යහපත් ගුණධර්මත් ඇතිවීමෙන් පමණයි. අපගේ ජීවිත සීලයෙන් මෙන්ම ගුණයෙන් පෝෂණය කර ගත්විට බොහෝ දෙව් මිනිසුන් පි‍්‍රය කරන ජීවිතයකට උරුමකම් කියන්නට ඔබටත් හැකියාව ලැබෙනවා.

එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාළ ලෙස කලාතුරකින් ලැබුණු මේ මිනිස් ජීවිතය අමු සොහොනක් නොකරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනය ගැනීමට අප සියලු දෙනාටම ශක්තිය ලැබේවා.