Print this Article


නිදහසින් නිසි ප්‍රයෝජන ගැනීමට නම් ...

නිදහසින් නිසි ප්‍රයෝජන ගැනීමට නම් ...

මානව සමාජයේ නිදහස ඇති වූයේ බුදුරජාණන් වහන්සේ විසින් සමාජගත කරනු ලැබූ බුදු දහම නිසා බව ශාසන ඉතිහාසය දෙස බැලූ විට අපට පැහැදිලිව පෙනෙනවා. භික්ෂු - භික්ෂුණී, උපාසක - උපාසිකා යන සිවුවනක් පිරිස හරහා ඇති කළ නිදහස් සමාජය යහපත් ජීවන රටාවක් උදෙසා මිනිසාට පමණක් නොව ගහ කොළ සතා සිවුපාවාට පවා විශාල පිටිවහලක් වුණා.

ලොව පහළ වූ ශාස්තෘවරයාණන් වහන්සේ අතුරින් බුදුරජාණන් වහන්සේ කිසිදු ශාස්තෘවරයාණන් කෙනෙකු අවධානය යොමු නොකළ අයුරින් සමාජය දෙස විපරුම් ඇසින් සොයා බැලුවා. උන් වහන්සේ සිවුවනක් පිරිසට විශේෂයෙන්ම භික්ෂු, භික්ෂුණී පිරිස උදෙසා පනවා ඇති ශික්ෂා පද දෙස බැලූ විට පවා පෙනී යන්නේ ඒ සියල්ලම මානව නිදහස ඇති වන ආකාරයෙන් පනවා ඇති බවයි. කිසිදු අවස්ථාවක උන් වහන්සේ දැඩි විනය නීති රීති මඟින් ශාසනයේ නිදහස අහිමි කරන්නට කටයුතු කෙළේ නැහැ.

මේ සඳහා හොඳම උදාහරණය ලබා දිය හැක්කේ කාලාම සූත්‍රය දෙස බැලීමෙන්. වරක් උන් වහන්සේ ථෙසපුත්ත ගමට වැඩම කළා. එහි වාසය කෙළේ කාලාමවරුන්. මේ කාලාමවරුන් මනා බුද්ධියකින් හෙබි පිරිසක්. නමුත් ඔවුන්ට මතු වූ දහම් කරුණු පිළිබඳ ගැටලුවක් ඔවුන් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළා.

‘ගෞතම බුදුරජාණන් වහන්ස, අප හමුවට පැමිණෙන ශාස්තෘවරයකු අපට පවසන්නේ ඔහු පවසන ධර්මය නිවැරැදි බවත් සෙසු සියලු දෙනා පවසනු ලබන ධර්මය නිවැරැදි නොවන බවත්. එසේ පවසා ඒ ශාස්තෘවරයා නික්ම යනවා. ඔහුගෙන් පසුව තවත් ශාස්තෘවරයෙක් පැමිණෙනවා. ඔහුත් පවසනවා තමන් විසින් දේශනා කරනු ලබන ධර්මය නිවැරැදි බවත් සෙසු අය දේශනා කරනු ලබන ධර්මය නිවැරැදි නොවන බවත්. මේ ආකාරයට වරින් වර පැමිණෙන ශාස්තෘවරුන් නිසා අප දැඩි අපහසුතාවන්ට පත්වෙලයි ඉන්නේ. අපට මේ සඳහා විසඳුමක් ලබා දෙන්න.‘ ‘බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ ‘කාලාමවරුනි නුඹලාගෙ සැකය සාධාරණයි. කිසිවෙක් යමක් කී පමණින් පිළි ගන්න එපා. එසේම පෙර අසා ඇති නිසා හෝ ගුරුවරයකු කී පමණින් හෝ යහපත් සේ පෙනෙන නියාවෙන් හෝ එය පිළි ගන්න එපා. මනසින් විමසා බලා තමන්ට වැටහේ නම් පමණක් පිළි ගන්න‘ තමන් වහන්සේගේ දහම වුවත් තම මනසට නොවැටහෙන්නේ නම් නොපිළිගන්නා ලෙසින් එසේ උන් වහන්සේ සිතීමේ හා විමසීමේ නිදහස ලබා දුන්නා.

මේ සඳහා තවත් හොඳම නිදර්ශනයක් බුදු සිරිතෙන්ම ලබා දිය හැකියි. ෂඩ් ශාස්තෘවරුන් අතර නිගණ්ඨනාථපුත්තගේ ප්‍රධාන දායකයා වූ උපාලි නම් ධනවත් ගෘහපතියා බුදුරජාණන් වහන්සේ හා වාදයකට යාමට සැරසුණා. ඒ සඳහා මඟ පෙන්වූයේද නිගණ්ඨනාථපුත්ත විසින්මයි. මේ ප්‍රශ්නය මෙසේ අසන්න, මෙසේ පිළිතුරු දෙන්න, මෙසේ වාද බිඳ හෙළන්න, යනුවෙන් දීර්ඝ වාදයන් සඳහා අවශ්‍ය උපදෙස් නිගණ්ඨනාථපුත්ත විසින් ලබා දුන්නා. එහෙත් නිගණ්ඨනාථපුත්තගේ සෙසු අනුගාමිකයන් ඒ සඳහා කැමැත්ත පළ කෙළේ නැහැ. ‘උපාලි ගෘහපතියා අපට සිටින ධනවත්ම හොඳම දායකයායි. ගෞතම බුදුරජාණන් වහන්සේ ළග මහා මායා බලයක් තිබෙනවා. පැමිණෙන සියලු දෙනා වශී කර ගන්නවා. එම නිසා උපාලි යවනවාට අප විරුද්ධයි‘ එසේ වුවත් එම වාදයෙන් නියත වශයෙන්ම උපාලි ජය ලබන බව පවසා නිගණ්ඨනාථපුත්ත ඔහු පිටත් කර හැරියා. බුදුරජාණන් වහන්සේ සමඟ කළ පළමු පැනයෙන්ම ඔහුට කිසිවක් කර කියා ගත නොහැකි වුණා. බුදුරජාණන් වහන්සේ උපාලිට කතා කරන ලෙස දැන්වූවා. වරක් දෙවරක් නොව දිගින් දිගටම දැන්වූවත් ඔහුට පිළිතුරක් ලබා දිය හැකි වුණේ නැහැ.

අවසානයේ ඔහු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයකු බවට පත් කර ගන්නා මෙන් ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ එයට එකඟ වූයේ නැහැ. ‘ උපාලි ඔබ නිගණ්ඨනාථපුත්තගේ හොඳම දායකයායි. ඔබ යළි යළිත් සිතන්න. යම් තීරණයක් ගැනීමට පෙර තවත් සිතන්න. එහෙත් දිගින් දිගටම උපාලි ගෘහපතියා ඉල්ලා සිටියේ තමන්ට බුදුන් සරණ යාමට අවශ්‍ය බවයි. එහෙත් බුදුරජාණන් වහන්සේ යළි යළිත් පවසා වදාළා . ‘උපාලි තවත් වරක් සිතන්න, නිවසට ගොස් ගෙදර අඹු දරුවන්ගෙන් විමසා එන්න.‘ එහෙත් උපාලිගේ අවශ්‍යතාවයේ ඉල්ලීමේ වෙනසක් වූයේ නැහැ. අවසානයේ බුදුරජාණන් වහන්සේ කොන්දේසි සහිතව ඔහු ශාසනයට එක් කර ගත්තා. මොනවද බුදජාණන් වහන්සේ විසින් පනවන ලද කොන්දේසි වන්නේ. ඉදිරියටත් උපාලි ගෘහපතියාගේ නිවෙස නිගණ්ඨනාථපුත්ත ඇතුළු ඔහුගේ අනුගාමිකයන්ට විවෘත විය යුතු බවයි. නිවසේ දාන මාන ආදිය ඔවුන්ට සිදු කළ යුතු බවයි. මේ අනුව බලන කල බුදුරජාණන් වහන්සේ විසින් අගය කරන ලද මානව නිදහස කොතරම්ද යන්න අපට ඉතාම පැහැදිලිය.

තමන් වහන්සේ සරණ යාමට පෙර පවා දීර්ඝ ලෙසින් සිතීමට අවශ්‍ය නිදහස ලබා දීමට උන් වහන්සේ විසින් කටයුතු කළ ආකාරය මෙයින් පැහැදිලි වනවා. වර්තමාන සමාජය මේ නිදහස අගයා කටයුතු කරනවාද? බුදු දහම නිවැරැදි ලෙසින් අනුගමනය කරන්නේත්, බුදුරජාණන් වහන්සේ ලබා දුන් නිදහස අගයන්නේත් සුළු පිරිසක් බවයි අපට පැහැදිලි වන්නේ. අද බොහෝ දෙනෙක් වත් පිළිවෙත් තමන්ට සිතෙන ආකාරයෙන් කරනවා විනා ප්‍රායෝගිකව නිසි අයුරින් ඒ දෙස විමසිලිමත් ඇසින් බලන බවක් පෙනෙන්නට නැහැ. අපට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් නිදහස ලැබී කටයුතු කළද අද නිදහස යන්න ලිපි ගොනුවකට සීමා වී ඇති බවක් ද පෙනෙන්නට තිබෙනවා.

ඇතැම් විට අප නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්නා බවක්ද පෙනෙනවා. සුළු සිද්ධියකට පවා පාරට බැස ඉල්ලීම් ඉල්ලමින් අනෙක් ජනතාවගේ කාලය කා දැමීම කොතරම් පාපයක්දැයි ඔවුන් නොදන්නවා විය හැකියි. සැම විටම අන්‍යයන්ට කරදරයක් හිරිහැරයක් නොවන ආකාරයටයි අප නිදහස භුක්ති විඳීම කළ යුත්තේ. එයයි බුද්ධ දේශනාව වන්නේ. මේ වන විට මෙරට සියලු දෙනාට යහපාලන රජය විසින් 1948 වසරේ ලැබුණු නිදහස වඩාත් ඔප් නංවා ලබා දී ඇති බව පැහැදිලියි. ඒ බව වටහා දෙන්න හොඳම උදාහරණයක් ලබා දෙන්න පුළුවන්. පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගෙන්ම පසුගිය කාලයේදී කළ විමසීම්වලදී දැන ගන්නට ලැබුණේ ‘දැන් අපේ රාජකාරිය බලපෑමක් නැතිව කරන්න පුළුවන්‘ කියලයි. වෙන දවස්වල අහවලා නිදහස් කරන්න, අහවලාට දඬුවම් කරන්න යනුවෙන් පොලිස් නිලධාරීන්ට දේශපාලන බලපෑම් පැමිණියත් දැන් ඒ කිසිඳු බලපෑමක් ඇති නොවන බවයි දැනගන්නට ඇත්තේ.

අප රටේ සුදුස්සාට සුදුසු තැන ලබා දෙන සංස්කෘතියක්, ක්‍රමවේදයක් ඇති කළ යුතුයි. මේ යහපාලනය යන සංකල්පයම ඒ සඳහා හොඳ තෝතැන්නක් වනවා. තමන්ට විශ්වාසයක් තිබිය යුතුයි, තමන්ගේ සුදුසුකම් අනුව තමන්ට රැකියාවක් හෝ තමන් කරනු ලබන රැකියාවේ උසස්වීමක් ලබා ගන්නට හැකියාව ලැබෙන බවට. රටේ යහපාලන සංකල්පය ගෙන ආ පමණින් ඒ කාර්යය එක්වරම ඉටු කරන්නට බැහැ. එක්වරම සියලු මිනිසුන්ගේ ආකල්ප උඩු යටිකුරු කරන්නට බැහැ. අදට වසර කිහිපයකට පෙර ඒ තැන්වල සිටි අයම තවමත් එම ස්ථානවල රැකියාවේ නිරතව සිටින්නේ. ඔවුන්ගේ ආකල්ප ක්‍රමයෙන් වෙනස් කළ හැකිනම් අපට නිදහස යන්න උපරිම වශයෙන් අර්ථ ගන්වා ගන්න පුළුවන්. යහපාලනයෙන් ලබා දී ඇති නිදහස සැබෑ මානුෂික නිදහසක් බවට පත් කළ යුත්තේ ජනතාව විසින්මයි.

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගෙන් පසුව ධර්මය ගුරුතන්හි ලා තබා ගන්නයි දේශනා කොට වදාළේ. නායකයකු හෝ ගුරුවරයකු වෙනම පත් කෙළේ නැහැ. සැම විටම නිදහස් චින්තනය අනුව කටයුතු කිරීමටයි උන් වහන්සේ අවස්ථාව ලබා දුන්නේ. ඒ අනුව කටයුතු කළහොත් ලබාගත් නිදහස සැබෑ මානව නිදහසක් බවට අපට පත් කර ගන්න පුළුවන් වේවි.