Print this Article


සාමූහික වූ සිතිවිලි එකමුතුවේ මුවහසරැලි

සාමූහික වූ සිතිවිලි එකමුතුවේ මුවහසරැලි

සම්බුදු දහම තරම් සමානාත්මතාවය, මානවීය නිදහස ඇගයූ වෙනත් ආගමක් හෝ දර්ශනයක් මෙතෙක් ලොව බිහි වී නැත. බුදුරදුන් පහළ වු ක්‍රි.පූ. 06 වන සියවසේ භාරතීය සමාජයේ විවිධ ආගම්, දර්ශන, මතවාද පැවතිණි. එකම මිනිස් සමාජය උපත හේතුකොට උසස් පහත් යැයි බෙදා වෙන් කළ එදා භාරතීය සමාජය බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ක්ෂුද්‍ර නමින් සිව් කොටසකට බෙදා වෙන් කර තිබුණි. උසස්ම යැයි සම්මත බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය වංශිකයන්ට බැල මෙහෙවර කරමින් උපතේ සිට මරණය දක්වාම සමාජීය නිදහස අහිමි වූ ක්ෂුද්‍රයෝ එකල දැඩි පීඩාවට පත්වූහ.

තමන්ගේ සුඛ විහරණය හා පැවැත්ම වෙනුවෙන් තවත් මිනිස් කණ්ඩායමකගේ අයිතීන් උදුරාගත්, ඔවුන්ගේ ලේ, කඳුළු දහදියෙහි වටිනාකමක් නොදුටු එදා බ්‍රාහ්මණ සමාජයට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ මේ ලොව කිසිවෙක් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවන බවත් ක්‍රියාවෙන්ම වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන බවත් පෙන්වා දෙමිනි.

නජච්ඡා වසලො හොතී
නජච්ඡා හොති බ්‍රාහ්මණො
කම්මනා වසලො හොතී

කම්මනා හොති බ්‍රාහ්මණො” යන්නෙන් අර්ථවත් කළේ ඒ ධර්මතාවයයි. මහ මුහුද සොයා ඇදී යන අචිරවතී, සරභූ ඈ නදී මහ මුහුදේ දී එකට එක් වී එකම ලුණු රසයක් ගන්නා සේ මේ ලොව මිනිස් පරපුරට අයත් සියලු දෙනා සමානාත්මතාවයෙන් යුතු බව උන්වහන්සේ ආදර්ශයෙන්ම පෙන්වා දුන්හ.

උසස් යැයි සම්මත කුලවලින් මෙන්ම,පීඩිත කුලවලින්ද පැමිණ සම්බුදු සසුනට එක් වූ ශ්‍රාවකයෝ ‘භික්ෂු’ යන පොදු නාමයට අයත් වූහ. සැරියුත් මුගලන් මහා කාශ්‍යප ආදි තෙරවරුන් සේම සුනීත, සෝපාක ආදි අසරණයින්ද බුදු සසුනේ එකම ශ්‍රාවක පිරිසක්, සංඝ සමාජයක් නියෝජනය කළහ.

සම්බුදු සසුනේ වූයේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිස පමණි.

එක් අවස්ථාවක බුදු හිමියන් ‘කාලාම නම් ගමට වැඩි අවස්ථාවේ ගම්වාසීන් කියා සිටියේ ධර්මය දේශනා කිරීම අවශ්‍ය නොවන බවත්ය. විවිධ වේශයන්ගෙන් වරින් වර පැමිණෙන ආගමික නායකයන් තම තමන්ගේ අවශ්‍යතා මුදුන් පමුණුවා ගන්නට පමණක් මෙතෙක් එහි ආ බවත් තමන්ගේ සිත හදාගන්නට මගක්, ජීවන ගැටලු විසඳා ගන්නට මඟක් පෙන්වා නුදුන් බවත් ඔවුහු කියා සිටියහ. ඒ ඇසු බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ බුදුදහම එවැනි දර්ශනයක් නොවන බවය. එය තමන්ගේම නුවණින් විමසා බලා පිළිගත යුතු දහමක් වන බවය.

ආගමික නායකයෙක් කී නිසා හෝ ගුරුවරයෙක් කී නිසා හෝ මව්පියන් කී නිසා හෝ පිටකයේ තිබූ පමණින් හෝ නොපිළිගත යුතු බවත්, තමන්ගේ තර්කයට, බුද්ධියට ගැළපෙනවා නම් පමණක්, තමන්ට හිත පිණිස නම්, අනුන්ට ද හිත පිණිස නම් පිළිගත යුතු බවත්ය. තමන්ට අහිත නම් අනුන්ටද අහිත නම් බැහැර කළ යුතු බවය. මෙලෙස කාලාම සූත්‍රය විද්‍යාත්මකව මානව සමානාත්මතාව ඇගයූ සූත්‍ර දේශනාවකි.

බුදුරජාණන් වහන්සේ ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක ප්‍රශ්න කිරීමට ඉඩ දුන් ශාස්තෘවරයෙකි. උන්වහන්සේ පිරිනිවන් පාන මොහොතේ පවා ගැටලු විසඳා ගන්නට, ප්‍රශ්න ඇසීමට එන භික්ෂූන් වහන්සේ වැළැක්වීම සඳහා ආනන්ද හිමියන් උත්සාහ කළ මොහොතේ යම් ප්‍රශ්නයක් වේ නම් මගෙන් අසා දැන ගන්නට ඉඩ හරින්නැයි උන්වහන්සේ ආනන්ද හිමියන්ට දැන්වූහ. භික්ෂූන් වහන්සේගේ ප්‍රශ්න ඇසීමේ නිදහස, සමානාත්මතාවය අගය කළහ.

බුදු හිමියන් පෙන්වා දුන්නේ ධර්මය විවේචනය කරන තරමට බබළන බවය. හරියට සඳුන් රුකක් පතුරු ගසන්නට, පතුරු ගසන්නට එහි සුගන්ධය හමනවා සේ ය.

නිදහසම මූලික කරගත් බුදු දහමේ නිදහස මිනිසුන්ට පමණක් සීමා වූයේ නැත. ‘සබ්බ පාණ භූත හිතානු කම්පී” සියලු ප්‍රාණීන්ට හිතානුකම්පී දහමක් විය. ගහකොළ ජල බිඳුව පවා රැක ගැනීමේ අගය පෙන්වා දුන් දහමක් විය.

මිහිඳු මහ රහතන් වහන්සේ බුදුදහම රැගෙන ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දෙවන පෑ තිස් නිරිඳුට වටහා දුන්නේ රජු රටේ අයිතිකාරයා නොව භාරකරු පමණක් වන බවය. ඒ ධර්මතාවය අනුව, සම්බුදු දහමින් පෝෂිත වූ, සමානාත්මතාව, සමගිය, සාමය, අල්පේච්ඡතාවය ඇගයූ. පස්පවින් දුරුවූ අපූර්ව සංස්කෘතියක් එදා සිට ලක් සමාජයේ නිර්මාණය වුණි.

මේ මහා සංස්කෘතිය විනාශ වන්නට පටන් ගත්තේ යුරෝපීය ආක්‍රමණත් සමඟය. වර්ෂ 1505 පෘතුගීසි ආගමනය එයට මූලාරම්භ විය. එදා සිට මේ රටේ සමගියෙන් ජීවත් වූ සිංහල,දෙමළ, මුස්ලිම් ආදී ස්වදේශික සියල්ලන්ටම ඉතා කනගාටුදායක තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු විය. කෲර පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාවන් නිසා පීඩිත සමාජයක් නිර්මාණය වුණි.

විශේෂයෙන් බුදු දහමින් පෝෂණය වූ සංස්කෘතියෙහි ප්‍රශ්න කිරීමේ අවස්ථාව එතැන් සිට අහිමි වුණි. සමානාත්මතාව ගිලිහුණි, නිර්මාණවාදී අදහස් හිස ඔසවන්නට පටන් ගැනුණි.

බුදු දහම මනුෂ්‍යයාගේ ශ්‍රේෂ්ඨත්වය පිළිගන්නා දහමකි. එහෙත් යුරෝපීය ආක්‍රමණත් සමඟ මෙරට ජන කණ්ඩායම් අතරින් ඒ ශ්‍රේෂ්ඨත්වය ගිලිහුණි. ආගමික සංවිධාන ඇති කරන්නට පවා නිදහසක් නොලැබුණි. සියලු ස්වදේශීය ජාතීන් නියෝජනය කරමින් අමද්‍යප ව්‍යාපාරය වැනි සංවිධාන බිහි වුණේ එහි ප්‍රතිඵලයක් ලෙසටය. යුරෝපීය ජාතින්ගේ පීඩාවන් හමුවේ අසරණ වූ ජනතාව ඉන් මුදා ගැනීම සඳහා , රටේ දේශපාලන නිදහස පතා සිංහල නායකයන් සමඟ පොන්නම්බලම් අරුණාචලම් ,පොන්නම්බලම් රාමනාදන් වැනි දෙමළ නායකයෝ සේම අක්බාර් , ටී.බී. ජයා වැනි මුස්ලිම් නායකයෝ ද දිවි පරදුවට තබමින් අත්වැල් බැඳගත් හ. එකම මිනිස් කණ්ඩායමක් ලෙස සියලු ජනවර්ග රට බේරාගන්නට එක් වූහ.

බ්‍රිතාන්‍ය යටත් විජිත නායකයන් විසින් රට වෙනුවෙන් හඬ නඟන දේශීය නායකයන් අසාධාරණ ලෙස සිරගත කරනු ලැබීම, ඝාතනය කරනු ලැබීම ආදී කුරිරු අසාධාරණකම් බ්‍රිතාන්‍ය කිරීටයට දැනුම්දීම පිණිස ඊ.ඩබ්ලිව්. පෙරේරා වැනි නායකයන් එම පණිවුඩ රැගෙන ගියේ මිරිවැඩි සඟළ තුළ සඟවාගෙනය. ඒ සඳහා අනුග්‍රාහකත්වය දැක්වුයේ එෆ්. ආර්. සේනානායකයන්ය. ඔහු අසවල් ජාතියේය. අසවල් ආගමේය. ඒ නිසා සිරගත වූවාට කම් නැතැයි ඔවුන් තමන්ගේ ආගම, ජාතිය ගැන පමණක් සිතා පැත්තකට වූවා නම් අද අපට නිවහල් ජාතියක් ලෙස මේ බිමේ පය ගසා සිටින්නට නොහැකි වනු ඇත. නිදහසේ හුස්ම පොදක් ගන්නට ඉඩ නොලැබෙනු ඇත.

එමෙන්ම යම් යම් අවස්ථාවන්හි සිංහල අපේක්ෂකයින් පරදා සිංහලයන්ගේ ඡන්දයෙන් දෙමළ අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට පත් කිරීමට තරම් එදා සමාජ සමානාත්මතාවක් තිබුණි. ජාතිය,ආගම, වංශය, නොව මිනිස්කමේ උදාරත්වයට ආදරය, කළ ගෞරවය කළ සාමය ඇගයූ මිනිස්කමක් තිබුණි.

වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් කිරීම, භික්ෂූන් වහන්සේලාට රජයේ පත්වීම් ලබාදීම ආදි ආගම හා සම්බන්ධ විවිධ අවස්ථාවන්හි පවා එම අදහස් ඉදරිපත් කිරීමේ පුරෝගාමීන් අතර දෙමළ ජාතික නායකයෝද වූහ. ඔවුහු රට වෙනුවෙන් මිනිසුන් වෙනුවෙන් ඇප කැප වූයේ එක මවකගේ දරු කැළක් ලෙසිනි.

බුදු දහමේ කරණීය මෙත්ත සූත්‍රයෙන් අපට උගන්වන්නේ ද එක මවකගේ දරුවන් සේ සියල්ලන්ට මෛත්‍රි, කරුණාව දක්වන ලෙසය.

69 වැනි නිදහස සමරන මොහොතේ අපේ රටට ඇවැසි වන්නේද සියලු ජාතින් එක මවකගේ දරුවන් මෙන් එකාවන්ව එකමුතු වීමයි. අතීත ස්වදේශික නායකයන් ගේ හදවතින් විහිදුණ සුවඳ නැවත සිහිපත් කිරීමයි. දේශපාලන නිදහස, මානව නිදහස අද අපට තිබේ. එහෙත් රට යම් ආර්ථික අභියෝගයකට මුහුණ දී තිබේ. මේ මොහොතේ ආගම්, ජාති භේද නොතකා සියල්ලන් එකට එකමුතු වූයේ නම් ඒ අභියෝගය ජය ගැනීමද අසීරු නොවේ. අපේ ශ්‍රමිකයන් පිටරට යාම නම්බුවක් නොවේ. යම් හෙයකින් විදේශයන් අපේ ශ්‍රමිකයන් ප්‍රතික්ෂේප කළේ නම් උද්ගතවන තත්ත්වය කෙබඳුද, මේ නිසා රට අභ්‍යන්තරයේ නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු කිරීමේ අවශ්‍යතාවද ඇති වී තිබේ.

බෞද්ධ සාහිත්‍යයේ එන කතා පුවතකට අනුව වටු වැද්දා එලූ දැලේ වටු කුරුල්ලන් සිර නොවුයේ එකාවන්ව දැල ඔසවාගෙන යාම නිසාය. ජාතියක් ලෙස රටට අවශ්‍ය වන්නේද මිනිස් ජාතියේ එකමුතුකමය. ඒ ආදර්ශය අපේ අනාගත පරපුරටද දායාද කළ යුතුය. බෙදී විසිරුණේ නම් ඕනෑම අවස්ථාවක සමාජයක් විනාශ කිරීම පහසුය. මේනිසා පටු සීමාවෙන් මිදී ‘මිනිසුන්’ යන පොදු නාමය යටතේ අලුතෙන් සිතන්නට ඒ සිතිවිලි ක්‍රියාවට නඟන්නට අපට සිදුවේ. බුදුදහම අනුව සිතමින් එසේ කටයුතු කරන්නේ නම් ඕනෑම අභියෝගයක් ජය ගැනීම අසීරු නොවේ.